යෙදුමෙන් කියවන්න

223. ද‍්විරතනියත්‍ථෙරාපදානං

223. ද‍්විරතනියත්‍ථෙරාපදානං

223. ද්විරතනිය ස්ථවිරාවදානය

2384. මිගලුද‍්දො පුරෙ ආසිං අරඤ‍්ඤෙ කානනෙ අහං, අද‍්දසං විරජං බුද‍්ධං ආහුතීනං පටිග‍්ගහං.

2384. මම පෙර මහවෙනෙහි මුව වැද්දෙක් වීමි. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ කෙලෙස් මල නැති බුදුරදුන් දිටිමි.

2385. මංසපෙසී මයා දින‍්නා විපස‍්සිස‍්ස මහෙසිනො, සදෙවකස‍්මිං ලොකස‍්මිං ඉස‍්සරං කාරයාමහං.

2385. විපස්සී බුදුරදුන්හට මා විසින් මස් කැබැල්ලක් පුදන ලදි. මම (ඒ හේතුවෙන්) දෙවියන් සහිත ලෝකයෙහි ආධිපත්‍යය කරමි.

2386. ඉමිනා මංසදානෙන රතනං නිබ‍්බත‍්තතෙ මම, දුවෙ’මෙ රතනා ලොකෙ දිට‍්ඨධම‍්මස‍්ස පත‍්තියා.

2386. මෙම මස් දන කරණ කොට ගෙණ මට (කාය-චිත්ත සම්පත්ති සඞ්ඛ්‍යාත) රුවන් උපදී. මේ රුවන් දෙක ලෙව්හි නිවන් ලැබීමට උපකාර වේ.

2387. තෙහං සබ‍්බෙ අනුභොමි මංසදානස‍්ස සත‍්තියා, ගත‍්තඤ‍්ච මුදුකං මය‍්හං පඤ‍්ඤා නිපුණවෙදිනී.

2387. මම ඒ සියලු සම්පත් අනුභව කරමි. මස් දනෙහි ශක්තිය කරණ කොට ගෙණ මාගේ ශරීරය ද මෘදුය. සියුම් දෙය අවබෝධ කරගත හැකි ප්‍රඥාව ද වේ.

2388. එකනවුතෙ ඉතො කප‍්පෙ යං මංසමදදිං අහං, දුග‍්ගතිං නාභිජානාමි මංසදානස‍්සිදං ඵලං.

2388. මෙයින් එක්අනූවන කපෙහි මම යම් මස් දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මස් දනෙහි මේ විපාකය යි.

2389. ඉතො චතුත්‍ථකෙ කප‍්පෙ එකො ආසිං ජනාධිපො, මහාරොහිත නාමො සො චක‍්කවත‍්තී මහබ‍්බලො.

2389. මෙයින් සිවුවන කපෙහි ජනාධිපති වූ මහත් බල ඇති මහාරෝහිත නම් සක්විති රජෙක් වීමි.

2390. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

2390. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

ඉත්‍ථං සුදං ආයස‍්මා ද‍්විරතනියො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් ද්විරතනිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

ද‍්විරතනියත්‍ථෙරස‍්ස අපදානං තතියං.

ද්විරතනිය ස්ථවිරාවදානය තෙවැනි යි.