යෙදුමෙන් කියවන්න

329. පුප‍්ඵඡත‍්තියත්‍ථෙරාපදානං

329. පුප‍්ඵඡත‍්තියත්‍ථෙරාපදානං.

329. පුප්ඵඡත්තිය ස්ථවිරාවදානය

2898. සිද‍්ධත්‍ථස‍්ස භගවතො ලොකජෙට‍්ඨස‍්ස තාදිනො, සච‍්චං පකාසයන‍්තස‍්ස නිබ‍්බාපෙන‍්තස‍්ස පාණිනො.

2898-2899. තාදී ගුණ ඇති ලෝකජ්‍යේෂ්ඨ වූ සත්ත්‍වයන් නිවණට පමුණුවන්නා වූ සත්‍යය දේශනා කරන්නා වූ භාග්‍යවත් වූ සිද්ධාත්‍ථී බුදුරජුන්හට දියෙහි හටගත් මනරම් නෙළුම් මල් ගෙණවුත් පුෂ්පච්ඡත‍්‍රයක් (=මල්කුඩයක්) නගා ලීමි.

2899. ජලජං ආහරිත්‍වාන සතපත‍්තං මනොරමං, පුප‍්ඵස‍්ස ඡත‍්තං කත්‍වාන බුද‍්ධස‍්ස අභිරොපයිං.

2900. සිද‍්ධත්‍ථො ච ලොකවිදූ ආහුතීනං පටිග‍්ගහො, භික‍්ඛුසඞ‍්ඝෙ ඨිතො සත්‍ථා ඉමං ගාථං අභාසථ:

2900. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ ත‍්‍රිවිධ ලෝකය ම අවබෝධ කළ ශාස්තෘ වූ සිද්ධාත්‍ථි බුදුරජ තෙමේ භික්‍ෂු සඞ්ඝයා මැද වැඩ හුන්නේ මේ ගාථාව වදාළේය:

2901. “යො මෙ චිත‍්තං පසාදෙත්‍වා පුප‍්ඵඡත‍්තං අධාරයි තෙන චිත‍්තප‍්පසාදෙන දුග‍්ගතිං සො න ගච‍්ඡති.”

2901. “යමෙක් මා කෙරෙහි සිත පහදවා මල් කුඩයක් දැරී ද, හෙතෙම ඒ සිත පැහැදවීම කරණ කොට ගෙණ දුගතියකට නො යයි.”

2902. ඉදං වත්‍වාන සම‍්බුද‍්ධො සිද‍්ධත්‍ථො ලොකනායකො, උය්‍යොජෙත්‍වාන පරිසං වෙහාසං නභමුග‍්ගමි.

2902. ලෝකනායක වූ සිද්ධාත්‍ථි සම්බුදුරජ තෙමේ මෙය වදාරා පිරිස යවා අහසට නැංගේය.

2903. වුට‍්ඨිතෙ නරදෙවම‍්භි සෙතච‍්ඡත‍්තම‍්පි වුට‍්ඨහි, පුරතො බුද‍්ධසෙට‍්ඨස‍්ස ගච‍්ඡති ඡත‍්තමුත‍්තමං.

2903. නරදේව වූ බුදුරජුන් අහස් නැඟි කල්හි සේසත ද නැංගේය. බුදුරජුන්ගේ ඉදිරියෙහි මහඟු ඡුත‍්‍රය ද යෙයි.

2904. චතුනවුතෙ ඉතො කප‍්පෙ යං ඡත‍්තමභිරොපයිං, දුග‍්ගතිං නාභිජානාමි පුප‍්ඵඡත‍්තස‍්සි’දං ඵලං.

2904. මෙයින් සිවු අනූවන කපෙහි යම් ඡත්‍රයක් පිදූයෙම් ද, ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. පුෂ්පච්ඡත‍්‍ර පූජාවෙහි මේ විපාක යි.

2905. චතුසත‍්තතිකප‍්පම‍්හි අට‍්ඨ ජලසිඛා අහූ, සත‍්තරතනසම‍්පන‍්නා චක‍්කවත‍්තී මහබ‍්බලා.

2905. සූසැත්තෑවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති ‘ජලසිඛ’ නම් අට සක්විති රජකෙනෙක් වූහ.

2906. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

2906. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා පුප‍්ඵඡත‍්තියො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් පුප්ඵඡතතිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.

පුප‍්ඵඡත‍්තියත්‍ථෙරස‍්ස අපදානං නවමං.

පුප්ඵඡතතිය ස්ථවිරාවදානය නවවැනි යි.