යෙදුමෙන් කියවන්න

3. අඤ‍්ඤතරභික‍්ඛුවත්‍ථු අට‍්ඨකථා

3. අඤ‍්ඤතරභික‍්ඛුවත්‍ථු

3. එක්තරා භික්ෂුවකගේ වස්තුව

දුන‍්නිග‍්ගහස‍්ස ලහුනොති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා සාවත්‍ථියං ජෙතවනෙ විහරන‍්තො අඤ‍්ඤතරං භික‍්ඛුං ආරබ‍්භ කථෙසි.

දුන්නිග්ගහස්ස ලහුනො යනාදි මේ ධර්මදේශනාව බුදුරදුන් සැවැත්නුවර වාසය කරන සමයෙහි එක්තරා භික්ෂුවක් අරභයා දේශනා කරන ලදි.

කොසලරඤ‍්ඤො කිර විජිතෙ පබ‍්බතපාදෙ මාතිකගාමො නාම එකො ඝනවාසො ගාමො අහොසි. අථෙකදිවසං සට‍්ඨිමත‍්තා භික‍්ඛූ සත්‍ථු සන‍්තිකෙ යාව අරහත‍්තා කම‍්මට‍්ඨානං කථාපෙත්‍වා තං ගාමං ගන‍්ත්‍වා පිණ‍්ඩාය පවිසිංසු. අථ නෙ යො තස‍්ස ගාමස‍්ස සාමිකො මාතිකො නාම, තස‍්ස මාතා දිස‍්වා ගෙහෙ නිසීදාපෙත්‍වා නානග‍්ගරසෙන යාගුභත‍්තෙන පරිවිසිත්‍වා, “භන‍්තෙ, කත්‍ථ ගන‍්තුකාමා”ති පුච‍්ඡි. “යථා ඵාසුකට‍්ඨානං මහාඋපාසිකෙ”ති. සා “වස‍්සාවාසට‍්ඨානං, අය්‍යා, පරියෙසන‍්ති මඤ‍්ඤෙ”ති ඤත්‍වා පාදමූලෙ නිපජ‍්ජිත්‍වා, “සචෙ, අය්‍යා, ඉමං තෙමාසං ඉධ වසිස‍්සන‍්ති, අහං තීණි සරණානි, පඤ‍්ච සීලානි ගහෙත්‍වා උපොසථකම‍්මං කරිස‍්සාමී”ති ආහ. භික‍්ඛූ “මයං ඉමං නිස‍්සාය භික‍්ඛාය අකිලමන‍්තා භවනිස‍්සරණං කාතුං සක‍්ඛිස‍්සාමා”ති අධිවාසයිංසු. සා තෙසං වසනට‍්ඨානං විහාරං පටිජග‍්ගිත්‍වා අදාසි.

කොසොල් රජුගේ එක්තරා යටත් විජිතයක පර්වතපාදයක වූ මාතිගාම නම් ජනගහනයෙන් පිරී ගමක් විය. දිනක් සැටක් පමණ භික්ෂූහු බුදුන් ළඟ රහත්බව දක්වා කමටහන් කියවාගෙන එකී ගමට ගොස් පිඬු පිණිස හැසුරුණාහ. ඉන්පසු එගම මූලිකයා වූ මාතික නමැත්තාගේ මව ඒ භික්ෂූන් දැක ස්වකීය ගෙහි වඩා හිඳුවා නානාප්‍රකාර අග්‍රරසයෙන් යුත් කැඳබත් වළදවා. ස්වාමීනි, කොහි වඩින්නාහුදැයි ඇසුවාය. මහෝපාසිකාවනි, පහසුකම් ඇති තැනකටයි. ඕතොමෝ මේ ආර්යයන්වහන්සේලා වස්වසන තැනක් සොයන්නාහුයයි දැන පාමුල වැටී, ඉදින් ආර්යයන්වහන්සේලා මේ තුන්මාසය මෙහි වසන්නාහු නම් මම තිසරණ සහිත පන්සිල් සමාදන්ව පෙහෙවස්ද වසන්නෙමියි කීවාය. ඒ භික්ෂූහු මැය නිසා ආහාරයෙන් ක්ලාන්ත නොවී සසරින් එතර විය හැකියයි ඇගේ ආරාධනය පිළිගත්තාහුය. ඈ ඒ භික්ෂූන්ට විසීම සඳහා විහාර පිළියෙල කොට දුන්නාය.

තෙ තත්‍ථෙව වසන‍්තා එකදිවසං සන‍්නිපතිත්‍වා අඤ‍්ඤමඤ‍්ඤං ඔවදිංසු, “ආවුසො, අම‍්හෙහි පමාදචාරං චරිතුං න වට‍්ටති. අම‍්හාකඤ‍්හි සකගෙහං විය අට‍්ඨ මහානිරයා විවටද‍්වාරායෙව, ධරමානකබුද‍්ධස‍්ස ඛො පන සන‍්තිකෙ කම‍්මට‍්ඨානං ගහෙත්‍වා මයං ආගතා, බුද‍්ධා ච නාම පදානුපදිකං විචරන‍්තෙනාපි සඨෙන ආරාධෙතුං න සක‍්කා, යථාජ‍්ඣාසයෙනෙව ආරාධෙතුං සක‍්කා, අප‍්පමත‍්තා හොථ, ද‍්වීහි එකට‍්ඨානෙ න ඨාතබ‍්බං, න නිසීදිතබ‍්බං, සායං ඛො පන ථෙරූපට‍්ඨානකාලෙ පාතොව භික‍්ඛාචාරකාලෙ එකතො භවිස‍්සාම, සෙසකාලෙ ද‍්වෙ එකතො න භවිස‍්සාම, අපිච ඛො පන අඵාසුකෙන භික‍්ඛුනා ආගන‍්ත්‍වා විහාරමජ‍්ඣෙ ඝණ‍්ඩියා පහතාය ඝණ‍්ඩිසඤ‍්ඤාය ආගන‍්ත්‍වා තස‍්ස භෙසජ‍්ජං කරිස‍්සාමා”ති.

එහි විසූ ඒ භික්ෂූහු එක් දිනක් රැස්වී ඔවුනොවුන්ට අවවාද කරගත්හ. ඇවැත්නි, අපි ප්‍රමාදචාරීව හැසිරීම නොවටී. අටමහානිරය අපේම ගෙවල් මෙන් දොරවල් විවෘත කරගෙන ඇත. දිවමන් බුදුන්ගෙන් කමටහන් ගෙන අපි මෙහි ආවෙමු. බුදුවරු නම් යන පිටුපසින් පයින් ගියත් කපටිකමින් රැවටිය හැක්කෝ නොවෙති. නියම ආකාරයෙන්ම, සැබෑ අදහසින්ම සතුටු කළ හැක්කෝම වෙති. එනිසා නොපමා වව්. දෙදෙනෙක් එක්තැන නොසිටිය යුතුය. හිඳනොගත යුතුය. සවස මහතෙරවරුන්ට උපස්ථාන කරන වේලේත්, උදෑසන පිණ්ඩපාතයෙහි යන වේලේත් එක්වෙමු. එතෙකුදු වුවත් රෝගාතුර වී අපහසු තත්ත්වයට පත් භික්ෂුවක් විසින් විහාරම මැද ගෙඩිය ගැසූ විට ඒ ගෙඩියේ ශබ්දයෙන් අවුත් බෙහෙත් කරන්නෙමු.

තෙසු එවං කතිකං කත්‍වා විහරන‍්තෙසු එකදිවසං සා උපාසිකා සප‍්පිතෙලඵාණිතාදීනි ගාහාපෙත්‍වා දාසදාසිකම‍්මකරාදීහි පරිවුතා සායන‍්හසමයෙ තං විහාරං ගන‍්ත්‍වා විහාරමජ‍්ඣෙ භික‍්ඛූ අදිස‍්වා, “කහං නු ඛො, අය්‍යා, ගතා”ති පුරිසෙ පුච‍්ඡිත්‍වා, “අත‍්තනො අත‍්තනො රත‍්තිට‍්ඨානදිවාට‍්ඨානෙසු නිසින‍්නා භවිස‍්සන‍්ති, අය්‍යෙ”ති වුත‍්තෙ, “කිං නු ඛො කත්‍වා දට‍්ඨුං සක‍්ඛිස‍්සාමී”ති ආහ. අථ නං භික‍්ඛුසඞ‍්ඝස‍්ස කතිකවත‍්තං ජානනමනුස‍්සා ආහංසු – “ඝණ‍්ඩියා පහතාය සන‍්නිපතිස‍්සන‍්ති, අය්‍යෙ”ති. සා ච ඝණ‍්ඩිං පහරාපෙසි. භික‍්ඛූ ඝණ‍්ඩිසද‍්දං සුත්‍වා, “කස‍්සචි අඵාසුකං භවිස‍්සතී”ති සකසකට‍්ඨානෙහි නික‍්ඛමිත්‍වා විහාරමජ‍්ඣෙ සන‍්නිපතිංසු. ද‍්වෙපි ජනා එකමග‍්ගෙනාගතා නාම නත්‍ථි. උපාසිකා එකෙකට‍්ඨානතො එකෙකමෙව ආගච‍්ඡන‍්තං දිස‍්වා, “මම පුත‍්තෙහි අඤ‍්ඤමඤ‍්ඤං කලහො කතො භවිස‍්සතී”ති චින‍්තෙත්‍වා භික‍්ඛුසඞ‍්ඝං වන්‍දිත්‍වා පුච‍්ඡි – “කලහං නු ඛො, භන‍්තෙ, කරිත්‍ථා”ති? “න කරොම, මහාඋපාසිකෙ”ති. “සචෙ වො, භන‍්තෙ, කලහො නත්‍ථි, අථ කස‍්මා යථා අම‍්හාකං ගෙහං ආගච‍්ඡන‍්තා සබ‍්බෙ එකතොව ආගච‍්ඡථ, එවං අනාගන‍්ත්‍වා එකෙකට‍්ඨානතො එකෙකාව ආගතා”ති? “මහාඋපාසිකෙ, එකෙකස‍්මිං ඨානෙ නිසීදිත්‍වා සමණධම‍්මං කරිම‍්හා”ති.

මෙසේ කතිකා කොට වාසය කරන කල්හි ඒ උපාසිකා තොමෝ ගිතෙල් තෙල් පැණි ආදිය ගෙන්වා ගෙන දැසිදස්කම්කරුවන්ද පිරිවරා සවස් වේලෙහි එම විහාරයට ගොස් විහාරයට මැද භික්ෂූන් නොදැක ආර්යයන්වහන්සේලා කොහි වැඩියාහුදැයි මිනිසුන්ගෙන් අසා තමතමන්ගේ රාත්‍රිස්ථාන දිවාස්ථානවල වැඩ සිටිනු ඇති ආර්යාවනියි කී කල කුමක් කොට උන්වහන්සේලා දැකිය හැකිදැයි ඇසුවාය. ඉන්පසු භික්ෂූන් වහන්සේලාගේ කතිකාවත දන්නා මිනිස්සු මෙසේ කීවාහුය. ආර්යාවනි, ගෙඩිය ගැසූ පසු රැස් වන්නාහුය. ඈ ගෙඩිය ගස්වාපීය. භික්ෂූහු ගෙඩියේ ශබ්දය අසා, කාට හෝ අපහසුවක් වී ඇතැයි සිතා ස්වකීය ස්ථානවලින් නික්මී අවුත් විහාර මධ්‍යයෙහි රැස්වූවාහුය. දෙනමක් එක් මගකින් නොආහ. උපාසිකාව එක් එක් තැනකින් එකම නමක් බැගින් එනු දැක මපුතුන් ඔවුනොවුන් කෝලාහලයක් කරගන්නට ඇතියි සිතා භික්ෂුසංඝයා වැඳ මෙසේ විචාළාය. ස්වාමීනි, ඔබවහන්සේලා කෝලාහල කරගත්තාහු ද? මහෝපාසිකාවනි, අපි එසේ නොකරන්නෙමු. ඉතින් ඔබවහන්සේලා අතර කලහයක් නැත්නම්, අපේ ගෙට එනවිට සියලුදෙනා වහන්සේම එකතුවී වැඩියාහුය. එසේ නෑවිත් එක් එක් තැනින් එක්නම බැගින් ආවේ ඇයි? මහාඋපාසිකාවනි, එක් එක් තැන වෙනවෙනම හිඳිමින් මහණදම් පුරන්නෙමු.

“කො එස, භන‍්තෙ, සමණධම‍්මො නාමා”ති? “ද‍්වත‍්තිංසාකාරෙ සජ‍්ඣායං කරොම, අත‍්තභාවෙ ච ඛයවයං පට‍්ඨපෙම, මහාඋපාසිකෙ”ති. “කිං පන, භන‍්තෙ, ද‍්වත‍්තිංසාකාරෙ සජ‍්ඣායං කාතුං, අත‍්තභාවෙ ච ඛයවයං පට‍්ඨපෙතුං තුම‍්හාකමෙව වට‍්ටති, උදාහු අම‍්හාකම‍්පීති, කස‍්සචිපි අවාරිතො එස ධම‍්මො, මහාඋපාසිකෙ”ති. “තෙන හි, භන‍්තෙ, මය‍්හම‍්පි ද‍්වත‍්තිංසාකාරං දෙථ, අත‍්තභාවෙ ච ඛයවයපට‍්ඨපනං ආචික‍්ඛථා”ති. “තෙන හි උග‍්ගණ‍්හ, මහාඋපාසිකෙ”ති සබ‍්බං උග‍්ගණ‍්හාපෙසුං.

දරුවනි, එය කවර නම් ශ්‍රමණධර්මයක් ද? මහෝපාසිකාවනි, අපි ද්විත්තිංසාකාරය සජ්ඣායනා කරමු. ආත්මභාවයේ ක්ෂයවීම වැයවීම හදාරන්නෙමු. ස්වාමීනි, ද්වත්තිංසාකාර සජ්ඣායනය, ආත්ම භාවයෙහි ක්ෂයවීම හා වැයවීම හැදෑරීම ඔබවහන්සේලාට පමණක් සුදුසුද, අපට නුසුදුසු ද? උපාසිකාවනි, මෙය කිසිවකුටත් වළක්වා නැත. ස්වාමීනි, එසේනම් ඒ ද්වත්තිංසාකාරය අපටත් දෙන්න. ආත්මභාවයෙහි ක්ෂය වැය පිහිටුවීම කියා දෙනු මැනවි. උපාසිකාවනි, එසේනම් ගන්නැයි සියල්ල උගැන්වූහ.

සා තතො පට‍්ඨාය ද‍්වත‍්තිංසාකාරෙ සජ‍්ඣායං කත්‍වා අත‍්තනි ඛයවයං පට‍්ඨපෙත්‍වා තෙහි භික‍්ඛූහි පුරෙතරමෙව තයො මග‍්ගෙ, තීණි ච ඵලානි පාපුණි. මග‍්ගෙනෙව චස‍්සා චතස‍්සො පටිසම‍්භිදා ලොකියඅභිඤ‍්ඤා ච ආගමිංසු. සා මග‍්ගඵලසුඛතො වුට‍්ඨාය දිබ‍්බචක‍්ඛුනා ඔලොකෙත්‍වා, “කදා නු ඛො මම පුත‍්තෙහි අයං ධම‍්මො අධිගතො”ති උපධාරෙන‍්තී සබ‍්බෙපිමෙ සරාගා සදොසා සමොහා ඣානවිපස‍්සනාමත‍්තම‍්පි තෙසං නත්‍ථි, “කිං නු ඛො මය‍්හං පුත‍්තානං අරහත‍්තස‍්ස උපනිස‍්සයො අත්‍ථි, නත්‍ථී”ති ආවජ‍්ජෙත්‍වා, “අත්‍ථී”ති දිස‍්වා, “සෙනාසනසප‍්පායං නු ඛො අත්‍ථි, නත්‍ථී”ති ආවජ‍්ජෙත්‍වා තම‍්පි දිස‍්වා, “පුග‍්ගලසප‍්පායං නු ඛො ලභන‍්ති, න ලභන‍්තී”ති ආවජ‍්ජෙසි, පුග‍්ගලසප‍්පායම‍්පි දිස‍්වා, “ආහාරසප‍්පායං නු ඛො ලභන‍්ති, න ලභන‍්තී”ති උපධාරෙන‍්තී “ආහාරසප‍්පායං නෙසං නත්‍ථී”ති දිස‍්වා තතො පට‍්ඨාය නානාවිධං යාගුං, අනෙකප‍්පකාරං ඛජ‍්ජකං, නානග‍්ගරසඤ‍්ච භොජනං සම‍්පාදෙත්‍වා ගෙහෙ භික‍්ඛූ නිසීදාපෙත්‍වා දක‍්ඛිණොදකං දත්‍වා, “භන‍්තෙ, තුම‍්හාකං යං යං රුච‍්චති, තං තං ගහෙත්‍වා පරිභුඤ‍්ජථා”ති නිය්‍යාදෙසි. තෙ යථාරුචි යාගුආදීනි ගහෙත්‍වා පරිභුඤ‍්ජන‍්ති. තෙසං සප‍්පායාහාරං ලභන‍්තානං චිත‍්තං එකග‍්ගං අහොසි.

ඕතොමෝ එතැන් පටන් ද්වත්තිංසාකාරය සජ්ඣායනා කොට ආත්මය ක්ෂයවීම හා වැයවීම පිළිබඳ සිත පිහිටුවා ඒ භික්ෂූන්ට පෙරාතුවම ත්‍රිවිධ මාර්ග හා ඵලයන්ට පැමිණියාය. මාර්ගයන්ට පැමිණෙන්නාහාත් සමගම ඈ සිවුපිළිසිඹියාවන්ටද, ලෞකික අභිඥාවන්ටද පැමිණියාය. ඈ මාර්ගඵලසුවයෙන් නැගිට දිවැසින් බලා, මගේ පුතුන් කවදා නම් මේ ධර්මාවබෝධය ලබත්දැයි සොයා බලන්නී, මේ සියලුදෙනාම රාග සහිතයෝය, ද්වේශ සහිතයෝය, මෝහ සහිතයේය. ධ්‍යානවිපස්සනා මාත්‍රයකුදු මොවුන්ට නැත. මගේ පුතුන්ට රහත්වීම සඳහා උපනිශ්‍රය (හේතුවාසනා) ඇද්ද නැද්දැයි ආවර්ජනා කොට නැති බව දැක සේනාසන පහසුව නැද්දැයි බලා එය නැති බව දැන, පුද්ගල සප්පාය (සුදුසු පුද්ගලයන්) බලා එයද නැති බව දැන, ආහාරසප්පාය නැද්දැයි බලා, එයද නැති බව දැන එතැන් පටන් අනේකප්‍රකාර කෑයුතුදද, නානාප්‍රකාර භෝජනද සම්පාදනය කොට, ගෙදර භික්ෂූන් වඩා හිඳුවා දක්ෂිණෝදකය (පැන් පිළිගැන්වීම) දී, ස්වාමීනි, ඔබවහන්සේලා කැමති කැමති දෙයක් වළඳන්නැයි පවරා දුන්නාය. උන්වහන්සේලා කැමති කැමති කැඳබත් ආදිය ගෙන වළඳත්. හිතකර ආහාර ලැබූ උන්වහන්සේලාගේ සිත එකඟ බවට පත්විය.

තෙ එකග‍්ගෙන චිත‍්තෙන විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා න චිරස‍්සෙව සහ පටිසම‍්භිදාහි අරහත‍්තං පත්‍වා චින‍්තයිංසු – “අහො මහාඋපාසිකා අම‍්හාකං පතිට‍්ඨා ජාතා, සචෙ මයං සප‍්පායාහාරං න ලභිම‍්හ, න නො මග‍්ගඵලපටිවෙධො අභවිස‍්ස, ඉදානි වුට‍්ඨවස‍්සා පවාරෙත්‍වා සත්‍ථු සන‍්තිකං ගමිස‍්සාමා”ති. තෙ “සත්‍ථාරං දට‍්ඨුකාමම‍්හා”ති මහාඋපාසිකං ආපුච‍්ඡිංසු. “මහාඋපාසිකා සාධු, අය්‍යා”ති. තෙ අනුගන‍්ත්‍වා පුනපි, “භන‍්තෙ, අම‍්හෙ ඔලොකෙය්‍යාථා”ති බහූනි පියවචනානි වත්‍වා පටිනිවත‍්ති.

උන්වහන්සේලා එකඟ වූ සිතින් විදර්ශනාභාවනා වඩා සිව්පිළිසිඹියාපත් රහතන් බවට පත්ව, අහෝ, අපට මේ මහාඋපාසිකාව පිහිට වූවාය. ඉදින් අප සප්පාය ආහාර නොලැබුවාහු නම් කිසි විටෙකත් මගපල ලැබීමක් සිදු නොවන්නේයයි සිතා, දැන් වස්වැස පවරා බුදුන් හමුවට යමුයි, උපාසිකාවනි, අපි බුදුන් දකිනු කැමැත්තම්හයි විචාළහ. උපාසිකාව, ආර්යයන්වහන්ස, ඉතා මැනවැයි උන්වහන්සේලාට පසුගමන් කොට, ස්වාමීන් වහන්ස, නැවතත් අප ගැනත් සලකා බලන්න ආදි බොහෝ ප්‍රියවචනයෙන් කථා කොට නැවතුණාය.

තෙපි ඛො භික‍්ඛූ සාවත්‍ථිං ගන‍්ත්‍වා සත්‍ථාරං වන්‍දිත්‍වා එකමන‍්තං නිසින‍්නා “කච‍්චි, භික‍්ඛවෙ, ඛමනීයං, කච‍්චි යාපනීයං, න ච පිණ‍්ඩකෙන කිලමිත්‍ථා”ති වුත‍්තෙ “ඛමනීයං, භන‍්තෙ, යාපනීයං, භන‍්තෙ, පිණ‍්ඩකෙන පන නෙව කිලමිම‍්හ. අම‍්හාකඤ‍්හි මාතිකමාතා නාමෙකා උපාසිකා චිත‍්තාචාරං ඤත්‍වා, ‘අහො වත නො එවරූපං නාම ආහාරං පටියාදෙය්‍යා’ති චින‍්තිතෙ යථාචින‍්තිතං ආහාරං පටියාදෙත්‍වා අදාසී”ති තස‍්සා ගුණකථං කථයිංසු.

ඒ භික්ෂූහුත් සැවතට ගොස් බුදුන් හමුවී වැඳ එකත්පසෙක හුන්නාහුය. බුදුරජාණන්වහන්සේ, කෙසේ ද මහණෙනි, කැමැත්තෙන් වාසය කළාහුද, යැපීම් ලැබුවාහුද, පිණ්ඩපාත ලැබුවාහුද, එයින් අපහසුවක් නොවී සිටියාහුදැයි විචාළ කල්හි, එසේය ස්වාමීනි, සුවසේ සිටියෙමු. යැපීම් පිණ්ඩපාත ලැබුවෙමු. අපහසුවකින් තොරව ප්‍රීතියෙන් සිටියෙමු. මාතිකමාතා නම් උපාසිකාව අපේ අදහස් දැනගෙන, අපට මෙබඳු ආහාර ලැබුණොත් මැනැවැයි සිතූ විට අප සිතූ හැටියටම ඒ ආහාර පිළියෙල කර දුන්නායයි ඇගේ ගුණ ප්‍රකාශ කළහ.

අඤ‍්ඤතරො භික‍්ඛු තස‍්සා ගුණකථං සුත්‍වා තත්‍ථ ගන‍්තුකාමො හුත්‍වා සත්‍ථු සන‍්තිකෙ කම‍්මට‍්ඨානං ගහෙත්‍වා, “භන‍්තෙ, තං ගාමං ගමිස‍්සාමී”ති සත්‍ථාරං ආපුච‍්ඡිත්‍වා ජෙතවනතො නික‍්ඛමිත්‍වා අනුපුබ‍්බෙන තං ගාමං පත්‍වා විහාරං පවිසනදිවසෙයෙව චින‍්තෙසි –

එක්තරා භික්ෂුවක් ඇගේ මේ ගුණකථාව අසාසිට එහි යනු කැමතිව බුදුන් හමුවෙහි කමටහන් ඉගෙන ස්වාමීනි, මමත් ඒ ගමට යනු කැමැත්තෙමියි බුදුන් විමසා දෙව්රමින් පිටත්ව අනුපිළිවෙලින් එගමට පැමිණ විහාරයට පැමිණි දිනයේම මෙසේ සිතුවේය.

“අයං කිර උපාසිකා චින‍්තිතචින‍්තිතං ජානාති, අහඤ‍්ච මග‍්ගකිලන‍්තො විහාරං පටිජග‍්ගිතුං න සක‍්ඛිස‍්සාමි, අහො වත මෙ විහාරපටිජග‍්ගකං මනුස‍්සං පෙසෙය්‍යා”ති. උපාසිකා ගෙහෙ නිසින‍්නාව ආවජ‍්ජෙන‍්තී තමත්‍ථං ඤත්‍වා, “ගච‍්ඡ, විහාරං පටිජග‍්ගිත්‍වා එහී”ති මනුස‍්සං පෙසෙසි. ඉතරොපි පානීයං පිවිතුකාමො “අහො වත මෙ සක‍්ඛරපානකං කත්‍වා පෙසෙය්‍යා”ති චින‍්තෙසි. උපාසිකා තම‍්පි පෙසෙසි. සො පුනදිවසෙ “පාතොව සිනිද‍්ධයාගුං මෙ සඋත‍්තරිභඞ‍්ගං පෙසෙතූ”ති චින‍්තෙසි. උපාසිකා තථා අකාසි. සො යාගුං පිවිත්‍වා, “අහො වත මෙ එවරූපං ඛජ‍්ජකං පෙසෙය්‍යා”ති චින‍්තෙසි. උපාසිකා තම‍්පි පෙසෙසි. සො චින‍්තෙසි – “අයං උපාසිකා මයා සබ‍්බං චින‍්තිතචින‍්තිතං පෙසෙසි, අහං එතං දට‍්ඨුකාමො, අහො වත මෙ නානග‍්ගරසභොජනං ගාහාපෙත්‍වා සයමෙව ආගච‍්ඡෙය්‍යා”ති. උපාසිකා “මම පුත‍්තො මං දට‍්ඨුකාමො, ආගමනං මෙ පච‍්චාසීසතී”ති භොජනං ගාහාපෙත්‍වා විහාරං ගන‍්ත්‍වා තස‍්ස අදාසි.

මේ උපාසිකාව සිතන සිතන දේ දැන ගන්නීය. මමත් ගමන් වෙහෙස නිසා විහාරය අතුපතුගාන්ට නොහැකි වෙමි. අහෝ, මට විහාරය පිරිසිදු කරවා ගැනීමට මිනිසකු එවන්නේ නම් කොතරම් හොඳදැයි සිතුවේය. ගෙදරසිටි උපාසිකාව එහි සිටිමින්ම මේ කරුණ දැනගෙන ඔබ එහි ගොස් විහාරය පිරිසිදුකර දෙන්නැයි මිනිසකු එවුවාය. ඒ භික්ෂුවද අනේ, මට සකුරුවලින් බීමක් තනා එවන්නේනම් කෙතරම් යහපත්දැයි සිතුවේය. උපාසිකාව එයද එවුවාය. දෙවෙනි දින උදෑසනම කටදැවිල්ලකුත් සමග සිනිඳු කැඳක් එවන්නේ නම් යෙහෙකියි සිතුවේය. උපාසිකාව එසේ කළාහ. ඔහු කැඳ බී, අනේ මට දැන් මෙබඳු කැවිල්ලක් එවන්නේ නම් මැනවැයි සිතුවේය. උපාසිකාව එයද එවුවාය. ඔහු මේ උපාසිකාව මා සිතූ සිතූ සියල්ල එලෙසින්ම එවුවාය. මම ඈ දකිනු කැමැත්තෙමි. අනේ, නානාග්‍රරසයෙන්යුත් භෝජනයක් රැගෙන ඈම මෙහි පැමිණෙන්නේ නම් ඉතා යෙහෙකියි සිතුවේය.

සො කතභත‍්තකිච‍්චො “මාතිකමාතා නාම ත්‍වං, මහාඋපාසිකෙ”ති පුච‍්ඡි. “ආම, තාතා”ති. “ත්‍වං පරචිත‍්තං ජානාසී”ති? “කිං මං පුච‍්ඡසි, තාතා”ති? “මයා චින‍්තිතචින‍්තිතං සබ‍්බමකාසි, තෙන තං පුච‍්ඡාමී”ති. “පරචිත‍්තජානනකභික‍්ඛූ බහූ, තාතා”ති? “නාහං අඤ‍්ඤෙ පුච‍්ඡාමි, තුවං පුච‍්ඡාමි, උපාසිකෙ”ති. එවං සන‍්තෙපි උපාසිකා “පරචිත‍්තං ජානාමී”ති අවත්‍වා “පරචිත‍්තං ජානන‍්තා නාම එවං කරොන‍්ති පුත‍්තා”ති ආහ. සො “භාරියං වතිදං කම‍්මං, පුථුජ‍්ජනා නාම සොභනම‍්පි අසොභනම‍්පි චින‍්තෙන‍්ති, සචාහං කිඤ‍්චි අයුත‍්තං චින‍්තයිස‍්සාමි, සහ භණ‍්ඩකෙන චොරං චූළාය ගණ‍්හන‍්තී විය මං විප‍්පකාරං පාපෙය්‍ය, මයා ඉතො පලායිතුං වට‍්ටතී”ති චින‍්තෙත්‍වා, “උපාසිකෙ, අහං ගමිස‍්සාමී”ති ආහ. “කහං, අය්‍යා”ති? “සත්‍ථු සන‍්තිකං, උපාසිකෙ”ති. “වසථ තාව, භන‍්තෙ, ඉධා”ති. “න වසිස‍්සාමි, උපාසිකෙ, ගමිස‍්සාමෙවා”ති නික‍්ඛමිත්‍වා සත්‍ථු සන‍්තිකං අගමාසි.

උපාසිකාව මපුතු අද මා දකිනු කැමැත්තෙන්, මගේ පැමිණීම බලා සිටිතියි භෝජනයක් සූදානම් කරගෙන විහාරයට ගොස් දුන්නාය. ඒ භික්ෂුව දන් වළඳා අවසානයෙහි, උපාසිකාවනි, මාතිකමාතා නම් ඔබදැයි විචාළේය. දරුව එසේය. ඔබ අනුන්ගේ සිත් දන්නෙහිද? දරුව මා විචාරන්නේ ඇයි? මා සිතූ සියල්ල ඔබ විසින් කරන ලද්දෙහිය, එනිසා විචාරමි. දරුව පරසිත්දන්නා භික්ෂූහු බොහෝ වෙතියි කීවාය. මම අනිත් අය ගැන නොඅසමි. උපාසිකාව ඔබ ගැන අසමි. එසේ වුවත් උපාසිකාව තමන් අනුන්සිත් දන්නෙමියි නොකියා. පරසිත් දැනගැනීමට නොහැකි අය එසේ කරත් යයි කීවාය. මෙය ඉතා භයානකය. පුහුදුන් අය (ආර්ය භාවයට නොපත්) හොඳදේත් නරකදේත් සිතති. ඉදින් මම කිසියම් අයුත්තක් සිතන්නෙම් නම් බඩුත් සමග සොරා කෙස්වහල්ලෙන් අල්ලා ගන්නාක් මෙන් මා විපිළිසරට පත් කරන්නී යයි සිතීය. දැන් මා මෙතැනින් පලා යායුතුයි. කොහාටද? උපාසිකාවනි, බුදුන් හමුවටයි. ස්වාමීනි මෙහිම වසු මැනවි. උපාසිකාවනි මෙහි නොඉන්නෙමි. යන්නෙමි යයි කියා පිටත්ව බුදුන් හමුවට ගියේය.

අථ නං සත්‍ථා “කිං භික‍්ඛු න ත්‍වං තත්‍ථ වසසී”ති පුච‍්ඡි. “ආම, භන‍්තෙ, න සක‍්කා තත්‍ථ වසිතු”න‍්ති. “කිං කාරණා භික‍්ඛූ”ති? “භන‍්තෙ, සා උපාසිකා චින‍්තිතචින‍්තිතං සබ‍්බං ජානාති, පුථුජ‍්ජනා ච නාම සොභනම‍්පි අසොභනම‍්පි චින‍්තෙන‍්ති, සචාහං කිඤ‍්චි අයුත‍්තං චින‍්තෙස‍්සාමි, සහ භණ‍්ඩකෙන චොරං චූළාය ගණ‍්හන‍්තී විය මං විප‍්පකාරං පාපෙස‍්සතී”ති චින‍්තෙත්‍වා ආගතොම‍්හීති. “භික‍්ඛු, තත්‍ථෙව තයා වසිතුං වට‍්ටතී”ති, “න සක‍්කොමි, භන‍්තෙ, නාහං තත්‍ථ වසිස‍්සාමී”ති. “තෙන හි ත්‍වං, භික‍්ඛු, එකමෙව රක‍්ඛිතුං සක‍්ඛිස‍්සසී”ති. “කිං, භන‍්තෙ”ති? “තව චිත‍්තමෙව රක‍්ඛ, චිත‍්තං නාමෙතං දුරක‍්ඛං, ත්‍වං අත‍්තනො චිත‍්තමෙව නිග‍්ගණ‍්හ, මා අඤ‍්ඤං කිඤ‍්චි චින‍්තයි, චිත‍්තං නාමෙතං දුන‍්නිග‍්ගහ”න‍්ති වත්‍වා ඉමං ගාථමාහ –

ඉන්පසු බුදුරජාණන්වහන්සේ, භික්ෂුව, ඇයි ඔබ එහි නොනැවතුණේදැයි ඇසූහ. එසේය ස්වාමීනි, එහි විසීම අපහසු යයි කීවේය. මහණ, ඒ කුමක් නිසා ද? ස්වාමීනි, ඒ උපාසිකාව සිතන සිතන සියල්ලම දැන ගනී. පුහුදුන් මිනිස්සු හොඳදේ මෙන්ම නරක දේවල්ද සිතති. ඉදින් මම අයුතු යමක් සිතුවොත් සොරා සහිතව බඩු අල්ලාගෙන කෙස්වලින් අල්ලා ගන්නාක් මෙන් මා අල්ලා විපිළිසරට පත්කෙරෙතියි සිතා ආවෙමියි කීවේය. මහණ ඔබ එහිම සිටියා නම් වඩා හොඳයයි වදාළහ. බැහැ ස්වාමීනි, මට එහි විසීම අපහසුයි. එසේ නම් මහණ එක් දෙයක් පමණක් රැකිය හැකිද? ස්වාමීනි, ඒ කුමක්ද? ඔබේ සිත පමණක් රකුව. සිත රැකීම අපහසුයි. තම තමන්ගේ සිතටම නිග්‍රහ කරව. වෙන කිසිවක් නොසිතව. සිතට එසේ නිග්‍රහ කිරීමත් අමාරුයයි මේ ගාථාව වදාළහ.

“දුන‍්නිග‍්ගහස‍්ස ලහුනො, යත්‍ථකාමනිපාතිනො; චිත‍්තස‍්ස දමථො සාධු, චිත‍්තං දන‍්තං සුඛාවහ”න‍්ති.

නිගරු කැරුමට නොමහැකි කැමති තැනකම ලගිනා සිත දමනය උතුම් දැමුණ සිත සුව එලවයි

තත්‍ථ චිත‍්තං නාමෙතං දුක‍්ඛෙන නිග‍්ගය‍්හතීති දුන‍්නිග‍්ගහං. ලහුං උප‍්පජ‍්ජති ච නිරුජ‍්ඣති චාති ලහු. තස‍්ස දුන‍්නිග‍්ගහස‍්ස ලහුනො. යත්‍ථකාමනිපාතිනොති යත්‍ථ කත්‍ථචිදෙව නිපතනසීලස‍්ස. එතඤ‍්හි ලභිතබ‍්බට‍්ඨානං වා අලභිතබ‍්බට‍්ඨානං වා යුත‍්තට‍්ඨානං වා අයුත‍්තට‍්ඨානං වා න ජානාති, නෙව ජාතිං ඔලොකෙති, න ගොත‍්තං, න වයං. යත්‍ථ යත්‍ථ ඉච‍්ඡති, තත්‍ථ තත්‍ථෙව නිපතතීති “යත්‍ථකාමනිපාතී”ති වුච‍්චති. තස‍්ස එවරූපස‍්ස චිත‍්තස‍්ස දමථො සාධු චතූහි අරියමග‍්ගෙහි දන‍්තභාවො යථා නිබ‍්බිසෙවනං හොති, තථා කතභාවො සාධු. කිං කාරණා? ඉදඤ‍්හි චිත‍්තං දන‍්තං සුඛාවහං නිබ‍්බිසෙවනං කතං මග‍්ගඵලසුඛං පරමත්‍ථනිබ‍්බානසුඛඤ‍්ච ආවහතීති.

එහි මේ සිත දුකසේ නිග්‍රහ කළ යුතුය යන අරුතින් දුන්නිග්ග නම් වේ. ඉක්මනින් ඉපදීමත්, නැතිවීමත් යනු ලහු නම් වේ. දුන්නිග්ගහස්ස ලහුනො යත්ථ කාමනිපාතිනො යනු කිසියම් ඕනෑම තැනක වැටෙන ස්වරූපය ඇති බවයි. මේ සිත පැවතිය යුතු තැන හෝ නොදනියි. ජාතිය ගෝත්‍රය, වයස ආදි කිසිවක්ම නොබලයි. යම් තැනක කැමති නම් එතැනට වැටෙයි. යත්ථ කාමනිපාති යනු ඒ අර්ථයයි කියනු ලැබේ. මෙබඳු මේ සිතට චිත්තස්ස දමථො සාධු යනු චතුරාර්යසත්‍ය මාර්ගයෙන් දමනය වූ ස්වභාවය ඇති කර සේවනය කළ නොහැකි ශාන්ත තත්ත්වයට පත් වෙයිද? එබඳු ස්වරූපයට පත් කිරීම යහපත්ය. කුමක් නිසාද? චිත්තං දන්තං සුඛාවහං දමනයෙන් සේවනය කළ නොහැකි ශාන්ත භාවයට පත් මේ සිත මාර්ගඵල සැපයත්, පරමාර්ථවූ නිවන් සුවයත් ගෙනදෙයි යන අර්ථයයි.

දෙසනාපරියොසානෙ සම‍්පත‍්තපරිසාය බහූ සොතාපන‍්නාදයො අහෙසුං, මහාජනස‍්ස සාත්‍ථිකා ධම‍්මදෙසනා ජාතාති.

දේශනා කෙළවර පැමිණි පිරිසෙන් බොහෝ අය සෝවාන් ආදීන් බවට පත්වූහ. ධර්මදේශනාව මහජනයාට සාර්ථක විය.

සත්‍ථා තස‍්ස භික‍්ඛුනො ඉමං ඔවාදං දත්‍වා, “ගච‍්ඡ, භික‍්ඛු, අඤ‍්ඤං කිඤ‍්චි අචින‍්තයිත්‍වා තත්‍ථෙව වසාහී”ති පහිණි. සො භික‍්ඛු සත්‍ථු සන‍්තිකා ඔවාදං ලභිත්‍වා තත්‍ථ අගමාසි. කිඤ‍්චි බහිද‍්ධා චින‍්තනං නාම න චින‍්තෙසි. මහාඋපාසිකාපි දිබ‍්බෙන චක‍්ඛුනා ඔලොකෙන‍්තී ථෙරං දිස‍්වා, “ඉදානි ඔවාදදායකං ආචරියං ලභිත්‍වා පුනාගතො මම පුත‍්තො”ති අත‍්තනො ඤාණෙනෙව පරිච‍්ඡින්‍දිත්‍වා තස‍්ස සප‍්පායාහාරං පටියාදෙත්‍වා අදාසි. සො සප‍්පායභොජනං සෙවිත්‍වා කතිපාහෙනෙව අරහත‍්තං පත්‍වා මග‍්ගඵලසුඛෙන වීතිනාමෙන‍්තො “අහො මහාඋපාසිකා මය‍්හං පතිට‍්ඨා ජාතා, අහං ඉමං නිස‍්සාය භවනිස‍්සරණං පත‍්තොම‍්හී”ති චින‍්තෙත්‍වා, “ඉමස‍්මිං තාව මෙ අත‍්තභාවෙ පතිට‍්ඨා ජාතා, සංසාරෙ පන මෙ සංසරන‍්තස‍්ස අඤ‍්ඤෙසුපි අත‍්තභාවෙසු අයං පතිට‍්ඨා භූතපුබ‍්බා, නො”ති උපධාරෙන‍්තො එකූනඅත‍්තභාවසතං අනුස‍්සරි. සාපි එකූනඅත‍්තභාවසතෙ තස‍්ස පාදපරිචාරිකා අඤ‍්ඤෙසු පටිබද‍්ධචිත‍්තා හුත්‍වා තං ජීවිතා වොරොපෙසි. ථෙරො තස‍්සා එත‍්තකං අගුණං දිස‍්වා, “අහො මයං මහාඋපාසිකා භාරියං කම‍්මං අකාසී”ති චින‍්තෙසි.

බුදුරජාණන්වහන්සේ ඒ භික්ෂුවට මේ අවවාදය දී, ඒ භික්ෂුව අමතා, මහණ ඔබ වෙන කොහේවත් නොගොස් එහිම ගොස් වාසය කරවයි යැවූහ. ඒ භික්ෂුව බුදුන් වෙතින් අවවාද ලබාගෙන එහි ගියේය. කිසිම බැහැර සිතක් නොසිතීය. මහාඋපාසිකාව දිවැසින් තෙරුන් දැක දැන් සුදුසු අවවාද දෙන ගුරුවරයකු ලැබී, මගේපුතා නැවත ආවේයයි සිතා සිය නැණින්ම හොඳින් දැනගෙන ඒ භික්ෂුවට සුදුසු ආහාර පිළියෙල කොට දුන්නාය. ඒ භික්ෂුව සුදුසු බොජුන් වළඳා කීප දිනකින්ම රහත්බවට පැමිණ මාර්ගඵල සැපයෙන් කල් යවන්නේ, අහෝ, මහෝපාසිකාව මට පිහිට වූවාය. මම මෑ නිසා භවනිස්සරණයට (නිවනට) පැමිණියෙමියි සිතා, මේ උපාසිකාව මේ ආත්මයේ දී මට පිහිටවූවාය. මේ සසර සැරිසරණ විට වෙනත් ආත්මභාවවලදීත් මෝ තොමෝම පිහිට වූවාදැයි සොයා බලන්නේ ආත්මභාව අනූනවයක් සිහි කළේය. ඈ ද අනූනවයක් ආත්මභාවවලදී ඔහුගේ පාදපරිචාරිකාව වී වෙනත් කෙනෙකුට ඇලුම් ඇති කරගෙන ඔහු ජීවිතයෙන් තොර කළාය. තෙරුන්වහන්සේ ඇගේ මේ අගුණරාශිය දැක අනේ මේ උපාසිකාව බැරෑරුම් පව්කමක් කළායයි සිතුවෝය.

මහාඋපාසිකාපි ගෙහෙ නිසින‍්නාව “කිං නු ඛො මය‍්හං පුත‍්තස‍්ස පබ‍්බජිතකිච‍්චං මත‍්තකං පත‍්තං, නො”ති උපධාරයමානා තස‍්ස අරහත‍්තපත‍්තිං ඤත්‍වා උත‍්තරි උපධාරියමානා, “මම පුත‍්තො අරහත‍්තං පත්‍වා අහො වත මෙ අයං උපාසිකා මහතී පතිට‍්ඨා ජාතා”ති චින‍්තෙත්‍වා, “අතීතෙපි නු ඛො මෙ අයං පතිට‍්ඨා භූතපුබ‍්බා, නො”ති උපධාරෙන‍්තො එකූනඅත‍්තභාවසතං අනුස‍්සරි, “අහං ඛො පන එකූනඅත‍්තභාවසතෙ අඤ‍්ඤෙහි සද‍්ධිං එකතො හුත්‍වා එතං ජීවිතා වොරොපෙසිං, අයං මෙ එත‍්තකං අගුණං දිස‍්වා ‘අහො භාරියං කම‍්මං කතං උපාසිකායා”ති චින‍්තෙසි. “අත්‍ථි නු ඛො එවං සංසාරෙ සංසරන‍්තියා මම පුත‍්තස‍්ස උපකාරො කතපුබ‍්බො”ති උපධාරයමානා තතො උත‍්තරිං සතමං අත‍්තභාවං අනුස‍්සරිත්‍වා සතමෙ අත‍්තභාවෙ මයා එතස‍්ස පාදපරිචාරිකාය හුත්‍වා එතස‍්මිං ජීවිතා වොරොපනට‍්ඨානෙ ජීවිතදානං දින‍්නං, අහො මයා මම පුත‍්තස‍්ස මහාඋපකාරො කතපුබ‍්බො”ති ගෙහෙ නිසින‍්නාව උත‍්තරිං විසෙසෙත්‍වා “උපධාරෙථා”ති ආහ.

මහාඋපාසිකාවද ගෙදර හිඳගෙනම කිම, මගේ පුතාගේ පැවිදි කටයුතු ඉටුවීදැයි විමසා බලන්නී, ඔහුගේ රහත්බවට පැමිණීම දැක තවත් ඈතට විමසා බලන විට, මගේ පුතා රහත් වී අහෝ මේ උපාසිකාව මට මහත්සේ පිහිට වූවායයි සිතන බවද දැක, අතීතයෙත් මෑ මෙසේ මට පිහිට වූවාදැයි සොයන්නේ අනූනවයක් ආත්මභාව සිහි කළාය. මම ආත්ම අනූනවයක් සිට ඊළඟ ආත්මභාවයේදී වෙනත් එකකු සමග එක්වී මොහු දිවියෙන් තුරන් කෙළෙමියි මොහු මගේ මෙතෙක් වූ අගුණ රාශිය දැක, අනේ බැරෑරුම් පව්කමක් උපාසිකාව විසින් කරන ලදැයි සිතීය. මා මගේ පුතාට සසර සැරිසරණ අවධියෙහි උපකාර කරන ලද්දේදැයි සොයා බලන විට ඊට පෙර සියවෙනි ආත්මභාවය දක්වා සිහි කොට ඒ සියවෙනි ආත්මභාවයෙහිදී මම මොහුට පාදපරිචාරිකාව වී එක් ජීවිතනැතිකරන (වධකස්ධානය) තැනකදී ජීවිත දානය දුන්නෙමි. අනේ මම මගේ පුතාට බොහෝ උපකාර කර ඇත්තෙමියි ගෙදර හිඳගෙනම ඊට එහා කාලය විශේෂයෙන් සොයා බලවයි කීවාය.

සො දිබ‍්බාය සොතධාතුයා සද‍්දං සුත්‍වා විසෙසෙත්‍වා සතමං අත‍්තභාවං අනුස‍්සරිත්‍වා තත්‍ථ තාය අත‍්තනො ජීවිතස‍්ස දින‍්නභාවං දිස‍්වා, “අහො මම ඉමාය මහාඋපාසිකාය උපකාරො කතපුබ‍්බො”ති අත‍්තමනො හුත්‍වා තස‍්සා තත්‍ථෙව චතූසු මග‍්ගඵලෙසු පඤ‍්හං කථෙත්‍වා අනුපාදිසෙසාය නිබ‍්බානධාතුයා පරිනිබ‍්බායීති.

උන්වහන්සේ දිවකනින් ඒ ශබ්දය අසා විශේෂයෙන් සියවෙනි ආත්මභාවය සිහි කොට එහිදී ඈ තමන්ට ජීවිතදානය කළ බව දැක, අනේ මට මේ උපාසිකාව එහි දී උපකාර කළා යයි සතුටුව එහිදීම සිව්මගපල පිළිබඳ ප්‍රශ්න විසඳා අනුපධිශේෂපරිනිර්වාණධාතුයෙන් පිරිනිවිසේක.

අඤ‍්ඤතරභික‍්ඛුවත්‍ථු දුතියං.

දෙවන එක්තරා භික්ෂුවකගේ වස්තුවයි.