යෙදුමෙන් කියවන්න

1. චූළකුණාලජාතකං

1650. ඛුද‍්දානං ලහුචිත‍්තානං අකතඤ‍්ඤූන දූභිනං, නාදෙවසත‍්තො පුරිසො ථිනං සද‍්ධාතුමරහති.

1650. (බඳනා ලද සොරු කෙරෙහි පවා ඇලෙන ස්වභාවය ඇති හෙයින්) ක්‍ෂුද්‍ර වු, වහා පෙරළෙන සිත් ඇත්තා වූ, අකෘතඥ වූ, ද්‍රෝහී වූ ස්ත්‍රීන්ගේ (සිල්වත්බව) භූතාවේශයෙන් තොර කවර නම් පුරුෂයෙක් අදහන්නට සුදුස්සේ ද?

1651. න තා පජානන‍්ති කතං න කිච‍්චං න මාතරං පිතරං භාතරං වා, අනරියා සමතික‍්කන‍්නධම‍්මා සස‍්සෙව චිත‍්තස‍්ස වසං වජන‍්ති.

1651. ඔවුහු තමහට කළ උපකාරය හෝ තමා විසින් කළ යුතු කාර්‍ය්‍යය හෝ නො දනිත්. මා පිය සොහොවුරන් (සියලු නෑයන්) හෝ නො දනිති. නිර්ලජ්ජි වූ, ඉක්ම වූ සච්චරිත්‍ර ධර්‍ම ඇති, ඔවුහු ස්වකීය චිත්තයාගේ ම වසඟයට යෙත්.

1652. චිරානුවුත‍්තම‍්පි පියං මනාපං අනුකම‍්පං පාණසමම‍්පි සන‍්තං, ආවාසු කිච‍්චෙසු ච නං ජහන‍්ති තස‍්මාහමිත්‍ථිනං න විස‍්සසාමි.

1652. ඔවුහු බොහෝ කලක් එක්ව වාසය කළා වූ, ප්‍රිය වූ, මනාප වූ අනුකම්පක වූ, ප්‍රාණ සම වූ තැනැත්තහු පවා විපත්තීන්හි ද සෙසු කෘත්‍යයන්හි ද හැරදමත්. එහෙයින් මම ස්ත්‍රීන් විශ්වාස නො කරමි.

1653. ථිනඤ‍්හි චිත‍්තං යථා වානරස‍්ස කන‍්නප‍්පකන‍්නං යථා රුක‍්ඛඡායා, චලාචලං හදයං ඉත්‍ථියානං චක‍්කස‍්ස නෙමි විය පරිවත‍්තති.

1653. ස්ත්‍රීන්ගේ සිත වානරයකුගේ (සිත) වැන්න. උස් පහත් තැන්වලට වැටෙන රුක්සෙවණක් වැන්න. ස්ත්‍රීන්ගේ සිත (හෘදය) එක් තැනෙකැ නො පිහිටියේ යැ. රිය සකෙහි නිම්වළල්ල මෙන් පෙරළෙයි.

1654. යදා තා පස‍්සන‍්ති සමෙක‍්ඛමානා ආදෙය්‍යරූපං පුරිසස‍්ස විත‍්තං, සණ‍්හාහි වාචාහි නයන‍්ති මෙනං කම‍්බොජකා ජලජෙනෙව අස‍්සං.

1654. (පුරුෂයන්) විමසා බලන්නා වූ ඔවුහු යම් විටෙක ගතයුතු ස්වභාවය ඇති පුරුෂයකු දකිත් ද, (එකල්හි) කාම්බෝජ දේශවාසීන් දියෙහි හටගත් සෙවෙලින් අශ්වයන් (පොළඹවනු) මෙන් මිහිරි වදනින් ඔහු වසඟ කෙරෙත්.

1655. යදා න පස‍්සන‍්ති සමෙක‍්ඛමානා ආදෙය්‍යරූපං පුරිසස‍්ස විත‍්තං, සමන‍්තතො නං පරිවජ‍්ජයන‍්ති තිණ‍්ණො නදීපාරගතොව කුල‍්ලං

1655. (පුරුෂයන්) විමසා බලන්නා වූ ඔවුහු යම් විටෙක ගතයුතු ස්වභාවය නැති පුරුෂයකු දකිත් ද (එකල්හි) නදිය තරණය කොට පරතෙරට ගියහු පසුර (මෙහි - තරණය සඳහා ගත් යම් කිසිවක්) මෙන් හාත්පසින් ඔවුහු හැරදමත්.

1656. සිලෙසූපමා සිඛිරිව සබ‍්බභක‍්ඛා තික‍්ඛමායා නදීරිව සීඝසොතා, සෙවන‍්ති හෙතා පියමප‍්පියඤ‍්ච නාගං යථා ඔරකුලං පරඤ‍්ච.

1656. (ස්ත්‍රීහු පුරුෂයන්ගේ සිත් බඳනා හෙයින්) ලහටු බඳු උපමා ඇතියහ. සියල්ල භක්‍ෂණය කරන ගින්නක් වැන්න. වහා ගලන දියපහර ඇති කඳුරැලි මෙන් ශීඝ්‍රමායා ඇතියහ. මෙතෙර හා එතෙර සෙවුනා නැවක් මෙන් ඔවුහු ප්‍රිය වූවහු ද අප්‍රිය වූවාහු ද සේවනය කෙරෙත්.

1657. න තා එකස‍්ස න ද‍්වින‍්නං ආපණොව පසාරිතො, යො තා මය‍්හන‍්ති මඤ‍්ඤෙය්‍ය වාතං ජාලෙන බාධයෙ.

1657. ඔවුහු විවෘත අවන්හලක් මෙන් එකකුගේ හෝ දෙදෙනකුගේ නො වෙත්, යමෙක් ‘ඔවුහු මගේ යැ’යි සිතා ද හේ දැලින් සුළඟ බඳනේ ය.

1658. යථා නදී ච පන්‍ථො ච පානාගාරං සභා පපා, එවං ලොකිත්‍ථියො නාම වෙලා තාසං න විජ‍්ජති.

1658. නදිය, මාර්‍ගය, පානාගාරය, සභාව හා පැන්හල යම් සේ ද, ලෝකයෙහි ස්ත්‍රීහු නම් එබඳු වෙති. ඔවුනට වෙලාවක් හෝ සීමාවක් විද්‍යමාන නො වේ.

1659. ඝතාසනසමාහෙතා කණ‍්හසප‍්ප සිරූපමා, ගාවො බහි තිණස‍්සෙව ඔමසන‍්ති වරං වරං.

1659. මොවුහු ගින්න හා සමානයහ. කෘෂ්ණ සර්‍පයකුගේ හිස බඳු උපමා ඇතියහ. බැහැර ඇති තෘණ සොයන ගවයන් මෙන් වඩ වඩා උසස් පුරුෂයන් (සධන පුරුෂයන්) සොයන්නාහ.

1660. ඝතාසනං කුඤ‍්ජරං කණ‍්හසප‍්පං මුද‍්ධාභිසිත‍්තං පමදා ච සබ‍්බා, එතෙ නරො නිච‍්චයත‍්තො භජෙථ තෙසං භවෙ දුබ‍්බිදු සබ‍්බභාවො

1660. ගින්න ද ඇතා ද කෘෂ්ණ සර්‍පයා ද අභිෂේක කළ රජ ද සියලු ස්ත්‍රීහු ද යන මොවුන් එළඹ සිටි සිහි ඇති මනුෂ්‍ය තෙම සේවනය කරන්නේ ය. ඔවුන් මැනැවින් නො දන්නේ සියලු අනර්‍ත්‍ථයනට කරුණු වූයේ වන්නේ ය.

1661. නාච‍්චන‍්තවණ‍්ණා න බහූනං කන‍්තා න දක‍්ඛිණා පමදා සෙවිතබ‍්බා, න පරස‍්ස භරියා න ධනස‍්ස හෙතු එතිත්‍ථියො පඤ‍්ච න සෙවිතබ‍්බාති.

1661. අභිරූපවත් ස්ත්‍රිය, බොහෝ දෙනාට ප්‍රිය මනාප ස්ත්‍රිය, නෘත්‍යගීතයෙහි දක්‍ෂ තැනැත්තිය, අනුන්ගේ භාර්‍ය්‍යාව, ධනය නිසා සෙවුනීය යන මේ ස්ත්‍රීහු පස්දෙන නො සෙවිය යුත්තාහ.

1. චූළකුණාලජාතකං.

1. චූළකුණාල ජාතක යි.