යෙදුමෙන් කියවන්න

7. නන්‍දමාණව පුච‍්ඡා

7. නන්‍දමාණව පුච‍්ඡා

7. නන්‍ද මාණවක පෘච්ඡා

7-1 සන‍්ති ලොකෙ මුනයො (ඉච‍්චායස‍්මා නන්‍දො) ජනා වදන‍්ති තයිදං කථංසු ඤාණූපපන‍්නං නො මුනිං වදන‍්ති උදාහු වෙ ජීවිතෙනූපපන‍්නං.

7-1. (ආයුෂ්මත් නන්‍දමාණවක මෙසේ විචාරයි:) ‘ලොවැ මුනීහු ඇත්තාහ’යි ජනයෝ කියති. එය කෙසේ ද? (සමාපත්ති-අභිඥා) ඥානයෙන් සමුපේත වූවහු ‘මුනි’ යැයි කියත් ද? නොහොත් රූක්‍ෂ ජීවිතයෙන් සමුපේත වූවහු ‘මුනි’ යැ යි කියත් ද?

7-2 න දිට‍්ඨියා න සුතියා න ඤාණෙන (නන්‍දා’ති භගවා) මුනීධ නන්‍ද කුසලා වදන‍්ති විසෙනි කත්‍වා අනීඝා නිරාසා චරන‍්ති යෙ තෙ මුනයො’ති බ්‍රූමි.

7-2. (බුදුහු මෙසේ වදාළහ: නන්‍දය,) මෙ සස්නෙහි (ස්කන්‍ධාදියෙහි) දක්‍ෂයෝ දෘෂ්ටියෙන් ශ්‍රැතියෙන් ඥානයෙන් ‘මුනි’ යැයි නො කියති. යම් කෙනෙක් කෙලෙස් සෙනඟ නසා (රාගාදි) ව්‍යසන රහිත වැ ආශා රහිත වැ හැසිරෙත් නම් ඔහු ‘මුනීහු’ යැ යි මම කියමි.

7-3 යෙ කෙචි’මෙ සමණබ්‍රාහ‍්මණා සෙ (ඉච‍්චායස‍්මා නන්‍දො) දිට‍්ඨෙ සුතෙනාපි වදන‍්ති සුද‍්ධිං සීලබ‍්බතෙනාපි වදන‍්ති සුද‍්ධිං අනෙකරූපෙන වදන‍්ති සුද‍්ධිං කච‍්චි සු තෙ භගවා තත්‍ථ යථා චරන‍්තා අතාරු ජාතිං ච ජරං ච මාරිස පුච‍්ඡාමි තං භගවා බ්‍රූහි මෙතං.

7-3. (ආයුෂ්මත් නන්‍දමාණවක මෙසේ විචාරයි:) භාග්‍යවතුන් වහන්ස, යම් කිසි මහණ බමුණු කෙනෙක් දෘෂ්ටයෙනුදු ශ්‍රැතයෙනුදු ශුද්ධිය (මුක්තිය) කියත් නම් ශීල ව්‍රතයෙනුදු ශුද්ධිය කියත් නම්, අනේකවිධ කොතුහලමඞ්ගලයෙනුදු ශුද්ධිය කියත් නම්, නිදුකාණන් වහන්ස, කිම ඔහු (ඒ දෘෂ්ටිගතිකයෝ) ඒ දෘෂ්ටියෙහි ගුප්ත වැ වසන්නාහු ජාතිය ත් ජරාව ත් තරණය කළාහු ද? භාග්‍යවතුන් වහන්ස මුඹ වහන්සේ පුළුවුස්මි. තෙල කරුණ වදාළ මැනැව.

7-4 යෙ කෙචි’මෙ සමණබ්‍රාහ‍්මණා සෙ (නන්‍දා‘ති භගවා) දිට‍්ඨෙ සුතෙනාපි වදන‍්ති සුද‍්ධිං සීලබ‍්බතෙනාපි වදන‍්ති සුද‍්ධිං අනෙකරූපෙන වදන‍්ති සුද‍්ධිං කිඤ‍්චාපි තෙ තත්‍ථ යථා චරන‍්ති නාතරිංසු ජාතිජරන‍්ති බ්‍රූමි.

7-4. (බුදුහු මෙසේ වදාළහ: නන්‍දය,) යම් කිසි මේ මහණ බමුණු කෙනෙක් දෘෂ්ටයෙනුදු ශ්‍රැතයෙනුදු ශුද්ධිය කියත් ද ශීල ව්‍රතයෙනුදු ශුද්ධිය කියත් ද, අනේකවිධ කොතුහලමඞ්ගලයෙනුදු ශුද්ධිය කියත් ද, වැළිත් ඔහු ඒ දෘෂ්ටියෙහි ගුප්ත වැ වෙසෙත් නම් ජාතියත් ජරාවත් තරණය නො කළාහ’ යි කියමි.

7-5 යෙ කෙචි’මෙ සමණබ්‍රාහ‍්මණා සෙ (ඉච‍්චායස‍්මා නන්‍දො) දිට‍්ඨෙ සුතෙනාපි වදන‍්ති සුද‍්ධිං සීලබ‍්බතෙනාපි වදන‍්ති සුද‍්ධිං අනෙකරූපෙන වදන‍්ති සුද‍්ධිං.

7-5,6. (ආයුෂ්මත් නන්‍දමාණවක මෙසේ විචාරයි:) භාග්‍යවතුන් වහන්ස, යම් කිසි මේ මහණබමුණු කෙනෙක් දෘෂ්ටයෙනුදු ශ්‍රැතයෙනුදු ශුද්ධිය කියත් ද, ශීලව්‍රතයෙනුදු, ශුද්ධිය කියත් ද අනේකවිධ කොතුහලමඞ්ගලයෙනුදු ශුද්ධිය කියත් ද මුනීන්‍ද්‍රයන් වහන්ස, ඉදින් ඒ දෘෂ්ටි ගතිකයන් ඕඝ තරණය නො කළවුනැ’යි වදාරන්න වු නම්, නිදුකාණන් වහන්ස, වැළිත් දෙව්මිනිස් ලොවැ කවරෙක් ජාතිය ත් ජරාව ත් තරණය කෙළේ ද? භාග්‍යවතුන් වහන්ස, මුඹ වහන්සේ පුළුවුස්මි. තෙල කරුණ වදාළ මැනැවි.

7-6 තෙ චෙ මුනී බ්‍රූහි අනොඝතිණ‍්ණෙ අථ කො චරහි දෙවමනුස‍්සලොකෙ අතාරි ජාතිඤ‍්ච ජරඤ‍්ච මාරිස පුච‍්ඡාමි තං භගවා බ්‍රූහි මෙතං.

7-7 නාහං සබ‍්බෙ සමණබ්‍රාහ‍්මණා සෙ (නන්‍දාති භගවා) ජාති ජරාය නිවුතා’ති බ්‍රූමි යෙ සූධ දිට‍්ඨං ව සුතං මුතං වා සීලබ‍්බතං වාපි පහාය සබ‍්බං අනෙකරූපම‍්පි පහාය සබ‍්බං තණ‍්හං පරිඤ‍්ඤාය අනාසවා සෙ තෙ වෙ නරා ඔඝතිණ‍්ණා’ති බ්‍රූමි.

7-7. (බුදුහු මෙසේ වදාළහ: නන්‍දය,) මම් හැම මහණ බමුණහු ජාති ජරා විසින් අවුරන ලදහ’යි නො කියමි. මෙලොව්හි යම් කෙනෙක් හැම දෘෂ්ටිශුද්ධිය ද ශ්‍රැතශුද්ධිය ද මුතශුද්ධිය ද ශීලව්‍රතශුද්ධිය ද හැරපියා හැම අනේකවිධ කොතුහලමඞ්ගල ශුද්ධිය ද හැරපියා තෘෂ්ණාව පිරිසිඳ දැන අනාස්‍රව වූවාහු ද එ සත්හු ඒකාන්තයෙන් ඕඝතරණය කළාහ යි කියමි.

7-8 එතාභිනන්‍දාමි වචො මහෙසිනො (ඉච‍්චායස‍්මා නන්‍දො) සුකිත‍්තිතං ගොතම නූපධීකං යෙ සූධ දිට‍්ඨං ව සුතං මුතං වා සීලබ‍්බතං වාපි පහාය සබ‍්බං අනෙකරූපම‍්පි පහාය සබ‍්බං තණ‍්හං පරිඤ‍්ඤාය අනාසවා සෙ අහම‍්පි තෙ ඔඝතිණ‍්ණා’ති බ්‍රූමීති.

7-8. (ආයුෂ්මත් නන්‍දමාණවක මෙසේ කියයි:) මහර්ෂී වූ මුඹ වහන්සේ ගේ තෙල වදන් මම් රුස්මි, ගෞතමයන් වහන්ස, උපධි රහිත වූ නිවන මොනොවට ප්‍රකාශ කරන ලද යැ. මෙ ලොව්හි යම් කෙනෙක් හැම දෘෂ්ටි ශුද්ධිය ද ශ්‍රැතශුද්ධිය ද මුතශුද්ධිය ද ශීලව්‍රත ශුද්ධිය ද හැරපියා අනේකවිධ වූ හැම කොතුහල මඞ්ගල ශුද්ධිය ද හැරපියා තෘෂ්ණාව ත්‍රිවිධ පරිඥායෙන් පිරිසිඳ දැන අනාස්‍රව වූවාහු නම් මම ද ඔහු ‘ඕඝතරණය කළාහ’යි කියමි.

නන්‍දමාණව පුච‍්ඡා-නිට‍්ඨිතා.

නන්‍දමාණව පෘච්ඡා නිමි.