යෙදුමෙන් කියවන්න

418. යාගුදායකත්‍ථෙරාපදානං

418. යාගුදායකත්‍ථෙරාපදානං

418. යාගුදායක ස්ථවිරාවදානය

4416. අතිථිං මෙ ගහෙත්‍වාන අගච‍්ඡිං ගාමකං තදා, සම‍්පුණ‍්ණනදිකං දිස‍්වා සඞ‍්ඝාරාම මුපාගමිං.

4416. එකල්හි මම මාර්ගෝපකරණ ද ගෙණ ගමකට ගියෙමි. පිරී ගිය නදිය දැක සඞ්ඝාරාමයකට එළඹියෙමි.

4417. ආරඤ‍්ඤකා ධුතධරා ඣායිනො ලූඛචීවරා, විවෙකාභිරතා ධීරා සඞ‍්ඝරාමෙ වසන‍්ති තෙ.

4417. ආරණ්‍යක වූ ද, ධුතාඞ්ගධාරී වූ ද, ධ්‍යාන කරන්නා වූ ද, රූක්‍ෂචීවර දරන්නා වූ ද, විවේකයෙහි ඇලුණු ඒ ප්‍රාඥයෝ සඞ්ඝාරාමයෙහි වෙසෙත්.

4418. ගතී තෙසං උපච‍්ඡින‍්නා සුවිමුත‍්තාන තාදිනං, පිණ‍්ඩාය තෙ න ගච‍්ඡන‍්ති ඔරුද‍්ධනදිතාය හි.

4418. මැනවින් කෙලෙසුන්ගෙන් මිදුනා වූ තාදීගුණ ඇති ඔවුන්ගේ ගමනාගමනය වැළකුනේ ය. (දිය පිරීමෙන්) ඇවිරුනු ගඟ ඇති බැවින් ඔහු පිඬු පිණිස නො යෙත්.

4419. පසන‍්නචිත‍්තො සුමනො වෙදජාතො කතඤ‍්ජලී, තණ‍්ඩුලං මෙ ගහෙත්‍වාන යාගුදානමදාසහං.

4419. මම පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් ප්‍රීතිමත් වූයෙම් බඳැඳිලි ඇත්තෙම් මාගේ සහල් ගෙණ කැඳ දනක් දුනිමි.

4420. පඤ‍්චන‍්නං යාගුං දත්‍වාන පසන‍්නො සෙහි පාණිහි, සකකම‍්මාභිරද‍්ධො’හං තාවතිසංසමගච‍්ඡහං.

4420. මම පහන් සිතැත්තෙම් සියතින් ම පස් නමකට කැඳ දන් දී ස්වකීය කුශලකර්‍මය කරණ කොට ගෙණ පහන් වූයෙමි. (මරණින් මතු) තව්තිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.

4421. මණිමයඤ‍්ච මෙ ව්‍යම‍්හං නිබ‍්බත‍්ති තිදසෙ ගණෙ, නාරීගණෙහි සහිතො මොදාමි ව්‍යම‍්හමුත‍්තමෙ.

4421. මට තව්තිසා දෙව්ලොවෙහි මිණිමුවා විමනක් පහළ විය. ඒ උතුම් විමනෙහි දිව්‍යස්ත්‍රීසමූහයා සහිතව සතුටු වෙමි.

4422. තෙත‍්තිංසක‍්ඛත‍්තුං දෙවින්‍දො දෙවරජ‍්ජමකාරයිං, තිංසක‍්ඛත‍්තුං චක‍්කවත‍්තීමහාරජ‍්ජමකාරයිං.

4422. තෙතිස් වරක් දේවේන්‍ද්‍රව දිව්‍යරාජ්‍යය කරවීමි. තිස්වරක් චක්‍රවර්තී ව මහාරාජ්‍යය කරවීමි.

4423. පදෙසරජ‍්ජං විපුලං ගණනාතො අසංඛියං, දෙවලොකෙ මනුස‍්සෙ වා අනුභොත්‍වා යසං අහං.

4423. (ලබන ලද) මහත් වූ ප්‍රදේශ රාජ්‍යය ගණනින් ගිණිය නො හේ. මම දෙව්ලොව ද මිනිස්ලොව ද යසස් අනුභව කොට -

4424. පච‍්ඡිමභවෙ සම‍්පත‍්තෙ පබ‍්බජිං අනගාරියං, සහ ඔරොපිතෙ කෙසෙ සබ‍්බං සම‍්පටිවිජ‍්ඣහං.

4424. පශ්චිම භවය පැමිණි කල්හි අනගාර්‍ය්‍ය සඞ්ඛ්‍යාත සසුනෙහි පැවිදි වීමි. මම හිස කෙහෙ බෑ කෙණෙහි සියල්ල අවබෝධ කෙළෙමි.

4425. ඛයතො වයතො වා පි සම‍්මසන‍්තො කලෙබරං, පුරෙ සික‍්ඛාපදා දානා අරහත‍්ත මපාපුණිං.

4425. සිරුර ඛය - වය වශයෙන් මෙනෙහි කරන්නෙම් සිකපද ගැණීමට පෙරාතුව ම රහත්බවට පැමිණියෙමි.

4426. සුදින‍්නං මෙ දානවරං වාණිජ‍්ජං සුප‍්පයොජිතං, තෙනෙව යාගුදානෙන පත‍්තො’ම‍්හි අචලං පදං.

4426. මා විසින් උතුම් දනක් මැනවින් දෙන ලදී. වෙළෙඳාමක් මොනවට යොදන ලදී. කැඳ දන කරණකොට ගෙණ ම අචලපදය වූ නිවනට පැමිණියෙම් වෙමි.

4427. සොකං පරිද‍්දවං ව්‍යාධිං දරථං චිත‍්තතාපනං, නාභිජානාමි උප‍්පන‍්නං යාගුදානස‍්සිදං ඵලං.

4427. උපන්නා වූ ශෝකයක් හෝ පරිදේවයක් (=වැලපීමක්) හෝ ව්‍යාධියක් හෝ ක්ලාන්තයක් හෝ චිත්තසන්තාපයක් නො දනිමි. කැඳ දනෙහි මේ විපාක යි.

4428. යාගුං සඞ‍්ඝස‍්ස දත්‍වාන පුඤ‍්ඤක‍්ඛෙත‍්තෙ අනුත‍්තරෙ, පඤ‍්චානිසංසෙ අනුභොමි අහො යාගු සුයිට‍්ඨතා.

4428. නිරුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වූ සඞ්ඝයාට කැඳ දන් දී අනුසස් පසක් ලබමි. කැඳ දන මැනවින් දෙන ලදි. ආශ්චර්‍ය්‍යයෙකි.

4429. අව්‍යාධිතා රූපවතා ඛිප‍්පං ධම‍්මනිසන‍්තිතා, ලාභිතා අන‍්නපානස‍්ස ආයු පඤ‍්චමකං මම.

4429. මාගේ ලෙඩ නැති බව, රූමත් බව, වහා දහම් පිළිවිදුනා බව, ආහාරපාන (සුලභ ව) ලබන බව හා පස්වැනි අනුසස දීර්‍ඝායුෂ්ක බව ද වෙයි.

4430. යො කොචි වෙදං ජනයං සඞ‍්ඝෙ යාගුං දදෙය්‍ය සො, ඉමානි පඤ‍්චඨානානි පතිගණ‍්හෙය්‍ය පණ‍්ඩිතො.

4430. යමෙක් සතුට උපදවමින් සඞ්ඝයා කෙරෙහි කැඳ දෙන්නේ නම් ඒ නැණවත් තෙමේ මේ අනුසස් පස ලබන්නේ ය.

4431. තිංස කප‍්පසහස‍්සම‍්හි යං දානමදදිං තදා, දුග‍්ගතිං නාභිජානාමි යාගුදානස‍්සිදං ඵලං.

4431. එකල්හි මෙයින් කප්තිස්දහසකට පෙර යම් දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. කැඳ දනෙහි මේ විපාක යි.

4432. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, නාගො ච බන්‍ධනං ඡෙත්‍වා විහරාමි අනාසවො.

4432. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජෙකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.

4433. ස‍්වාගතං වත මෙ ආසි බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.

4433. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් වීය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

4434. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛා පි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

4434. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ට විමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා යාගුදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙසෙයින් ආයුෂ්මත් යාගුදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි

යාගුදායකත්‍ථෙරස‍්ස අපදානං අට‍්ඨමං.

යාගුදායක ස්ථවිරාවදානය අටවැනි යි.