යෙදුමෙන් කියවන්න

සපදානචාරිකඞ‍්ගකථා

සපදානචාරිකඞ‍්ගකථා

සපදානචාරිකඞ්ගකථා

සපදානචාරිකඞ‍්ගම‍්පි “ලොලුප‍්පචාරං පටික‍්ඛිපාමි, සපදානචාරිකඞ‍්ගං සමාදියාමී”ති ඉමෙසං අඤ‍්ඤතරවචනෙන සමාදින‍්නං හොති.

සපදානචාරිකංගයද ‘ලොලුප්පචාරං පටික්‍ඛිපාමි, සපදානචාරිකඞ්ගං සමාදියාමි (ලොල්බවින් ගෙපිළිවෙළ හැර හැසිරීම පිළිකෙව් කරමි, සපදානචාරිකංගය සමාදන් වෙමි) යන මේ පාඨයන් අතුරෙන් එක් පාඨයෙකින් සමාදානය සිදුවේ.

තෙන පන සපදානචාරිකෙන ගාමද‍්වාරෙ ඨත්‍වා පරිස‍්සයාභාවො සල‍්ලක‍්ඛෙතබ‍්බො. යස‍්සා රච‍්ඡාය වා ගාමෙ වා පරිස‍්සයො හොති, තං පහාය අඤ‍්ඤත්‍ථ චරිතුං වට‍්ටති. යස‍්මිං ඝරද‍්වාරෙ වා රච‍්ඡාය වා ගාමෙ වා කිඤ‍්චි න ලභති, අගාමසඤ‍්ඤං කත්‍වා ගන‍්තබ‍්බං. යත්‍ථ කිඤ‍්චි ලභති, තං පහාය ගන‍්තුං න වට‍්ටති. ඉමිනා ච භික‍්ඛුනා කාලතරං පවිසිතබ‍්බං, එවඤ‍්හි අඵාසුකට‍්ඨානං පහාය අඤ‍්ඤත්‍ථ ගන‍්තුං සක‍්ඛිස‍්සති. සචෙ පනස‍්ස විහාරෙ දානං දෙන‍්තා අන‍්තරාමග‍්ගෙ වා ආගච‍්ඡන‍්තා මනුස‍්සා පත‍්තං ගහෙත්‍වා පිණ‍්ඩපාතං දෙන‍්ති වට‍්ටති. ඉමිනා ච මග‍්ගං ගච‍්ඡන‍්තෙනාපි භික‍්ඛාචාරවෙලායං සම‍්පත‍්තගාමං අනතික‍්කමිත්‍වා චරිතබ‍්බමෙව. තත්‍ථ අලභිත්‍වා වා ථොකං ලභිත්‍වා වා ගාමපටිපාටියා චරිතබ‍්බන‍්ති ඉදමස‍්ස විධානං.

එම සපදානචාරිකයා විසින් ගම්දොරදී උවදුරු නැති බව නිශ්චය කළයුතුය. යම් වීදියෙක හෝ ගමෙක හෝ උවදුරක් ඇතොත් එය හැර වෙන’තෙක හැසිරීම යෝග්‍ය වේ. යම් ගෙදොරකදී හෝ වීදියෙකදී හෝ ගමෙකදී හෝ කිසිවක් නොලැබෙතොත් නොගමෙකැ’යි හැඟ හැර යායුතුය. යම් ගමෙක කිසිවක් හෝ ලැබේනම් එය හැරයනු නොවටී. මේ සපදානචාරික භික්‍ෂුව විසින් වේලාසනින් ගමට පිවිසිය යුතුය. මෙසේ වූ කල්හි අපහසු තැන් හැර අන් තැනෙක යා හැකිවේ. ඉදින් විහාරයට ගෙනවුත් දන් දෙන හෝ අතරමගදී හමුවන හෝ මිනිසුන් පාත්‍රය ගෙන පිණ්ඩපාතය දෙතහොත් පිළිගනු වටී. මග බැස යන මොහු විසින් පිඩු පිණිස හැසිරෙන වේලෙහි පිවිසි ගම නොඉක්මවා හැසිරිය යුතුය. එහිදී නොලැබෙතොත් හෝ, මදක් ලැබ හෝ ගම් පිළිවෙළින්ම හැසිරිය යුතුය. මේ මෙහි පිළිපදනා විධියි.

පභෙදතො පන අයම‍්පි තිවිධො හොති. තත්‍ථ උක‍්කට‍්ඨො පුරතො ආහටභික‍්ඛම‍්පි පච‍්ඡතො ආහටභික‍්ඛම‍්පි පටික‍්කමනං ආහරිත්‍වා දිය්‍යමානම‍්පි න ගණ‍්හති, පත‍්තද‍්වාරෙ පන පත‍්තං විස‍්සජ‍්ජෙති . ඉමස‍්මිඤ‍්හි ධුතඞ‍්ගෙ මහාකස‍්සපත්‍ථෙරෙන සදිසො නාම නත්‍ථි. තස‍්සපි පත‍්තවිස‍්සට‍්ඨට‍්ඨානමෙව පඤ‍්ඤායති. මජ‍්ඣිමො පුරතො වා පච‍්ඡතො වා ආහටම‍්පි පටික‍්කමනං ආහටම‍්පි ගණ‍්හති, පත‍්තද‍්වාරෙපි පත‍්තං විස‍්සජ‍්ජෙති, න පන භික‍්ඛං ආගමයමානො නිසීදති. එවං සො උක‍්කට‍්ඨපිණ‍්ඩපාතිකස‍්ස අනුලොමෙති. මුදුකො තං දිවසං නිසීදිත්‍වා ආගමෙති.

ප්‍රභේද වශයෙන් වනාහි මොහුද ත්‍රිවිධ වේ. ඔවුනතුරෙන් උත්කෘෂ්ට තෙමේ පෙරටු කොටගෙන ආ භික්‍ෂාවද, පසුව ගෙනා භික්‍ෂාවද, බොජුන්හලට ගෙනවුත් දෙන භික්‍ෂාවද නොපිළිගනියි. පැමිණි දොරකඩදී පාත්‍රය හරියි. මේ ධූතාංගයෙහි මහ කසුප් තෙරුන් හා සම වූවෙක් නම් නැත. ඔවුන් විසින්ද පාත්‍රය හැරි තැනක් පෙනේ. මධ්‍යම තෙමේ පෙරටුව හෝ පසුව ගෙනා භික්‍ෂාවද, බොජුන්හලට ගෙනා භික්‍ෂාවද පිළිගනියි, පැමිණි දොරකඩදී ද පාත්‍රය හරියි. එහෙත් භික්‍ෂාව ගෙනඑනු බලා නොහිඳියි. මෙහිදී හේ තෙමේ උත්කෘෂ්ට පිණ්ඩපාතිකයාහට අනුලොම් වේ. මෘදුක තෙමේ එදවස පමණක් හිඳ බලාපොරොත්තු වේ.

ඉමෙසං පන තිණ‍්ණම‍්පි ලොලුප‍්පචාරෙ උප‍්පන‍්නමත‍්තෙ ධුතඞ‍්ගං භිජ‍්ජති. අයමෙත්‍ථ භෙදො.

මේ තිදෙනාගේම ධූතාංගය ගෙපිළිවෙළ සිඳීම සිදු වූ කෙණෙහි බිඳේ. මේ මෙහි භේදයයි.

අයං පනානිසංසො, කුලෙසු නිච‍්චනවකතා, චන්‍දූපමතා, කුලමච‍්ඡෙරප‍්පහානං, සමානුකම‍්පිතා, කුලූපකාදීනවාභාවො, අව‍්හානානභිනන්‍දනා, අභිහාරෙන අනත්‍ථිකතා, අප‍්පිච‍්ඡතාදීනං අනුලොමවුත‍්තිතාති.

මෙහි ආනිසංස මෙසේය: කුලයනට නිරතුරුවම අමුත්තකු වීම, (කිසිතැනෙක නොඇලෙන හෙයින්) සඳට උපමා කළ හැකි වීමය, කුලයන් කෙරෙහි (ආශාවෙන් යුතුව) ඇලෙන බව දුරුවීමය, සැමට එකසේ අනුකම්පා ඇතිබවය, කුලයන් කෙරෙහි බැදීමෙන් වන ආදිනවයෙන් මිදුණබවය, ඇරියුම් නොඉවසනබවය, ගෙනවුත් දෙන භික්‍ෂාවෙන් ප්‍රයෝජනයක් නැතිබවය, අල්පේච්ඡතාදියට අනුලොම් යැපීම් ඇතිබවය යන මේය.

චන්‍දූපමො නිච‍්චනවො කුලෙසු, අමච‍්ඡරී සබ‍්බසමානුකම‍්පො; කුලූපකාදීනවවිප‍්පමුත‍්තො, හොතීධ භික‍්ඛු සපදානචාරී.

චන්‍දූපමො නිච්චනවො කුලෙසු අමච්ඡරී සබ්බසමානුකම්පො කුලූපගාදීනවවිප්පමුත්තො හොතීධ භික්‍ඛු සපදානචාරී

ලොලුප‍්පචාරඤ‍්ච පහාය තස‍්මා, ඔක‍්ඛිත‍්තචක‍්ඛූ යුගමත‍්තදස‍්සී; ආකඞ‍්ඛමානො භුවි සෙරිචාරං, චරෙය්‍ය ධීරො සපදානචාරන‍්ති.

ලොලුප්පචාරඤ්ච පහාය තස්මා ඔක්‍ඛිතචක්‍ඛු යුගමත්තදස්සී ආකඞ්ඛමානො භූවි සෙරිචාරං චරෙය්‍ය ධීරො සපදානචාරං

මේ සස්නෙහි සපදානචාරී භික්‍ෂු තෙමේ කිසි තැනෙක්හි හෝ (ආශාවෙන් යුතුව) නොඇලීමෙන් චන්‍ද්‍රයා වැනි වූයේ, සැම කල්හිම අලුතින් ආ අමුත්තෙක් වූයේ, කුලයන් කෙරෙහි මසුරු බවින් තොර වූයේ, සැමටම එකසේ අනුකම්පා ඇත්තේ, කුලයන් කෙරෙහි ඇලීමේ ආදීනවයෙන් මිදුණෙක් වන්නේය.

එහෙයින් නුවණැත්තේ ලොල්බවින් පිළිවෙළ සිඳ හැසිරීමෙන් වෙන්ව, මේ ලෝකයෙහි ස්වාධීන විහරණයෙහි රිසිවූයේ, පහතට නැඹුරු ඇස් ඇතිව, වියදඬු පමණ බලමින් ගෙපිළිවෙළින් පිඬු පිණිස හැසිරෙන්නේය.

අයං සපදානචාරිකඞ‍්ගෙ සමාදානවිධානප‍්පභෙදභෙදානිසංසවණ‍්ණනා.

මේ සපදානචාරිකංගයෙහි සමාදාන-විධාන-ප්‍රභේද-භේද ආනිසංසයන් පිළිබඳ වර්ණනායි.