යෙදුමෙන් කියවන්න

3. 2. 1. 1

3. 2. 1. 1.

3. 2. 1. 1.

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

1. අථ ඛො ද‍්වෙ බ්‍රාහ‍්මණා ජිණ‍්ණා වුද‍්ධා මහල‍්ලකා අද‍්ධගතා වයො අනුප‍්පත‍්තා වීසං වස‍්සසතිකා ජාතියා, යෙන භගවා තෙනුපසඞ‍්කමිංසු උපසංකමිත්‍වා භගවතා සද‍්ධිං සම‍්මොදිංසු. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදිංසු. එකමන‍්තං නිසින‍්නා ඛො තෙ බ්‍රාහ‍්මණා භගවන‍්තං එතදවොචුං: ‘මයමස‍්සු භො ගොතම බ්‍රාහ‍්මණා ජිණ‍්ණා වුද‍්ධා මහල‍්ලකා අද‍්ධගතා වයොඅනුප‍්පත‍්තා වීසං වස‍්සසතිකා ජාතියා. තෙ චම‍්හා අකතකල්‍යාණා අකතකුසලා අකතභීරුත‍්තාණා. ඔවදතු නො භවං ගොතමො, අනුසාසතු නො භවං ගොතමො, යං අම‍්හාකං අස‍්ස දීඝරත‍්තං හිතාය සුඛායා’ති.

1.එසමයෙහි ජරා ජීර්‍ණ වයෝ වෘද්ධ දෑමහලු තුන් විය ඉක්මවා සිටි පැසිම් වියට පැමිණි උපතින් එක්සිය විසි හැවිරිදි දෙබමුණු කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටු වූහ. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස්ව හුන්හ. එකත්පස්ව හුන් ඒ බමුණෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ: ‘භවත් ගෞතමයන් වහන්ස, අපි වනාහි ජරාජීර්‍ණ වයෝවෘද්ධ දෑ මහලු තුන් විය ඉක්මවා සිටි පැසිම් වියට පැමිණි උපතින් එක්සියවිසි හැවිරිදි බමුණු වම්හ. ඒ අපිදු නොකරණ ලද කලණ දහම් ඇත්තම්හ. නොකළ කුසල් ඇත්තම්හ. නොකළ භයපරිත්‍රාණ ඇත්තම්හ. යමක් අපට බොහෝ කල් හිතසුව පිණිස වේ නම්, භවත් ගෞතමයෝ අපට එබඳු අවවාද කෙරෙත්වා, භවත් ගෞතමයෝ අපට අනුශාසනා කෙරෙත්වා’ යි.

තග‍්ඝ තුම‍්හෙ බ්‍රාහ‍්මණා ජිණ‍්ණා වුද‍්ධා මහල‍්ලකා අද‍්ධගතා වයො අනුප‍්පත‍්තා වීසං වස‍්සසතිකා ජාතියා. තෙ චත්‍ථ අකතකල්‍යාණා අකතකුසලා අකතභීරුත‍්තාණා. උපනිය්‍යති ඛො අයං බ්‍රාහ‍්මණා ලොකො ජරාය ව්‍යාධිනා මරණෙන. එවං උපනීයමානෙ ඛො බ්‍රාහ‍්මණා ලොකෙ ජරාය ව්‍යාධිනා මරණෙන, යො ඉධ කායෙන සංයමො, වාචාය සංයමො, මනසා සංයමො, තං තස‍්ස පෙතස‍්ස තාණඤ‍්ච ලෙනඤ‍්ච දීපඤ‍්ච සරණඤ‍්ච පරායණඤ‍්චාති.

බ්‍රාහ්මණයෙනි, සැබව, තෙපි ජරාජීර්‍ණ වූවහු ම ය. වයසින් වැඩී සිටියහුම ය. දෑමහලු වූවහු ම ය. තුන්වයස් ඉක්ම සිටියහු ම ය. පැසිම් වියට පැමිණියහු ම ය. උපතින් එක්සියවිසි හැවිරිදි වූවහු ම ය. ඒ තෙපි නොකළ කලණදහම් ඇත්තහු ය. නොකළ කුසල් ඇත්තහු ය. නොකළ භයපරිත්‍රාණ ඇත්තහු ය. බ්‍රාහ්මණයෙනි, මේ ලෝවැසි ජරාව විසිනුදු ව්‍යාධිය විසිනුදු මරණය විසිනුදු (ඒ ඒ අවස්ථාවට) එළවනු ලැබේ. බ්‍රාහ්මණයෙනි, ලෝකයා මෙසේ ජරාව විසිනුදු ව්‍යාධිය විසිනුදු මරණය විසිනුදු එළවනු ලබත්ම, මෙලොවදී කයින් යම් සංයමයෙක් වේ ද, වචනයෙන් යම් සංයමයෙක් වේ ද, සිතින් යම් සංයමයෙක් වේ ද, ඒ පින පරලොව ගිය ඔහට රක්‍ෂාස්ථාන ද නිලීයනස්ථාන (නැසෙන තැන) ද ප්‍රතිෂ්ඨාස්ථාන (ද්වීපය) ද ශරණ ද පරායණ (පිහිටීම) ද වේ.

1. උපනීයති ජීවිතමප‍්පමායු ජරූපනීතස‍්ස න සන‍්ති තාණා, එතං භයං මරණෙ පෙක‍්ඛමානො පුඤ‍්ඤානි කයිරාථ සුඛාවහානි.

1. ජීවිතය මරණය කරා පමුණුවනු ලබයි. ආයුෂය අල්ප වෙයි. ජරායෙන් ගෙනයන ලද්දහුට රක්‍ෂාස්ථානයෝ නැත. මරණයෙහි ලා මේ බිය දක්නේ සුව එළවන පින් කරන්නේ ය.

2. යොධ කායෙන සඤ‍්ඤමො වාචාය උද චෙතසා, තං තස‍්ස පෙතස‍්ස සුඛාය හොති යං ජීවමානො පකරොති පුඤ‍්ඤන‍්ති.

2. කයින් වේවයි වචනයෙන් වේවයි නොහොත් සිතින් වේවයි යම් සංයමයෙක් වේ ද, ජීවත්වනුයේ යම් පිනක් කෙරේ ද, ඒ පින පරලොව ගිය ඔහට සුව පිණිස වේ.