1. රුහකජාතකවණ‍්ණනා 191 අට‍්ඨකථා
1. රුහකජාතකවණ‍්ණනා (191)
1. රුහක ජාතකය (191)
අපි රුහක ඡින‍්නාපීති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො පුරාණදුතියිකාපලොභනං ආරබ‍්භ කථෙසි. වත්‍ථු අට‍්ඨකනිපාතෙ ඉන්‍ද්‍රියජාතකෙ (ජා· 1.8.60 ආදයො) ආවිභවිස‍්සති. සත්‍ථා පන තං භික‍්ඛුං “අයං තෙ භික‍්ඛු ඉත්‍ථී අනත්‍ථකාරිකා, පුබ‍්බෙපි තෙ එසා සරාජිකාය පරිසාය මජ‍්ඣෙ ලජ‍්ජාපෙත්‍වා ගෙහා නික‍්ඛමනාකාරං කාරෙසී”ති වත්‍වා තෙන යාචිතො අතීතං ආහරි.
අම්භො රුහක ඡින්නාපි යන මේ දේශනාව, බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩවාසය කරන සේක් පැරණි භාර්යාවගේ පෙළඹවීමක් මුල්කරගෙන වදාළ සේක. විස්තර කථාව අටවන නිපාතයේ ඉන්‍ද්‍රිය ජාතකයේ මතු සඳහන් වන්නේය. බුදුරජාණන් වහන්සේ ඒ භික්‍ෂුවට මහණ! ඔබට වනාහි මේ ස්ත්‍රිය අනර්ථකාරීය. පෙර ආත්මයකත් ඈ ඔබට රජු සහිත පිරිස් මැද ලජ්ජා කරවා පමුණුවා ගෙදරින් නෙරපා හරින ලදැයි වදාරා අතීත කථාව ගෙනහැර පෑ සේක.
අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො තස‍්ස අග‍්ගමහෙසියා කුච‍්ඡිම‍්හි නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තො පිතු අච‍්චයෙන රජ‍්ජෙ පතිට‍්ඨාය ධම‍්මෙන රජ‍්ජං කාරෙසි. තස‍්ස රුහකො නාම පුරොහිතො අහොසි, තස‍්ස පුරාණී නාම බ්‍රාහ‍්මණී භරියා. රාජා බ්‍රාහ‍්මණස‍්ස අස‍්සභණ‍්ඩකෙන අලඞ‍්කරිත්‍වා අස‍්සං අදාසි. සො තං අස‍්සං ආරුය‍්හ රඤ‍්ඤො උපට‍්ඨානං ගච‍්ඡති. අථ නං අලඞ‍්කතඅස‍්සස‍්ස පිට‍්ඨෙ නිසීදිත්‍වා ගච‍්ඡන‍්තං ආගච‍්ඡන‍්තඤ‍්ච දිස‍්වා තහිං තහිං ඨිතා මනුස‍්සා “අහො අස‍්සස‍්ස රූපං, අහො අස‍්සො සොභතී”ති අස‍්සමෙව පසංසන‍්ති. සො ගෙහං ආගන‍්ත්‍වා පාසාදං අභිරුය‍්හ භරියං ආමන‍්තෙසි – “භද‍්දෙ , අම‍්හාකං අස‍්සො අතිවිය සොභති, උභොසු පස‍්සෙසු ඨිතා මනුස‍්සා අම‍්හාකං අස‍්සමෙව වණ‍්ණෙන‍්තී”ති. සා පන බ්‍රාහ‍්මණී ථොකං ඡින‍්නිකා ධුත‍්තිකධාතුකා, තෙන නං එවමාහ – “අය්‍ය, ත්‍වං අස‍්සස‍්ස සොභනකාරණං න ජානාසි, අයං අස‍්සො අත‍්තනො අලඞ‍්කතං අස‍්සභණ‍්ඩකං නිස‍්සාය සොභති, සචෙ ත්‍වම‍්පි අස‍්සො විය සොභිතුකාමො අස‍්සභණ‍්ඩකං පිළන්‍ධිත්‍වා අන‍්තරවීථිං ඔරුය‍්හ අස‍්සො විය පාදෙ කොට‍්ටයමානො ගන‍්ත්‍වා රාජානං පස‍්ස, රාජාපි තං වණ‍්ණයිස‍්සති, මනුස‍්සාපි තඤ‍්ඤෙව වණ‍්ණයිස‍්සන‍්තී”ති.
පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී අප මහා බෝසතාණන් වහන්සේ ඔහුගේ අගමෙහෙසියගේ කුසෙහි පිළිසිඳගෙන ඉපදී වැඩිවියට පත්වූවාහු පියාගේ ඇවෑමෙන් රාජ්‍යයෙහි පිහිටා දැහැමින් රාජ්‍යය කළ සේක. ඔහුට රුහක නම් පෙරවි බමුණෙක් සිටියේය. රුහකට ‘පුරාණි’ නම් බැමිණිය බිරිඳ වූවාය. රජතුමා බමුණාට අශ්ව භාණ්ඩවලින් අලංකාර කොට අශ්වයෙකු දුන්නේය. බමුණා ඒ අසුපිට නැග රජුට උපස්ථානයට යයි. ඉක්බිති ඔහු අලංකාර කරන ලද අශ්වයාගේ පිටෙහි හිඳගෙන යන එන අයුරු දැක ඒ ඒ තැන සිට මිනිස්සු, අනේ! අශ්වයාගේ රූපය අනේ අශ්වයා බබළයි යනුවෙන් අශ්වයාට පසසත්. බමුණා ගෙට අවුත් ප්‍රාසාදයට නැග බිරිඳ ඇමතීය. සොඳුරිය! අපගේ අශ්වයා ඉතා හොබනේයයි මග දෙපස සිටි මිනිස්සු අපගේ අශ්වයාම වර්ණනා කෙරෙත්. ඒ බැමිණිය වනාහි මදක් කොරය. නොමනා පැවතුම් ඇත්තීය. ඈ ඔහුට මෙසේ කීවාය. ආර්යයෙනි! නුඹ අශ්වයා ශෝභමාන වීමට හේතුව නොදන්නෙහිය. මේ අශ්වයා තමන්ගේ අලංකාර කරන ලද අශ්ව භාණ්ඩ නිසා බබළයි. ඉදින් නුඹද අශ්වයෙකු මෙන් සෝභාමත් වීමට කැමති වන්නෙහි නම් අශ්ව භාණ්ඩ පැළඳගෙන ඇතුල් වීථියට බැස අශ්වයෙකු මෙන් පා කොටමින් ගොස් රජතුමා දකින්න. රජතුමාද ඔබව වර්ණනා කරන්නේය. මිනිස්සුද ඔබව වර්ණනා කරන්නෝය.
සො උම‍්මත‍්තකජාතිකො බ්‍රාහ‍්මණො තස‍්සා වචනං සුත්‍වා “ඉමිනා නාම කාරණෙන සා මං වදතී”ති අජානිත්‍වා තථාසඤ‍්ඤී හුත්‍වා තථා අකාසි. යෙ යෙ පස‍්සන‍්ති, තෙ තෙ පරිහාසං කරොන‍්තා “සොභති ආචරියො”ති වදිංසු. රාජා පන නං “කිං, ආචරිය, පිත‍්තං තෙ කුපිතං , උම‍්මත‍්තකොසි ජාතො”තිආදීනි වත්‍වා ලජ‍්ජාපෙසි. තස‍්මිං කාලෙ බ්‍රාහ‍්මණො “අයුත‍්තං මයා කත”න‍්ති ලජ‍්ජිතො බ්‍රාහ‍්මණියා කුජ‍්ඣිත්‍වා “තායම‍්හි සරාජිකාය පරිසාය අන‍්තරෙ ලජ‍්ජාපිතො, පොථෙත්‍වා තං නික‍්කඩ‍්ඪිස‍්සාමී”ති ගෙහං අගමාසි. ධුත‍්තිකබ්‍රාහ‍්මණී තස‍්ස කුජ‍්ඣිත්‍වා ආගමනභාවං ඤත්‍වා පුරෙතරඤ‍්ඤෙව චූළද‍්වාරෙන නික‍්ඛමිත්‍වා රාජනිවෙසනං ගන‍්ත්‍වා චතූහපඤ‍්චාහං තත්‍ථෙව අහොසි. රාජා තං කාරණං ඤත්‍වා පුරොහිතං පක‍්කොසාපෙත්‍වා “ආචරිය, මාතුගාමස‍්ස නාම දොසො හොතියෙව, බ්‍රාහ‍්මණියා ඛමිතුං වට‍්ටතී”ති ඛමාපනත්‍ථාය පඨමං ගාථමාහ –
ඒ උමතු ස්වභාවය (බොළඳ) ඇති බමුණා ඇගේ කීම අසා මේ කරුණ නිසා ඈ කියන්නී යයි නොදැන ඇත්තක් කියන්නේ යයි සිතා කී පරිදි කෙළේය. ඔහු දකින දකින අය පරිහාසයට සිනාසෙමින් ඇදුරුතුමා ශෝභමානයයි කීවාහුය. රජතුමා ඒ දැක ඇදුරුතුමනි, ඔබේ පිත කිපුනේද? උමතු වූවෙහිද? ආදිය කියා ලජ්ජා කෙළේය. එවිට බමුණා නුසුදුසු දෙයක් මවිසින් කරන ලදැයි ලජ්ජාවට පත්ව බැමිණිය කෙරෙහි කිපී තී විසින් රජතුමා ඇතුළු සේනාව අතරෙහි මම ලජ්ජා කරවන ලදිමියි තලා ඈ පළවා හරින්නෙමියි ගෙට ගියේය. ධූර්ත බැමිණිය ඔහු කිපී එන බව දැන කල් ඇතිවම කුඩා දොරටුවකින් නික්මී රජ ගෙදරට ගොස් දින හතරක් පහක් එහිම සිටියාය. රජතුමා ඒ කාරණය දැන පුරෝහිතයා කැඳවා ඇදුරුතුමනි, ස්ත්‍රියගේ නම් දොස් ඇත්තේමය. බැමිණියට සමාව දීමට වටී යයි සමා කරවා,
“අපි රුහක ඡින්නාපි, ජියා සන්‍ධීයතෙ පුන; සන්ධීයස්සු පුරාණියා, මා කොධස්ස වසං ගමී”ති.
අම්භො රුහක ඡින්නාපි ජියා සන්‍ධීයතෙ පුන, සන්ධීයස්සු පුරාණියා මා කොධස්ස වසං ගමී.
යන පළමු ගාථාව කීවේය.
“එම්බා රුහක! දුන්නේ දුනුදිය (ලනුව) කැඩුනත් නැවත එය ගැටගසා සන්‍ධි කරනු ලැබේ. ඒ වාගේම නුඹද පුරාණී නම් බිරිඳ සමග එක්වනු. ක්‍රෝධ වසඟයට නොයනු.”
තත්‍රායං සඞ‍්ඛෙපත්‍ථො – භො රුහක, නනු ඡින‍්නාපි ධනුජියා පුන සන්‍ධීයති ඝටීයති, එවමෙව ත්‍වම‍්පි පුරාණියා සද‍්ධිං සන්‍ධීයස‍්සු, කොධස‍්ස වසං මා ගමීති.
මේ එහි කෙටි තේරුමයි. භො රුහක එම්බා රුහක! ඒකාන්තයෙන් ඡින්නාපි දුන්නෙහි කැඩුණු ලනුව නැවත සන්‍ධීයතෙ එකට සම්බන්ධ කරනු ලැබේ. එසේම නුඹද පුරාණියා පුරාණී නම් බිරිඳ සමග, සන්‍ධියස්සු කොධස්ස වසං මාගමීති එක්වන්න. (සමගි වන්න.) ක්‍රෝධ වසඟයට නොයන්න.
තං සුත්‍වා රුහකො දුතියං ගාථමාහ –
ඒ අසා රුහක බමුණා
“විජ‍්ජමානෙසු වාකෙසු, විජ‍්ජමානෙසු කාරිසු; අඤ්ඤං ජියං කරිස්සාමි, අලඤ්ඤෙව පුරාණියා”ති.
විජ්ජමානාසු මරුවාසු, විජ්ජමානෙසු කාරිසු, අඤ්ඤං ජියං කරිස්සාමි අලඤ්ඤෙව පුරාණියා.
යන දෙවන ගාථාව කීවේය.
දුන්නෙහි ලණුව (දුනුදිය) ‘මරුව’ නම් වූ වැහැරි ඇති කල දුනුදිය කරන අය ඇති කල වෙනත් දුනුදියක් කරන්නෙමි. ‘පුරාණි’ නම් බිරිය නොකැමැත්තෙමි.
තස‍්සත්‍ථො – මහාරාජ, ධනුකාරමුදුවාකෙසු ච ජියකාරකෙසු ච මනුස‍්සෙසු විජ‍්ජමානෙසු අඤ‍්ඤං ජියං කරිස‍්සාමි, ඉමාය ඡින‍්නාය පුරාණියා ජියාය අලං, නත්‍ථි මෙ කොචි අත්‍ථොති. එවඤ‍්ච පන වත්‍වා තං නීහරිත්‍වා අඤ‍්ඤං බ්‍රාහ‍්මණිං ආනෙසි.
එහි අර්ථය මහරජ! මරුවා නම් වැහැරි ද දුනුදිය සාදන මිනිසුන් ද ඇතිකුල වෙනත් දුනුදියක් (ලනුවක්) කරන්නෙමි. මේ කොර වූ පුරාණි නම් වූ බිරිඳ තමන්ට දුනුදියෙන් කම් නැත. මට එයින් ඵලක් නැත. මෙසේද කියා ඈ නෙරපා වෙනත් බැමිණියක ගෙනාවේය.
සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා සච‍්චානි පකාසෙත්‍වා ජාතකං සමොධානෙසි – සච‍්චපරියොසානෙ උක‍්කණ‍්ඨිතභික‍්ඛු සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහි. “තදා, බ්‍රාහ‍්මණී, පුරාණදුතියිකා අහොසි, රුහකො උක‍්කණ‍්ඨිතභික‍්ඛු, බාරාණසිරාජා පන අහමෙව අහොසි”න‍්ති.
බුදුරජාණන් වහන්සේ මේ ජාතක ධර්මදේශනාව ගෙනහැර දක්වා චතුරාර්ය ප්‍රකාශකොට ජාතක කථාව නිමවා වදාළ සේක. චතුරාර්ය සත්‍ය දේශනාවගේ කෙළවර කලකිරුණු භික්‍ෂුව සෝවාන් ඵලයෙහි පිහිටියේය. එදා පුරාණි නම් බිරිඳ අද පුරාණ දූතිකාව වූවාය. රුහක බමුණා කලකිරුණු භික්‍ෂුවයි. බරණැස් රජු වනාහි මම ම වූවෙමි යි වදාළ සේක.
රුහකජාතකවණ‍්ණනා පඨමා.