යෙදුමෙන් කියවන්න

2-4. ගමනවග‍්ගො අට‍්ඨකථා

2-4. ගමනවග‍්ගො

2-4. ගමන වර්ගය

දුතියං ගමනං දුක‍්ඛවසෙන වුත‍්තං. තත්‍රාපි අට‍්ඨාරසෙව වෙය්‍යාකරණානි, තතො පරානි “රූපී අත‍්තා හොතී”තිආදීනි අට‍්ඨ වෙය්‍යාකරණානි, තෙහි සද‍්ධිං තං දුතියපෙය්‍යාලොති වුත‍්තො.

දෙවැනි ගමන දුක් වශයෙන් කියන ලදී. එයද අටළොස් ව්‍යාකරණයකි. ඉන් අන්‍ය වූ “රූපී අත්තා හොති” යනාදී අට ව්‍යාකරණයෝ ඒවා සමඟ ඒ දෙවැනි පෙය්‍යාලය යැයි කියන ලදී.

තත්‍ථ රූපීති ආරම‍්මණමෙව “අත‍්තා”ති ගහිතදිට‍්ඨි. අරූපීති ඣානං “අත‍්තා”ති ගහිතදිට‍්ඨි. රූපී ච අරූපී චාති ආරම‍්මණඤ‍්ච ඣානඤ‍්ච “අත‍්තා”ති ගහිතදිට‍්ඨි. නෙව රූපී නාරූපීති තක‍්කමත‍්තෙන ගහිතදිට‍්ඨි. එකන‍්තසුඛීති ලාභීතක‍්කීජාතිස‍්සරානං උප‍්පන‍්නදිට‍්ඨි. ඣානලාභිනොපි හි අතීතෙ එකන‍්තසුඛං අත‍්තභාවං මනසිකරොතො එවං දිට‍්ඨි උප‍්පජ‍්ජති. තක‍්කිනොපි “යථා එතරහි අහං එකන‍්තසුඛී, එවං සම‍්පරායෙපි භවිස‍්සාමී”ති උප‍්පජ‍්ජති. ජාතිස‍්සරස‍්සපි සත‍්තට‍්ඨභවෙ සුඛිතභාවං පස‍්සන‍්තස‍්ස එවං උප‍්පජ‍්ජති, එකන‍්තදුක‍්ඛීතිආදීසුපි එසෙව නයො.

එහි “රූපී” යනු අරමුණම ආත්මයයැයි ගන්නා ලද දෘෂ්ටියයි. “අරූපී” යනු ධ්‍යානය ආත්මය යැයි ගත් දෘෂ්ටියයි. “රූපී ච අරූපී ච” යනු අරමුණද ධ්‍යානය ද ආත්මය යැයි ගත් දෘෂ්ටියයි. “නෙව රූපී නාරූපී” යනු තර්ක මාත්‍රයෙන් ගත් දෘෂ්ටියයි. “එකන්ත සුඛී” යනු ධ්‍යානලාභීන්ට, තාර්කිකයන්ට හා ජාති සිහිකිරීමේ නුවණ ලැබූවන්ට උපන් දෘෂ්ටියකි. ධ්‍යානලාභීහුද අතීතයේ ඒකාන්තයෙන්ම සැප ඇති අත්බවක් (ආත්ම භාවයක්) සිහිපත් කර මෙවැනි දෘෂ්ටියක් උපදවා ගනිති. තාර්කිකයන්ටද දැන් මම ඒකාන්තයෙන් සුවපත් වූවාක් මෙන් පරලොවදීද මෙසේම වන්නේ යැයි දෘෂ්ටියක් උපදියි. ජාති සිහිකරන්නවුන්ටද සැප සහිත සත්-අට භවයක් දැක මෙබඳු දෘෂ්ටියක් උපදියි. “එකන්ත දුක්ඛී” ආදියෙහි මේ ක්‍රමයමයි.

තතියපෙය්‍යාලො අනිච‍්චදුක‍්ඛවසෙන තෙහියෙව ඡබ‍්බීසතියා සුත‍්තෙහි වුත‍්තො, චතුත්‍ථපෙය්‍යාලො තිපරිවට‍්ටවසෙනාති.

තෙවැනි පෙය්‍යාල වර්ගයේ ද අනිත්‍ය-දුක්ඛ වශයෙන් එයම විසිහයක් සූත්‍රවලින් විස්තර කරන ලදී. සතරවන පෙය්‍යාලය තිපරිවර්ත වශයෙන් දේශිතය.

දිට‍්ඨිසංයුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

දිට්ඨි සංයුත්තය නිමියේ ය.