යෙදුමෙන් කියවන්න

5. ධොතකමාණව පුච‍්ඡා

5. ධොතකමාණව පුච‍්ඡා

5. ධෝතක මාණව පෘච්ඡා

5-1 පුච‍්ඡාමි තං භගවා බ්‍රූහි මෙතං (ඉච‍්චායස‍්මා ධොතකො) වාචා’භිකඞ‍්ඛාමි මහෙසි තුය‍්හං තව සුත්‍වාන නිග‍්ඝොසං සික‍්ඛෙ නිබ‍්බානමත‍්තනො.

5-1. (ආයුෂ්මත් ධෝතක මෙසේ විචාරයි:) භාග්‍යවතුන් වහන්ස, මුඹ වහන්සේ පුළුවුස්මි, තෙල වදාළ මැනැව. මහර්ෂීන් වහන්ස, මුඹ වහන්සේ ගේ වදන් රුස්නෙමි. මුඹ වහන්සේ ගේ ධර්‍මනිර්ඝෝෂය අසා තමාගේ (රාගාදිය) නිවනු සඳහා (අධිශීලාදියෙහි) හික්මෙන්නෙමි.

5-2 තෙන හාතප‍්පං කරොහි (ධොතකා’ති භගවා) ඉධෙව නිපකො සතො ඉතො සුත්‍වාන නිග‍්ඝොසං සික‍්ඛෙ නිබ‍්බානමත‍්තනො.

5-2. (බුදුහු මෙසේ වදාළහ: ධෝතකය,) එසේ වී නම් මෙහි ම නුවණැති වැ සිහි ඇති වැ උත්සාහ කරව. මෙහි මාගේ වචන අසා තමාගේ කෙලෙස් නිවනු පිණිස (ත්‍රිවිධ ශික්‍ෂාහි) හික්මෙන්නේ යැ.

5-3 පස‍්සාමහං දෙව මනුස‍්ස ලොකෙ (ඉච‍්චායස‍්මා ධොතකො) අකිඤ‍්චනං බ්‍රාහ‍්මණමිරියමානං තං තං නමස‍්සාමි සමන‍්තචක‍්ඛු පමුඤ‍්ච මං සක‍්ක කථංකථාහි.

5-3. (ආයුෂ්මත් ධෝතක මෙසේ විචාරයි:) මම දෙව් මිනිස් ලොවැ හැසිරෙන පලිබොධ රහිත වූ (බාහිතපාපී හෙයින්) බ්‍රාහ්මණ වූ දෙවාති දේවයන් දකිමි. සමතැස් ඇතියාණෙනි. එබඳු වූ මුඹ වහන්සේ නමදිමි. ශාක්‍යයන් වහන්ස, විචිකිත්සායෙන් මා මුදනු මැනැව.

5-4 නාහං සහිස‍්සාමි පමොචනාය (ධොතකා’ති භගවා) කථංකථිං ධොතක කඤ‍්චි ලොකෙ ධම‍්මං ච සෙට‍්ඨං ආජානමානො එවං තුවං ඔඝමිමං තරෙසි.

5-4. (බුදුහු මෙසේ වදාළහ: ධෝතකය,) ලොවැ විචිකිත්සා ඇති කිසිවකු මුදන්නට මම නො හැක්කෙමි, නොහොත් උත්සාහ නො කෙරෙමි. තෙපි ශ්‍රේෂ්ඨ ධර්‍මය (නිවන) දන්මින් මෙසේ මේ ඕඝය තරණය කරන්නවු යැ.

5-5 අනුසාස බ්‍රහ‍්මෙ කරුණායමානො (ඉච‍්චායස‍්මා ධොතකො) විවෙකධම‍්මං යමහං විජඤ‍්ඤං යථාහං ආකාසො’ව අව්‍යාපජ‍්ජමානො ඉධෙව සන‍්තො අසිතො චරෙය්‍යං.

5-5. (ආයුෂ්මත් ධෝතක මෙසේ විචාරයි:) ශ්‍රේෂ්ඨයන් වහන්ස, මම යම් සියලු සංස්කාරයන්ගෙන් විවික්ත වූ නිර්‍වාණ ධර්‍මයක් දැනගන්නෙම් නම් යම්සේ මම් ආකාශය සෙයින් නානාප්‍රකාර බවට නො පැමිණෙන්නෙම්, මෙ අස්නෙහි මැ හුන්නෙම් නොහොත් නිවුනෙම්, (තෘෂ්ණා-දෘෂ්ටි) නිශ්‍රය රහිත වැ හැසිරෙන්නෙම් නම් එසෙයින් (මට) අනුකම්පා කෙරෙමින් අනුශාසන කළ මැනව.

5-6 කිත‍්තයිස‍්සාමි තෙ සන‍්තිං (ධොතකා’ති භගවා) දිට‍්ඨෙ ධම‍්මෙ අනීතිහං යං විදිත්‍වා සතො චරං තරෙ ලොකෙ විසත‍්තිකං.

5-6. (බුදුහු මෙසේ වදාළහ: ධෝතකය,) ස්මෘතිමත් වැ හැසිරෙනුයේ දක්නා ලද දුඃඛාදි ධර්‍මයෙහි නොහොත් මෙ අත්බව්හි මැ ආත්මප්‍රත්‍යක්‍ෂ වූ යම් දහමක් දැන ලොවැ විසත්තිකා සඞ්ඛ්‍යාත තෘෂ්ණාව තරණය කරන්නේ නම් ඒ නිර්‍වාණ ධර්‍මය (ද නිර්‍වාණගාමිනී ප්‍රතිපද් ධර්‍මය ද) තොපට ප්‍රකාශ කරන්නෙමි.

5-7 තං චාහං අභිනන්‍දාමි (ඉච‍්චායස‍්මා ධොතකො) මහෙසි සන‍්ති මුත‍්තමං යං විදිත්‍වා සතො චරං තරෙ ලොකෙ විසත‍්තිකං.

5-7. (ආයුෂ්මත් ධෝතක මෙසේ කී:) මහර්ෂීන් වහන්ස, ස්මෘතිමත් වැ හැසිරෙනුයේ යම් දහමක් දැන ලොවැ විසත්තිකා (තෘෂ්ණා) ව තරණය කරන්නේ නම් මම මුඹ වහන්සේ ගේ ඒ ධර්මද්‍යොතක වචනය ද රුස්මි, උත්තම වූ ඒ ශාන්තිය ද රුස්මි.

5-8 යං කිඤ‍්චි සම‍්පජානාසි (ධොතකා’ති භගවා) උද‍්ධං අධො තිරියං චාපි මජ‍්ඣෙ එතං විදිත්‍වා සඞ‍්ගො’ති ලොකෙ භවාභවාය මාකාසි තණ‍්හන‍්ති.

5-8. (බුදුහු මෙසේ වදාළහ: ධෝතකය,) (අනාගතකාලාදි) උඩ ද (අතීතකාලාදි) යට ද (වර්‍තමාන කාලාදි) මැද සරස ද වූ යම් කිසි ධර්‍ම ජාතයක් තෙපි දන්නවු නම් තෙල ලොවැ සඞ්ග (ලග්නා තැන) යැ යි දැනැ කුදුමහත් භවයෙහි තෘෂ්ණා නො කරව යි.

ධොතකමාණව පුච‍්ඡා-නිට‍්ඨිතා.

ධෝතක මාණව පෘච්ඡා නිමි.