යෙදුමෙන් කියවන්න

2. ධුතඞ‍්ගනිද‍්දෙසො

2. ධුතාංග නිර්දේශය

ඉදානි යෙහි අප‍්පිච‍්ඡතාසන‍්තුට‍්ඨිතාදීහි ගුණෙහි වුත‍්තප‍්පකාරස‍්ස සීලස‍්ස වොදානං හොති, තෙ ගුණෙ සම‍්පාදෙතුං යස‍්මා සමාදින‍්නසීලෙන යොගිනා ධුතඞ‍්ගසමාදානං කාතබ‍්බං. එවඤ‍්හිස‍්ස අප‍්පිච‍්ඡතාසන‍්තුට‍්ඨිතාසල‍්ලෙඛපවිවෙකාපචයවීරියාරම‍්භසුභරතාදිගුණසලිලවික‍්ඛාලිතමලං සීලඤ‍්චෙව සුපරිසුද‍්ධං භවිස‍්සති, වතානි ච සම‍්පජ‍්ජිස‍්සන‍්ති. ඉති අනවජ‍්ජසීලබ‍්බතගුණපරිසුද‍්ධසබ‍්බසමාචාරො පොරාණෙ අරියවංසත‍්තයෙ පතිට‍්ඨාය චතුත්‍ථස‍්ස භාවනාරාමතාසඞ‍්ඛාතස‍්ස අරියවංසස‍්ස අධිගමාරහො භවිස‍්සති. තස‍්මා ධුතඞ‍්ගකථං ආරභිස‍්සාම.

ඉක්බිති අපිස්බව, සතොස්බව ආදී යම් ගුණයන් කරණකොට කියනලද ප්‍රකාර ඇති ශීලයෙහි පිරිසුදුබව ඇති වේනම්, එම ගුණයන්ගේ සම්පාදනය පිණිස, සිල් සමාදන්වූ යෝගාවචරයා විසින් ධුතාංග සමාදානය කළයුතු වේ. මෙසේ අපිස්බව, සතොස්බව, කෙලෙස් තුනීවීම, කෙලෙසුන්ගෙන් දුරුවීම, කෙලෙසුන්ගෙන් වෙන්වීම, වීර්යාරම්භය, සුභරතාව (පහසුවෙන් පෝෂණය කළහැකිබව) ආදී ගුණ නමැති ජලයෙන් සෝදාහළ මල ඇති යෝගාවචරයාගේ ශීලයද සුපිරිසුදු වන්නේය; ව්‍රතයෝද සම්පාදිත වන්නාහුය. මෙසේ නිරවද්‍ය වූ ශීලව්‍රත ගුණයෙන් පිරිසුදුවූ සමාචාර ඇතිව, පළමුකොට පිහිටියයුතු (චීවරසන්තුට්ඨි, පිණ්ඩපාත සන්තුට්ඨි, සේනාසනසන්තුට්ඨි යන) ආර්යවංශ ගුණයන්හි පිහිටා භාවනාවෙහි නියැලීම නම් සිවුවෙනි ආර්යවංශ ගුණය පිළිබඳ අධිගමයට සුදුස්සෙක් වන්නේය. එහෙයින් ධුතාංගකථා ආරම්භ කරමු:

භගවතා හි පරිච‍්චත‍්තලොකාමිසානං කායෙ ච ජීවිතෙ ච අනපෙක‍්ඛානං අනුලොමපටිපදංයෙව ආරාධෙතුකාමානං කුලපුත‍්තානං තෙරසධුතඞ‍්ගානි අනුඤ‍්ඤාතානි. සෙය්‍යථිදං – පංසුකූලිකඞ‍්ගං, තෙචීවරිකඞ‍්ගං, පිණ‍්ඩපාතිකඞ‍්ගං, සපදානචාරිකඞ‍්ගං, එකාසනිකඞ‍්ගං, පත‍්තපිණ‍්ඩිකඞ‍්ගං, ඛලුපච‍්ඡාභත‍්තිකඞ‍්ගං, ආරඤ‍්ඤිකඞ‍්ගං, රුක‍්ඛමූලිකඞ‍්ගං, අබ‍්භොකාසිකඞ‍්ගං, සොසානිකඞ‍්ගං, යථාසන්‍ථතිකඞ‍්ගං, නෙසජ‍්ජිකඞ‍්ගන‍්ති. තත්‍ථ –

භාග්‍යවතුන්වහන්සේ විසින් ලෞකික ආමිෂයන් අත්හළ, කය හෝ ජීවිතය පිළිබඳ අපේක්‍ෂා රහිත, අනුලෝම ප්‍රතිපදාවම පුරනු කැමති, කුලපුතුන්හට ධුතාංගයන් තෙළෙසක් අනුමත කොට ඇත. එනම්: පංසුකූලිකංගය, තෙචීවරිකංගය, පිණ්ඩපාතිකාංගය, සපදානචාරිකංගය, ඒකාසනිකංගය, පත්තපිණ්ඩිකංගය, ඛලුපච්ඡාභත්තිකංගය, අරඤ්ඤිකංගය, රුක්‍ඛමූලිකංගය, අබ්භොකාසිකංගය, සොසානිකාංගය, යථාසන්‍ථතිකාංගය, නෙසජ්ජිකංගයයි යන මේවායි. එහි,

අත්‍ථතො ලක‍්ඛණාදීහි, සමාදානවිධානතො; පභෙදතො භෙදතො ච, තස‍්ස තස‍්සානිසංසතො.

අත්‍ථතො ලක්‍ඛණාදීහි සමාදානවිධානතො පභෙදතො භෙදතො ච තස්ස තස්සානිසංසතො

කුසලත‍්තිකතො චෙව, ධුතාදීනං විභාගතො; සමාසබ්‍යාසතො චාපි, විඤ‍්ඤාතබ‍්බො විනිච‍්ඡයො.

කුසලත්තිකතො චෙව ධුතාදීනං විභාගතො සමාසව්‍යාසතො චාපි විඤ්ඤාතබ්බො විනිච්ඡයො

වචනාර්ත්‍ථ වශයෙන්ද, ලක්‍ෂණාදීන්ගේ වශයෙන්ද, සමාදන් වන ආකාර වශයෙන්ද, පිළිපදනා විධිවශයෙන්ද, ප්‍රභේදවිභාග වශයෙන්ද, භේදය සිදුවන ආකාර වශයෙන්ද, ඒ ඒ ධුතාංගය පිළිබඳ ආනිසංස වශයෙන්ද, කුශලාදී ත්‍රික වශයෙන්ද, ධුතාදිය පිළිබඳ විභාග වශයෙන්ද සමස්ත වශයෙන් හා ප්‍රත්‍යෙක (වෙන්වෙන්) වශයෙන්ද මෙහි විනිශ්චය දතයුතුය.

තත්‍ථ අත්‍ථතොති තාව රථිකසුසානසඞ‍්කාරකූටාදීනං යත්‍ථ කත්‍ථචි පංසූනං උපරි ඨිතත‍්තා අබ‍්භුග‍්ගතට‍්ඨෙන තෙසු තෙසු පංසුකූලමිවාති පංසුකූලං, අථ වා පංසු විය කුච‍්ඡිතභාවං උලතීති පංසුකූලං, කුච‍්ඡිතභාවං ගච‍්ඡතීති වුත‍්තං හොති. එවං ලද‍්ධනිබ‍්බචනස‍්ස පංසුකූලස‍්ස ධාරණං පංසුකූලං , තං සීලමස‍්සාති පංසුකූලිකො. පංසුකූලිකස‍්ස අඞ‍්ගං පංසුකූලිකඞ‍්ගං. අඞ‍්ගන‍්ති කාරණං වුච‍්චති. තස‍්මා යෙන සමාදානෙන සො පංසුකූලිකො හොති, තස‍්සෙතං අධිවචනන‍්ති වෙදිතබ‍්බං.

එහි පළමුකොට වචනාර්ත්‍ථ වශයෙන් විනිශ්චය මෙසේය: වීදි, සොහොන් බිම්, කසලගොඩ ආදී කිසි තැනක පස්වලින් උඩට මතුවී වැටිලෙසින් සිටි හෙයින් පංසුකුල නමි; නොහොත්, පස්මෙන් අවමන්කළයුතු බවට යෙතියි පංසුකූල නමි; මෙලෙසින් ලද අරුත් ඇති පංසුකූලය දැරීමද පංසුකූල නමි; පංසුකූලය දැරීම මොහුගේ ස්වභාවය වෙති’යි පංසුකූලික නමි; පංසුකූලිකයාගේ අංගය පංසුකූලිකංගයයි. අංග යනුවෙන් පැවසෙනුයේ කාරණයයි, එහෙයින් යම් අංගයක් සමාදන්වීමෙන් පංසුකූලික නම් වේද, එම අංගයට මේ අධිවචනයයි දතයුතුය.

එතෙනෙව නයෙන සඞ‍්ඝාටිඋත‍්තරාසඞ‍්ගඅන‍්තරවාසකසඞ‍්ඛාතං තිචීවරං සීලමස‍්සාති තෙචීවරිකො. තෙචීවරිකස‍්ස අඞ‍්ගං තෙචීවරිකඞ‍්ගං.

මේ නයින්ම සඟල සිවුරය, පොරෝනා සිවුරය, අඳනකඩය යන තුන් සිවුරු පමණක් දැරීම මොහුගේ ස්වභාවය වෙතියි තෙචීවරිකයාගේ අංගය තෙචීවරිකාංගයයි.

භික‍්ඛාසඞ‍්ඛාතානං පන ආමිසපිණ‍්ඩානං පාතොති පිණ‍්ඩපාතො, පරෙහි දින‍්නානං පිණ‍්ඩානං පත‍්තෙ නිපතනන‍්ති වුත‍්තං හොති. තං පිණ‍්ඩපාතං උඤ‍්ඡති තං තං කුලං උපසඞ‍්කමන‍්තො ගවෙසතීති පිණ‍්ඩපාතිකො. පිණ‍්ඩාය වා පතිතුං වතමෙතස‍්සාති පිණ‍්ඩපාතී, පතිතුන‍්ති චරිතුං, පිණ‍්ඩපාතී එව පිණ‍්ඩපාතිකො. පිණ‍්ඩපාතිකස‍්ස අඞ‍්ගං පිණ‍්ඩපාතිකඞ‍්ගං.

භික්‍ෂා යයි කියනු ලබන අහර පිඬුවල පාතය හෙවත් රැස්වීම පිණ්ඩපාත නමි, අනුන් විසින් දෙනලද අහරපිඬු පාත්‍රය තුළ එකතුවීම’යි කී නියායි. එම පිණ්ඩපාත භෝජනය එකතු කෙරෙති’යි, ගෙයක් ගෙයක් පාසා යමින් සොයති’යි පිණ්ඩපාතික නමි, පිඬු පිණිස හැසිරීම මොහුගේ ස්වභාවය වෙති’යි හෝ ‘පිණ්ඩපාතී’ නමි. පතිතුං යනු හැසිරෙනු පිණිසයි. ‘පිණ්ඩපාතී’ යනුම ‘පිණ්ඩපාතික’ නම් වේ, පිණ්ඩපාතිකයාගේ අංගය පිණ්ඩපාතිකංගයයි.

දානං වුච‍්චති අවඛණ‍්ඩනං, අපෙතං දානතොති අපදානං, අනවඛණ‍්ඩනන‍්ති අත්‍ථො. සහ අපදානෙන සපදානං, අවඛණ‍්ඩනරහිතං අනුඝරන‍්ති වුත‍්තං හොති. සපදානං චරිතුං ඉදමස‍්ස සීලන‍්ති සපදානචාරී, සපදානචාරී එව සපදානචාරිකො. තස‍්ස අඞ‍්ගං සපදානචාරිකඞ‍්ගං.

‘දාන’ යනු සිඳීමයයි කියනු ලැබේ, දානයෙන් ඉවත්වූයේ අපදානයි, අපදාන සහිතවූයේ සපදානයි - සිදීමක් නැතිව, අතරක් නැතිව ගෙපිළිවෙළිනියි කී නියායි, සපදානයෙහි හැසිරීම මොහුගේ ස්වභාවය වෙති’යි සපදානචාරී නමි, සපදානචාරී යනුම සපදානචාරිකයි, ඔහුගේ අංගය සපදානචාරිකංග නමි.

එකාසනෙ භොජනං එකාසනං, තං සීලමස‍්සාති එකාසනිකො. තස‍්ස අඞ‍්ගං එකාසනිකඞ‍්ගං.

එක් අස්නෙක හිඳ බිදීම එකාසන නමි, එය මොහුගේ ස්වභාවය වෙතියි, ඒකාසනික නමි, ඔහුගේ අංගය ඒකාසනිකංග නමි,

දුතියභාජනස‍්ස පටික‍්ඛිත‍්තත‍්තා කෙවලං එකස‍්මිංයෙව පත‍්තෙ පිණ‍්ඩො පත‍්තපිණ‍්ඩො. ඉදානි පත‍්තපිණ‍්ඩගහණෙ පත‍්තපිණ‍්ඩසඤ‍්ඤං කත්‍වා පත‍්තපිණ‍්ඩො සීලමස‍්සාති පත‍්තපිණ‍්ඩිකො. තස‍්ස අඞ‍්ගං පත‍්තපිණ‍්ඩිකඞ‍්ගං.

දෙවන බඳුනක් පිළිකෙව් කරන හෙයින් හුදෙක් එක්ම පාත්‍රයක ඇති පිඬු පත්තපිණ්ඩ නමි, පාත්‍රයෙන් පිඬු ගැනීම පත්තපිණ්ඩයයි නම් කොට, පත්තපිණ්ඩය ඔහුගේ ස්වභාවය වෙති’යි පත්තපිණ්ඩික නමි ඔහුගේ අංගය පත්තපිණ්ඩිකංග නමි,

ඛලූති පටිසෙධනත්‍ථෙ නිපාතො. පවාරිතෙන සතා පච‍්ඡා ලද‍්ධං භත‍්තං පච‍්ඡාභත‍්තං නාම, තස‍්ස පච‍්ඡාභත‍්තස‍්ස භොජනං පච‍්ඡාභත‍්තභොජනං, තස‍්මිං පච‍්ඡාභත‍්තභොජනෙ පච‍්ඡාභත‍්තසඤ‍්ඤං කත්‍වා පච‍්ඡාභත‍්තං සීලමස‍්සාති පච‍්ඡාභත‍්තිකො. න පච‍්ඡාභත‍්තිකො ඛලුපච‍්ඡාභත‍්තිකො. සමාදානවසෙන පටික‍්ඛිත‍්තාතිරිත‍්තභොජනස‍්සෙතං නාමං. අට‍්ඨකථායං පන වුත‍්තං ඛලූති එකො සකුණො. සො මුඛෙන ඵලං ගහෙත්‍වා තස‍්මිං පතිතෙ පුන අඤ‍්ඤං න ඛාදති. තාදිසො අයන‍්ති ඛලුපච‍්ඡාභත‍්තිකො. තස‍්ස අඞ‍්ගං ඛලුපච‍්ඡාභත‍්තිකඞ‍්ගං.

ඛලු යනු ප්‍රතිශෙධනාර්‍ත්‍ථයෙහි නිපාතයකි. අහර කිස නිමවීමෙන් පසු ලද අහර පච්ඡාභත්ත නමි, පච්ඡාභත්තය වැළදීම පච්ඡාභත්තභෝජන නමි. එම පච්ඡාභත්තභෝජනය පච්ඡාභත්තයයි ගෙන පච්ඡාභත්තය මොහුගේ ස්වභාවය වෙති’යි පච්ඡාභත්තික නමි පච්ඡාභත්තික නොවනුයේ ඛලු පච්ඡාභත්තික නමි; සමාදන්වීමෙන් ප්‍රතික්‍ෂිප්ත අතිරේක භෝජනයට මේ නමකි. අටුවාවෙහි වනාහි ‘ඛලු’ යනු එක්තරා පක්‍ෂියෙකි, උහු මුවින් ගත් ඵලයක් ගිලිහුණහොත් යළි අනෙකක් නොගනියි. මොහු එවැන්නෙකි’යි ඛලුපච්ඡාභත්තික නමි, ඔහුගේ අංගය ඛලුපච්ඡාභත්තිකංග නම් වේ.

අරඤ‍්ඤෙ නිවාසො සීලමස‍්සාති ආරඤ‍්ඤිකො. තස‍්ස අඞ‍්ගං ආරඤ‍්ඤිකඞ‍්ගං.

අරණ්‍යයෙහි විසීම මොහුගේ ස්වභාවය වෙති’යි ආරඤ්ඤික නමි, ඔහුගේ අංගය ආරඤ්ඤිකංග නමි.

රුක‍්ඛමූලෙ නිවාසො රුක‍්ඛමූලං, තං සීලමස‍්සාති රුක‍්ඛමූලිකො. රුක‍්ඛමූලිකස‍්ස අඞ‍්ගං රුක‍්ඛමූලිකඞ‍්ගං. අබ‍්භොකාසිකසොසානිකඞ‍්ගෙසුපි එසෙව නයො.

රුක්මුල්හි විසීම රුක්ඛමූල නමි, එය මොහුගේ ස්වභාවය වෙති’යි රුක්ඛමූලික නමි, රුක්ඛමූලිකයාගේ අංගය රුක්ඛමූලිකංග නමි. අබ්භොකාසික, සොසානික අංගයන් පිළිබඳවද මෙම නයයි.

යදෙව සන්‍ථතං යථාසන්‍ථතං, ඉදං තුය‍්හං පාපුණාතීති එවං පඨමං උද‍්දිට‍්ඨසෙනාසනස‍්සෙතං අධිවචනං. තස‍්මිං යථාසන්‍ථතෙ විහරිතුං සීලමස‍්සාති යථාසන්‍ථතිකො. තස‍්ස අඞ‍්ගං යථාසන්‍ථතිකඞ‍්ගං.

යම් සෙනසුනක් පමුණුවන ලද්දේ ද එය ‘යථාසන්ථත’ නමි, මෙය ඔබට පැවරේය’යි පළමුකොට පමුණුවන ලද සෙනසුනට මේ අධිවචනයි, එම යථාසන්ථත සෙනසුනෙහි විසීම මොහුගේ ස්වභාවය වෙති’යි යථාසන්ථතික නමි, ඔහුගේ අංගය යථාසන්‍ථතිකංග නමි.

සයනං පටික‍්ඛිපිත්‍වා නිසජ‍්ජාය විහරිතුං සීලමස‍්සාති නෙසජ‍්ජිකො. තස‍්ස අඞ‍්ගං නෙසජ‍්ජිකඞ‍්ගං.

වැද හෙවීම (වැතිරීම) පිළිකෙව් කොට හිඳීම් පමණෙකින් විහරණය කිරීම මොහුගේ ස්වභාවය වෙති’යි නේසජ්ජික නමි, ඔහුගේ අංගය නෙසජ්ජිකංග නමි.

සබ‍්බානෙව පනෙතානි තෙන තෙන සමාදානෙන ධුතකිලෙසත‍්තා ධුතස‍්ස භික‍්ඛුනො අඞ‍්ගානි, කිලෙසධුනනතො වා ධුතන‍්ති ලද‍්ධවොහාරං ඤාණං අඞ‍්ගං එතෙසන‍්ති ධුතඞ‍්ගානි. අථ වා ධුතානි ච තානි පටිපක‍්ඛනිද‍්ධුනනතො අඞ‍්ගානි ච පටිපත‍්තියාතිපි ධුතඞ‍්ගානි. එවං තාවෙත්‍ථ අත්‍ථතො විඤ‍්ඤාතබ‍්බො විනිච‍්ඡයො.

මේ සියලු ධුතංග ඒ ඒ ධූතංගය සමාදන්වීම් වශයෙන් කෙලෙස් සොල්වාලන හෙයින් ‘ධුත’යි යන නම් ඇති, භික්‍ෂුවගේ අංග වෙති’යි, කෙලෙස් සොල්වාලන හෙයින්, ‘ධුත’යි යන ව්‍යවහාරයට පත් ඥානය මොහුට අංගවීයයි හෝ ධුතංග නම් වේ. නැතහොත්, ප්‍රතිපක්‍ෂ වූ ක්ලේශයන් කම්පා කරවන හෙයින් ‘ධුත’ නම්ද වේ. ශීලාදී ප්‍රතිපත්තියට අංග වෙති’යි, ධුතංග නම්ද වේ. මෙසේ පළමුකොට වචනාර්ත්‍ථ වශයෙන් මෙහි විනිශ්චය දතයුතුය.

සබ‍්බානෙව පනෙතානි සමාදානචෙතනාලක‍්ඛණානි. වුත‍්තම‍්පි චෙතං “යො සමාදියති, සො පුග‍්ගලො. යෙන සමාදියති, චිත‍්තචෙතසිකා එතෙ ධම‍්මා. යා සමාදානචෙතනා, තං ධුතඞ‍්ගං. යං පටික‍්ඛිපති, තං වත්‍ථූ”ති. සබ‍්බානෙව ච ලොලුප‍්පවිද‍්ධංසනරසානි, නිල‍්ලොලුප‍්පභාවපච‍්චුපට‍්ඨානානි අප‍්පිච‍්ඡතාදිඅරියධම‍්මපදට‍්ඨානානි. එවමෙත්‍ථ ලක‍්ඛණාදීහි වෙදිතබ‍්බො විනිච‍්ඡයො.

ලක්‍ඛණාදීහි යනු, මේ සියලු ධුතංගයෝ සමාදාන චේතනාව ලක්‍ෂණකොට ඇත්තාහුය. කියන ලදමැයි, ‘යමෙක් සමාදන් වේද, හේ පුද්ගලයෙකි, යමක් කරණකොට සමාදන් වේද, මේ චිත්ත චෛතසික ධර්මයෝය, යම් සමාදාන චේතනාවක් වේද එය ධුතංගයි, යමක් පිළිකෙව් කෙරේද, එය වස්තුයි’ සියලු ධුතංගයෝ තෘෂ්ණාවිධ්වංසනය රස හෙවත් කෘත්‍ය කොට ඇත්තාහුය. තෘෂ්ණාරහිත බව ආසන්න ඵලය කොට ඇත්තාහුය. අල්පේච්ඡතාදී ආර්යධර්මයන් ආසන්න කාරණය කොට ඇත්තාහුය. මේ ආකාරයෙන් ලක්‍ෂණාදී වශයෙන් මෙහි විනිශ්චය දතයුතුය.

සමාදානවිධානතොතිආදීසු පන පඤ‍්චසු සබ‍්බානෙව ධුතඞ‍්ගානි ධරමානෙ භගවති භගවතොව සන‍්තිකෙ සමාදාතබ‍්බානි. පරිනිබ‍්බුතෙ මහාසාවකස‍්ස සන‍්තිකෙ. තස‍්මිං අසති ඛීණාසවස‍්ස, අනාගාමිස‍්ස, සකදාගාමිස‍්ස, සොතාපන‍්නස‍්ස, තිපිටකස‍්ස, ද‍්විපිටකස‍්ස, එකපිටකස‍්ස, එකසඞ‍්ගීතිකස‍්ස, අට‍්ඨකථාචරියස‍්ස. තස‍්මිං අසති ධුතඞ‍්ගධරස‍්ස, තස‍්මිම‍්පි අසති චෙතියඞ‍්ගණං සම‍්මජ‍්ජිත්‍වා උක‍්කුටිකං නිසීදිත්‍වා සම‍්මාසම‍්බුද‍්ධස‍්ස සන‍්තිකෙ වදන‍්තෙන විය සමාදාතබ‍්බානි, අපිච සයම‍්පි සමාදාතුං වට‍්ටති එව. එත්‍ථ ච චෙතියපබ‍්බතෙ ද‍්වෙ භාතිකත්‍ථෙරානං ජෙට‍්ඨකභාතු ධුතඞ‍්ගප‍්පිච‍්ඡතාය වත්‍ථු කථෙතබ‍්බං. අයං තාව සාධාරණකථා.

සමාදාන විධානතො යන ආදී පසෙහි වනාහි: සියලු ධුතංගයන් භාග්‍යවතුන්වහන්සේ ජීවමාන කල්හි උන්වහන්සේ වෙතම සමාදන් විය යුතුය, පිරිනිවි කල්හි මහාශ්‍රාවක කෙනෙකු සමීපයෙහිද, එවන් කෙනෙකු නැති කල්හි, රහත් කෙනෙකු අනාගාමී කෙනෙකු, සකෘදාගාමී කෙනෙකු, සෝතාපන්න කෙනෙකු, ත්‍රිපිටකධරයකු, ද්විපිටකධරයකු, ඒකපිටකධරයකු, ඒක සංගීතිධරයකු, ඒකාගමධරයකු, අට්ඨකථාචාර්යවරයකු, එවන් කෙනෙකුද නැති කල්හි, ධුතංගධරයකු එවන් කෙනෙකුද නැති කල්හි, සෑමළුව හැමද, දණ නමා හිඳගෙන, සම්මාසම්බුදුන් අභිමුඛයෙහි කියන විලාශයෙන් සමාදන් වියයුතුය. තවද තමා විසින්ම සමාදන්වනුද වටී. මෙහිලා සඳගිරි වැසි දෙබෑතෙරුන් අතුරෙන් දෙටුබෑ තෙරුන්ගේ ධුතංග අල්පේච්ඡතාව පිළිබඳව වත කිවයුතුය. මේ සියලු ධුතංගයනට සාධාරණ කථාය.