551. යසත්ථෙරාපදානං
551. යසත්ථෙරාපදානං
551. යස ස්ථවිරාවදානය
6331. මහාසමුද්දං ඔගය්හ භවනං මෙ සුනිම්මිතං, සුනිම්මිතා පොක්ඛරණී චක්කවාකූපකූජිතා.
6331-6333. මහසමුදුර අබියස මාගේ භවනය සුනිර්මිතය. හෙල්මැල්ලෙන් හා පද්මොත්පලයෙන් ගැවසීගත් සක්වාරැව් ඇති පොකුණක් සුනිර්මිත වෙයි. ඒ පෙදෙසෙහි සිත්කලු මනා තොට ඇති මස්කැසුබුවන්ගෙන් ගැවසීගත් මුළුදුන් නානාවිහග්ගණා ඇති නදියක් ගලා බස්නීය. මොණර කොස්වාලිහිණි කොවුල් ආදී පක්ෂීන්ගේ මනරම් නදින් එපෙදෙස දොඩමලුය.
6332. මන්දාලකෙහි සඤ්ඡන්නා පදුමුප්පලකෙහි ච, නදී ච සන්දතෙ තත්ථ සුපතිත්ථා මනොරමා.
6333. මච්ඡකච්ඡපසඤ්ඡන්නා නානාදිජසමාකුලා, මයූරකොඤ්චාභිරුදා කොකිලාදිභි වග්ගුහි.
6334. පාරෙවතා රවිහංසා චක්කවාකා නදීචරා, දින්දිභා සාළිකා චෙත්ථ පම්පකා ජීවංජීවකා.
6334. පරෙවි රවිහංස සක්වාලිහිණි නදිවර දියකිරල සැළලිහිණි හුනපුපුළු (ජීව - ජීව අනුකරණයෙන් හඬලන) ජීවංජීවක යන මොහු එහි බොහෝ වූහ.
6335. හංසා කොඤ්චාභිනදිතා කොසියා පිඞ්ගලා බහූ, සත්තරතනසම්පන්නා මණිමුත්තිකවාලිකා.
6335-6336. එහි රැව්දෙන හංසයෝ ද කොස්වාලිහිණියෝ ද මහමුහුනෝ ද පිඞ්ගලයෝ ද යන මේ පක්ෂීහු බොහෝ වූහ. සත්රුවනින් යුත් මිණිමුතු සහිත වැලි ද නොයෙක් සුවඳ හමන හැම රන්මුවා රුක් ද එ භවන දිව රෑ හැමකල් බබුලුවත්.
6336. සබ්බෙ සොණ්ණමයා රුක්ඛා නානාගන්ධසමෙරිතා, උජ්ජොතෙන්ති දිවාරත්තිං භවනං සබ්බකාලිකං.
6337. සට්ඨිතුරියසහස්සානි සායං පාතො පවජ්ජරෙ, සොළසිත්ථිසහස්සානි පරිවාරෙන්ති මං සදා.
6337. සැටදහසක් තූර්‍ය්‍යයෝ සවස්හි ද උදයෙහි ද වැයෙත්. සොළොස්දහසක් ස්ත්‍රීහු හැම කල්හි මා පිරිවරත්.
6338. අභිනික්ඛම්ම භවනා සුමෙධං ලොකනායකං, පසන්නචිත්තො සුමනො වන්දයිං තං මහායසං.
6338. මම භවනයෙන් නික්ම පහන්සිත් ඇත්තෙම් සොම්නස් ඇත්තෙම් මහත් යශස් ඇති ලෝකනායක වූ ඒ සුමේධ බුදුරජුන් වැන්දෙමි.
6339. සම්බුද්ධං අභිවාදෙත්වා සසඞ්ඝං තං නිමන්තයිං, අධිවාසෙසි සො ධීරො සුමෙධො ලොකනායකො.
6339. සම්බුදුරජුන් වැඳ සඞ්ඝයා සහිත එ බුදුරජුන් නිමන්ත්‍රණය කෙළෙමි. (මාගේ නිමන්ත්‍රණය) ලෝකනායක වූ ප්‍රාඥ වූ ඒ බුදුරජ තෙමේ ඉවසී ය.
6340. මම ධම්මකථං කත්වා උය්යොජෙසි මහාමුනි, සම්බුද්ධං අභිවාදෙත්වා භවනං මෙ උපාගමිං.
6340. බුදුරජ තෙමේ මට ධර්මකථාවක් කොට (මා කුසල්හි යෙදවී ය. ඒ සම්බුදුරජුන් වැඳ මාගේ භවනයට එළඹියෙමි.
6341. ආමන්තයිං පරිජනං සබ්බෙ සන්නිපතුං තදා, පුබ්බන්හසමයං බුද්ධො භවනං ආගමිස්සති.
6341. පෙරවරු කල්හි බුදුරජානන් වහන්සේ මාගේ භවනයට වඩිනසේක් යයි පිරිවරජනයා ඇමතීමි. එකල්හි සියල්ලෝ රැස්වූහ.
6342. ලාභා අම්හං සුලද්ධා නො යෙ වසාම තවන්තිකෙ, මයම්පි බුද්ධසෙට්ඨස්ස පූජයිස්සාම සත්ථුනො.
6342. ‘යම් හෙයකින් ඔබ සමීපයෙහි වෙසෙමු ද එ අපට මනා ලැබීමකි. යහපත් ලාභයෙකි. අපිදු ශාස්තෘ වූ බුදුරජුන්හට පූජාවක් කරන්නෙමු’යි ඔහු කීහු.
6343. අන්නං පානං පට්ඨපෙත්වා කාලං ආරොචයිං අහං, වසීසතසහස්සෙහි උපෙසි ලොකනායකො.
6343. මම ආහාර පාන පිළියෙල කොට තබා කාලය දැන්විමි. ලෝකනායක වූ බුදුරජතෙමේ රහතුන් සියක්දහසක් සමග වැඩියේ ය.
6344. පඤ්චඞ්ගිකෙහි තුරියෙහි පච්චුග්ගමමකාසහං, සබ්බසොණ්ණමයෙ පීඨෙ නිසීදි පුරිසුත්තමො.
6344. මම පසඟතුරු සහිත ව පෙරගමන් කෙළෙමි. පුරුෂෝත්තම වූ බුදුරජතෙමේ ගනරන්මුවා පළඟෙහි වැඩහුන්නේ ය.
6345. උපරිච්ඡදනං ආසි සබ්බසොණ්ණමයං තදා, වීජනියො පවායන්ති භික්ඛුසඞ්ඝං අනුත්තරං.
6345. එකල්හි සියල්ල රුවන්මුවා වූ උඩුවියනක් විය. උතුම් බික් සඟනට විජිනීහු පවන් සලත්.
6346. පහූතෙනන්නපානෙන භික්ඛුසඞ්ඝං අතප්පයිං, පච්චෙකදුස්සයුගලෙ භික්ඛුසඞ්ඝස්සදාහං.
6346. මම බොහෝ ආහාරපානයෙන් බික්සඟන සැතැප්වීමි. වෙන වෙන මැ දුහුල් සඟළ බැගින් බික්සඟනට දිනිමි.
6347. යං වදන්ති සුමෙධොති ආහුතීනං පටිග්ගහො, භික්ඛු සඞ්ඝෙ නිසීදිත්වා ඉමා ගාථා අභාසථ:
6347. සුමේධ යයි යම් කෙනෙකුන් ගෙණ කියත් ද ආහුනෙය (-පූජා) පිළිගන්නා ඒ බුදුහු බික්සඟන මැද වැඩහිඳ මේ ගාථා වදාළහ:
6348. “යො මෙ අන්නෙන පානෙන සබ්බෙ ඉමෙ ච තප්පයි, තමහං කිත්තයිස්සාමි සුණාථ මම භාසතො:
6348. “යමෙක් ආහාරපානයෙන් මා හා මේ සියල්ලන් (භික්ෂූන්) හා සැතැප්වී ද, ඔහු කීර්තන කෙරෙමි (-කියමි). එසේ කියන මා බස් අසවු.
6349. අට්ඨාරසෙ කප්පසතෙ දෙවලොකෙ රමිස්සති, සහස්සක්ඛත්තුං රාජායං චක්කවත්තී භවිස්සති.
6349. මෙ අටළොස්කප්සියයක් මුළුල්ලෙහි දෙව්ලොව ඉඳුරන් පිනවන්නේ ය, දහසක් වර සක්විතිරජ වන්නේ ය.
6350. උපගච්ඡති යං යොනිං දෙවත්තං අථමානුසං, සබ්බසොණ්ණමයං තස්ස ඡදනං ධාරයිස්සති.
6350. උපත් විසින් දෙවිබව ය යළි මිනිස්බව ය යන යම් ගතියකට එළැඹෙන්නේ ද, ඔහට සියල්ල රන්මුවා වූ සෙවෙනියක් ධරන්නේ ය.
6351. තිංසකප්පසහස්සම්හි ඔක්කාකකුලසම්භවො, ගොතමො නාම නාමෙන සත්ථා ලොකෙ භවිස්සති.
6351. තිස්දහස් වන කප්හි ඔකාවස් කුලැ උපත් ඇති වැ නමින් ගෞතම නම් ශාස්තෘහු ලොවැ පහළ වන්නාහ.
6352. තස්ස ධම්මෙසු දායාදො ඔරසො ධම්මනිම්මිතො, සබ්බාසවෙ පරිඤ්ඤාය නිබ්බායිස්සතනාසවො.
6352. (මෙ) ඔබ දහමට දායාද (-හිමි) වූ ධර්මයෙන් නිර්මිත වූ ඖරස ශ්‍රාවකයෙක් වැ සියලු ආස්‍රවයන් (පහානපරිඤ්ඤා විසින්) පිරිසිඳ දැනැ ආස්‍රව රහිත වැ (ස්කන්ධ පරිනිර්වාණයෙන්) පිරිනිවෙන්නේ ය.
6353. භික්ඛු සඞ්ඝෙ නිසීදිත්වා සීහනාදං නදිස්සති, චිතකෙ ඡත්තං ධාරෙන්ති හෙට්ඨා ඡත්තම්හි ඩය්හථ.”
6353. (පිරිනිවීමට පෙර) බික්සඟන මැද හිඳ අභීතනාද කරන්නේ ය, (පිරිනිවීමෙන් පසු සැදැහැ ඇත්තෝ) චිතකයෙහි ඡත්රයක් ධරන්නාහ. (හෙ) ඡත්රය යට දැවෙන්නේ යි”.
6354. සාමඤ්ඤං මෙ අනුප්පත්තං කිලෙසා ඣාපිතා මයා, මණ්ඩපෙ රුක්ඛමූලෙ වා සන්තාසො මෙ න විජ්ජති.
6354. මට ශ්‍රාමණ්‍ය (-රහත් ඵල)ය පිළිවෙළින් පැමිණියේ ය, මා විසින් කෙලෙස් දවනලද, මණ්ඩපයෙහි හෝ රුක්මුලැ හෝ මට සන්ත්‍රාසයෙක් නැති.
6355. තිංස කප්පසහස්සම්හි යං දානමදදිං තදා, දුග්ගතිං නාභාජානාමි සබ්බදානස්සිදං ඵලං.
6355. එකලැ තිස්දහස්වනකප්හි යම් දනක් දිනිම් ද, (එ පිනෙන්) දුගතිය නො දනිමි. මෙ වූකලි සියල්ල දීමේ විපාකයි.
6356. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
6356. මා විසින් කෙලෙස්හු දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. බැඳුම් සිඳ හැසිරෙන ඇත්රජකු සෙයින් ආස්‍රව රහිතවූයෙම් වාස කෙරෙමි.
6357. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
6357. බුද්ධශ්‍රේෂ්ඨයන් වෙතැ මාගේ එළැඹීම එකැතින් මනා වියැ, ත්‍රිවිද්‍යා අනුප්‍රාප්ත යැ, බුදුසසුන් කරණ ලද.
6358. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛා පි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
6358. සිවු පිළිසිඹියා ද, මෙ අෂ්ටවිමෝක්ෂ ද, ෂඩ් අභිඥා ද සාක්‍ෂාත්කෘත යැ, බුදුසසුන් කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා යසො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙසේ ආයුෂ්මත් යස ස්ථවිරයන්වහන්සේ මේ ගාථා වදාළාහ.
යසත්ථෙරස්සාපදානං පඨමං.
පළමුවැනි යසස්ථවිරාවදාන යි.