3. වෙළුකජාතකවණ්ණනා 43 අට්ඨකථා
3. වෙළුකජාතකවණ්ණනා (43)
3. වේළුක ජාතකය (43)
යො අත්ථකාමස්සාති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො අඤ්ඤතරං දුබ්බචභික්ඛුං ආරබ්භ කථෙසි. තඤ්හි භගවා “සච්චං කිර ත්වං භික්ඛු දුබ්බචොසී”ති පුච්ඡිත්වා “සච්චං, භන්තෙ”ති වුත්තෙ “න ත්වං භික්ඛු ඉදානෙව දුබ්බචො, පුබ්බෙපි දුබ්බචොයෙව, දුබ්බචත්තායෙව ච පණ්ඩිතානං වචනං අකත්වා සප්පමුඛෙ ජීවිතක්ඛයං පත්තො”ති වත්වා අතීතං ආහරි.
“යො අත්ථකාමස්සාති” යන මේ ජාතක කථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩ වාසය කරන සේක්, එක්තරා දුර්වච (නො කීකරු) භික්ෂුවක් අරබයා දේශනා කළ සේක. භාග්‍යවතුන් වහන්සේ ඔහුගෙන් මහණ, නුඹ දුර්වචයකු යනු ඇත්තදැ යි විචාරා ස්වාමීනි, සත්යයයැ යි කී කල්හි මහණ, නුඹ දැන් පමණක් නොව පෙරත් දුර්වචයකුය. දුර්වච බැවින් ම නුවණ ඇත්තන්ගේ කීම නො පිළිගෙන සර්ප මුඛයෙහි ජීවිත විනාශයට පැමිණියේයැ යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො කාසිරට්ඨෙ මහාභොගකුලෙ නිබ්බත්තො විඤ්ඤුතං පත්වා කාමෙසු ආදීනවං නෙක්ඛම්මෙ චානිසංසං දිස්වා කාමෙ පහාය හිමවන්තං පවිසිත්වා ඉසිපබ්බජ්ජං පබ්බජිත්වා කසිණපරිකම්මං කත්වා පඤ්චාභිඤ්ඤා අට්ඨ සමාපත්තියො ච උප්පාදෙත්වා ඣානසුඛෙන වීතිනාමෙන්තො අපරභාගෙ මහාපරිවාරො පඤ්චහි තාපසසතෙහි පරිවුතො ගණස්ස සත්ථා හුත්වා විහාසි. අථෙකො ආසිවිසපොතකො අත්තනො ධම්මතාය චරන්තො අඤ්ඤතරස්ස තාපසස්ස අස්සමපදං පත්තො. තාපසො තස්මිං පුත්තසිනෙහං උප්පාදෙත්වා තං එකස්මිං වෙළුපබ්බෙ සයාපෙත්වා පටිජග්ගති. තස්ස වෙළුපබ්බෙ සයනතො “වෙළුකො”ත්වෙව නාමං අකංසු. තං පුත්තසිනෙහෙන පටිජග්ගනතො තාපසස්ස “වෙළුකපිතා”ත්වෙව නාමං අකංසු.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු කරද්දී බෝසත් තෙම කසී රට මහා භෝග සම්පත් ඇති කුලයක උපන්නේ, බුද්ධිමත්බවට පැමිණ කාමයන්හි ආදීනව ද නෛෂ්ක්රමයෙහි අනුසස් ද දැක පස් කම් සැප අත්හැර හිමාලයට පිවිස තවුස් පැවිද්දෙන් පැවිදි ව කසිණු පිරියම්කොට අභිඥා පස ද අටසමවත් ද උපදවා ධ්‍යාන සැපයෙන් කල්ගත කරන්නේ, මෑත කාලයක මහා පිරිවර ඇත්තේය. පන්සියයක් තාපසයන් විසින් පිරිවරන ලද්දේ, සමූහයාගේ ශාස්තෲ වී වාසය කළේය. ඉක්බිති, එක් නයි පැටියෙක් තමාට පුරුදු පරිදි හැසිරෙන්නේ, එක්තරා තාපසයකුගේ ආශ්රමයට පැමිණියේය. තාපසයා ඌ කෙරෙහි දරු සෙනෙහස උපදවා ඌ එක් උණ පුරුකක නිදි කැරවා පෝෂණය කැරේ. ඌ උණ පුරුකේ නිදන බැවින් වේළුකයැ යි නමක් තැබුවේය. ඌ දරු පෙමින් පිළිදැඟුම් කරන නිසා තාපසයාට වේළුක පියායැ යි නම් කළේය.
තදා බොධිසත්තො “එකො කිර තාපසො ආසිවිසං පටිජග්ගතී”ති සුත්වා තං පක්කොසාපෙත්වා “සච්චං කිර ත්වං ආසිවිසං පටිජග්ගසී”ති පුච්ඡිත්වා “සච්ච”න්ති වුත්තෙ “ආසිවිසෙන සද්ධිං විස්සාසො නාම නත්ථි, මා එවං ජග්ගාහී”ති ආහ. “සො මෙ ආචරිය පුත්තො, නාහං තෙන විනා වත්තිතුං සක්ඛිස්සාමී”ති. “තෙන හි එතස්සෙව සන්තිකා ජීවිතක්ඛයං පාපුණිස්සසී”ති. තාපසො බොධිසත්තස්ස වචනං න ගණ්හි, ආසිවිසම්පි ජහිතුං නාසක්ඛි. තතො කතිපාහච්චයෙනෙව සබ්බෙ තාපසා ඵලාඵලත්ථාය ගන්ත්වා ගතට්ඨානෙ ඵලාඵලස්ස සුලභභාවං දිස්වා ද්වෙ තයො දිවසෙ තත්ථෙව වසිංසු, වෙළුකපිතාපි තෙහි සද්ධිං ගච්ඡන්තො ආසිවිසං වෙළුපබ්බෙයෙව සයාපෙත්වා පිදහිත්වා ගතො. සො පුන තාපසෙහි සද්ධිං ද්වීහතීහච්චයෙන ආගන්ත්වා “වෙළුකස්ස ගොචරං දස්සාමී”ති වෙළුපබ්බං උග්ඝාටෙත්වා “එහි, පුත්තක, ඡාතකොසී”ති හත්ථං පසාරෙසි. ආසිවිසො ද්වීහතීහං නිරාහාරතාය කුජ්ඣිත්වා පසාරිතහත්ථං ඩංසිත්වා තාපසං තත්ථෙව ජීවිතක්ඛයං පාපෙත්වා අරඤ්ඤං පාවිසි. තාපසා තං දිස්වා බොධිසත්තස්ස ආරොචෙසුං. බොධිසත්තො තස්ස සරීරකිච්චං කාරෙත්වා ඉසිගණස්ස මජ්ඣෙ නිසීදිත්වා ඉසීනං ඔවාදවසෙන ඉමං ගාථමාහ –
එකල්හි බෝසත් තෙමේ එක් තාපසයෙක් සර්පයකු පිළිදැඟුම් කැරේයැ යි අසා කැඳවා නුඹ සර්පයකු පෝෂණය කරන්නේ ඇත්තක්දැ යි විචාරා, ඇත්තයැ යි කී කල්හි සර්පයකු සමග විශ්වාසයක් නම් නැත. මෙසේ පිළිදැඟුම් නො කැරව යි කීවේය. තාපසයා කීවේය. ඇදුරුතුමනි, හෙතෙම මගේ පුතාය. ඔහුගෙන් තොරව පවතින්න නො හැක්කෙමි. එ සේ නම් ඌගේ සමීපයෙන් ම ජීවිත විනාශයට පැමිණෙන්නෙහිය. තාපස තෙමේ බෝසතුන්ගේ වචනය නො ඇසීය. සර්පයා ද අත්හරින්නට නො හැකි විය. ඉක්බිති, කීප දිනක් ඇවෑමෙන් සියලු තාපසයෝ ඵලවැල සඳහා ගිය තැන ඵලාඵලයන්ගේ සුලබ බව දැක දෙතුන් දිනක් ම එහි වාසය කළාහුය. වේළුක පියා ද ඔවුන් සමග යන්නේ සර්පයා උණ පුරුකෙහි ම නිදි කැරවා වසා ගියේය. හෙතෙම නැවත තාපසයන් සමග දෙතුන් දිනකින් අවුත් වේළුකට ගොදුරු දෙමි යි උණ පුරුක විවෘතකොට දරුව එව, බඩගිනි ඇත්තෙහිදැ යි අත දිගු කළේය. සර්පයා දින දෙක තුනක් නිරාහාරව සිටි බැවින් කිපී දික් කළ අත දෂ්ටකොට තාපසයා එහි ම ජීවිතක්ෂයට පමුණුවා කැලයට පිවිසියේය. තාපසයෝ ඔහු දැක බෝධිසත්ත්වයන් වහන්සේට සැලකළාහුය. බෝසත් තෙම, ඔහුගේ අවසන් කටයුතු කැරවා තාපස සමූහයා මැද වැඩ හිඳ තවුසන්ට අවවාද වශයෙන් මේ ගාථාව කීවේය.
“යො අත්ථකාමස්ස හිතානුකම්පිනො, ඔවජ්ජමානො න කරොති සාසනං; එවං සො නිහතො සෙති, වෙළුකස්ස යථා පිතා”ති.
“යො අත්ථකාමස්ස හිතානුකම්පිනො, ඔවජ්ජමානො න කරොති සාසනං, එවං සො නිහතො සෙති, වෙලුකස්ස යථා පිතාති”
“වැඩ කැමැත්තා හිතවත් ව අනුකම්පා කරන්නාහු වචනය - අවවාදය දෙනු ලබන්නේ වුව ද යමෙක් නො කැරේ ද හෙතෙම වේලුක නම් සර්පයාගේ පියා යම් සේ ද එපරිද්දෙන් මරණයට පත්වූයේ, ශෝක කරයි.”
තත්ථ එවං සො නිහතො සෙතීති යො හි ඉසීනං ඔවාදං න ගණ්හාති, සො යථා එස තාපසො ආසිවිසමුඛෙ පූතිභාවං පත්වා නිහතො සෙති, එවං මහාවිනාසං පත්වා නිහතො සෙතීති අත්ථො. එවං බොධිසත්තො ඉසිගණං ඔවදිත්වා චත්තාරො බ්රහ්මවිහාරෙ භාවෙත්වා ආයුපරියොසානෙ බ්රහ්මලොකෙ උප්පජ්ජි.
එහි, “එවං සො නිහතො සෙතීති” යමෙක් වනාහි තවුසන්ගේ අවවාද නො ගනී ද හෙතෙම යම් සේ මේ තාපසයා සර්ප කටෙහි නැසුණේ වෙයි යන අර්ථයයි. මෙසේ බෝසතාණන් වහන්සේ තාපස සමූහයාට අවවාද දී සිව් බඹ විහරණ වඩා ආයු කෙළවර බඹලොව උපන්නේය.
සත්ථා “න ත්වං භික්ඛු ඉදානෙව දුබ්බචො, පුබ්බෙපි දුබ්බචොයෙව, දුබ්බචභාවෙනෙව ච ආසිවිසමුඛෙ පූතිභාවං පත්තො”ති ඉමං ධම්මදෙසනං ආහරිත්වා අනුසන්ධිං ඝටෙත්වා ජාතකං සමොධානෙසි – “තදා වෙළුකපිතා දුබ්බචභික්ඛු අහොසි, සෙසපරිසා බුද්ධපරිසා, ගණසත්ථා පන අහමෙව අහොසි”න්ති.
බුදු රජාණන් වහන්සේ, භික්ෂුව, ඔබ දුර්වච වූයේ දැන් පමණක් නොව පෙරත් දුර්වච වූයේය. අකීකරුකමින් ම සර්ප කටෙහි පූතිභාවයට පැමිණියේයැ යි මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා පූර්වාපර සන්ධි ගළපා ජාතක කථාව නිමවා වදාළසේක. එකල වේලුක පියා දුර්වච භික්ෂුව විය. සෙසු පිරිස බුදු පිරිසයි. පිරිස් නායක මම ම වෙමි යි වදාළ සේක.
වෙළුකජාතකවණ්ණනා තතියා.