යෙදුමෙන් කියවන්න

දුතිය පතිබ‍්බතාවිමානං

1. 12.

1. 12.

101. වෙළුරීයත්‍ථම‍්භං රුචිරං පභස‍්සරං විමානමාරුය‍්හ අනෙකචිත‍්තං තත්‍ථච‍්ඡසි දෙවි මහානුභාවෙ උච‍්චාවචා ඉද‍්ධිවිකුබ‍්බමානා ඉමා ච තෙ අච‍්ඡරායො සමන‍්තතො නච‍්චන‍්ති ගායන‍්ති පමොදයන‍්ති

101. මහත් අනුභාව ඇති දෙව්දුව, වෙරළුමිණි මුවා ටැම් ඇති සිත්කලු වූ අතිශයින් බබළන නොයෙක් සිතියමින් විසිතුරු වු විමනට නැග කුදු මහත් ඍද්ධිවිකුර්‍වණය කරමින් එහි සිටුනාව. තීගේ මේ දෙවඟනෝ හාත්පස්හි නටති ගයති සතුටු කරවත්.

102. දෙවිද‍්ධිපත‍්තාසි මහානුභාවෙ මනුස‍්සභූතා කිමකාසි පුඤ‍්ඤං කෙනාසි එවං ජලිතානුභාවා වණ‍්ණො ච තෙ සබ‍්බදිසා පභාසතීති

102. මහත් අනුභාව ඇති දෙව්දුව, තෝ දිව්‍යර්ධියට පැමිණියා වෙහි. මිනිස් දුවක් වූවා කවර පිනක් කළහු ද? තීගේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනෙකින් මෙසේ දිලියෙන පුණ්‍යර්ධි ඇත්තී වවු ද?

103. සා දෙවතා අත‍්තමනා මොග‍්ගල‍්ලානෙන පුච‍්ඡිතා, පඤ‍්හං පුට‍්ඨා වියාකාසි යස‍්ස කම‍්මස‍්සිදං ඵලං

103. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නාලද ඒ දෙව්දූ තොමෝ තුටුසිත් ඇත්තී මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැ යි. (මෙසේ) පැවසූ ය.

104. අහං මනුස‍්සෙසු මනුස‍්සභූතා උපාසිකා චක‍්ඛුමතො අහොසිං පාණාතිපාතා විරතා අහොසිං ලොකෙ අදින‍්නං පරිවජ‍්ජයිස‍්සං

104.මම පෙර අත්බැව්හි මිනිසුන් අතර මිනිස්දුවක් වූවා පසැස් ඇති බුදුරදුන්ගේ උවැසියක් වීමි. පණිවායෙන් දුරු වූවා වෙමි. ලෝකයෙහි නුදුන් දෙය ගැනීම හැම ලෙසින් මා දුරු කෙළෙමි.

105. අමජ‍්ජපා නො ච මුසා අභාසිං සකෙන සාමිනාව අහොසිං තුට‍්ඨා අන‍්නඤ‍්ච පානඤ‍්ච පසන‍්නචිත‍්තා සක‍්කච‍්ච දානං විපුලං අදාසිං

105. මත්පැන් නො බීමි. බොරු නො කීමි, සිය සැමියා සමග ම සතුටු වූවා වෙමි. පහන් සිත් ඇත්තී අහර ද පැන් ද සකස් කොට මහත් දානයක් දුනිමි.

106. තෙන මෙ තාදිසො වණ‍්ණො තෙන මෙ ඉධමිජ‍්ඣති, උප‍්පජ‍්ජන‍්ති ච මෙ භොගා යෙ කෙචි මනසො පියා

106. ඒ පිනෙන් මාගේ සිරුරුපැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන්නා වූ යම් කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.

107. අක‍්ඛාමි තෙ භික‍්ඛු මහානුභාව මනුස‍්සභූතා යමකාසි පුඤ‍්ඤං තෙනම‍්හි එවං ජලිතානුභාවා වණ‍්ණො ච මෙ සබ‍්බදිසා පභාසතීති

107. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් දුවක් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වෙමි. මාගේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි.

දුතිය පතිබ‍්බතාවිමානං.

ද්විතීය පතිව්‍රතා විමාන යි.