යෙදුමෙන් කියවන්න

3. භරුජාතකවණ‍්ණනා 213 අට‍්ඨකථා

3. භරුජාතකවණ‍්ණනා (213)

3. භරු ජාතකය (213)

ඉසීනමන‍්තරං කත්‍වාති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො කොසලරාජානං ආරබ‍්භ කථෙසි. භගවතො හි භික‍්ඛුසඞ‍්ඝස‍්ස ච ලාභසක‍්කාරො මහා අහොසි. යථාහ –

ඉසීන මන්තරං කත්‍වා යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩවාසය කරන සේක් කොසොල් රජතුමා අරබයා වදාළ සේක.

“තෙන ඛො පන සමයෙන භගවා සක‍්කතො හොති ගරුකතො මානිතො පූජිතො අපචිතො ලාභී චීවරපිණ‍්ඩපාතසෙනාසනගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරානං. භික‍්ඛුසඞ‍්ඝොපි ඛො සක‍්කතො හොති…පෙ… පරික‍්ඛාරානං. අඤ‍්ඤතිත්‍ථියා පන පරිබ‍්බාජකා අසක‍්කතා හොන‍්ති…පෙ… පරික‍්ඛාරාන”න‍්ති (උදා· 14).

භාග්‍යවතුන් වහන්සේටද භික්‍ෂු සංඝයාටද ලාභ සත්කාර වැඩිපුර ලැබෙන්නට විය. කෙසේද යත් ඒ කාලයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේට සත්කාර කිරීම, ගරු කිරීම, පුදන ලද, පූජා කරන ලද, ගරුකරන ලද්දේ සිවුරු, පිණ්ඩපාතය, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් පිරිකර ආදිය ලැබෙන්නේය. භික්‍ෂු සංඝයාටද සත්කාර කරන්නේ වෙයි. -පෙ- පිරිකරද ලැබේ. අන්‍ය තීර්ථක පිරිවැජියන්ට එවැනි සත්කාර ලැබෙන්නේ නැත. -පෙ- පිරිකර ආදියද නොලබති.

තෙ එවං පරිහීනලාභසක‍්කාරා අහොරත‍්තං ගුළ‍්හසන‍්නිපාතං කත්‍වා මන‍්තයන‍්ති “සමණස‍්ස ගොතමස‍්ස උප‍්පන‍්නකාලතො පට‍්ඨාය මයං හතලාභසක‍්කාරා ජාතා , සමණො ගොතමො ලාභග‍්ගයසග‍්ගප‍්පත‍්තො ජාතො, කෙන නු ඛො කාරණෙනස‍්ස එසා සම‍්පත‍්තී”ති. තත්‍රෙකෙ එවමාහංසු – “සමණො ගොතමො සකලජම‍්බුදීපස‍්ස උත‍්තමට‍්ඨානෙ භූමිසීසෙ වසති. තෙනස‍්ස ලාභසක‍්කාරො උප‍්පජ‍්ජතී”ති, සෙසා “අත්‍ථෙතං කාරණං, මයම‍්පි ජෙතවනපිට‍්ඨෙ තිත්‍ථියාරාමං කාරෙමු, එවං ලාභිනො භවිස‍්සාමා”ති ආහංසු. තෙ සබ‍්බෙපි “එවමෙත”න‍්ති සන‍්නිට‍්ඨානං කත්‍වා “සචෙපි මයං රඤ‍්ඤො අනාරොචෙත්‍වා ආරාමං කාරෙස‍්සාම, භික‍්ඛූ වාරෙස‍්සන‍්ති, ලඤ‍්ජං ලභිත්‍වා අභිජ‍්ජනකො නාම නත්‍ථි, තස‍්මා රඤ‍්ඤො ලඤ‍්ජං දත්‍වා ආරාමට‍්ඨානං ගණ‍්හිස‍්සාමා”ති සම‍්මන‍්තෙත්‍වා උපට‍්ඨාකෙ යාචිත්‍වා රඤ‍්ඤො සතසහස‍්සං දත්‍වා “මහාරාජ, මයං ජෙතවනපිට‍්ඨියං තිත්‍ථියාරාමං කරිස‍්සාම, සචෙ භික‍්ඛූ ‘කාතුං න දස‍්සාමා’ති තුම‍්හාකං ආරොචෙන‍්ති, නෙසං පටිවචනං න දාතබ‍්බ”න‍්ති ආහංසු. රාජා ලඤ‍්ජලොභෙන “සාධූ”ති සම‍්පටිච‍්ඡි.

ඔවුහු මෙසේ පිරිහුණු ලාභ සත්කාර ඇත්තාහු රෑ දාවල් රහසේ රැස්ව ශ්‍රමණ භවත් ගෞතමයන් පහළ වූ තැන් පටන් අපි නැසුණු ලාභ සත්කාර ඇත්තෝ වෙමු. ශ්‍රමණ භවත් ගෞතමයෝ ලාභයෙන් යසසින් අගතැන්පත් වූහ. කුමන කරුණක් නිසා උන්වහන්සේ මේ සම්පත් ලැබෙන්නේදැයි සාකච්ඡා කරති. ඔවුන්ගෙන් ඇතැමෙක් ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ මුළු දඹදිවටම උතුම් බිම් පියසක වසන සේක. ඒ නිසා උන්වහන්සේට මේ ලාභ සත්කාර උපදී යනුවෙන් කීහ. සෙසු අය ඒ කතාවෙහි ගතයුත්තක් ඇත. අපිත් ජේතවනය පිටුපස තීර්ථක ආරාමයක් කරවමු. මෙසේ (චීවරාදි) ලාභ ලබන්නෝ වන්නෙමුයි කීවාහුය. ඒ සියල්ලෝම එසේ යයි තීරණය (සනිටුහන්) කොට, ඉදින් අපි රජතුමාට නොදන්වා ආරාමයක් කරවන්නෙමු නම් භික්‍ෂූහු වළක්වන්නාහ. ලාභයක් ලැබ මෙසේ වෙන කෙනෙක් නම් නැත. ඒ නිසා රජතුමාට අල්ලසක් දී ආරාමයකට සුදුසු තැනක් ලබා ගන්නෙමුයි සාකච්ඡාකොට උපස්ථායකයන්ගෙන් ඉල්ලාගෙන රජතුමාට ලක්‍ෂයක් දී මහරජතුමනි! අපි ජේතවනාරාමය පිටුපස තීර්ථක ආරාමයක් කරන්නෙමු. ඉදින් භික්‍ෂූහු එය කරන්නට නොදෙමුයි ඔබතුමන්ට කියත්නම් උන්වහන්සේලාට පිළිතුරක් නොදිය යුතුයයි කීවාහුය. රජතුමා අල්ලසට ලොල්වී යහපතැයි පිළිගත්තේය.

තිත්‍ථියා රාජානං සඞ‍්ගණ‍්හිත්‍වා වඩ‍්ඪකිං පක‍්කොසාපෙත්‍වා කම‍්මං පට‍්ඨපෙසුං, මහාසද‍්දො අහොසි. සත්‍ථා “කෙ පනෙතෙ, ආනන්‍ද, උච‍්චාසද‍්දමහාසද‍්දා”ති පුච‍්ඡි. “අඤ‍්ඤතිත්‍ථියා, භන‍්තෙ, ජෙතවනපිට‍්ඨියං තිත්‍ථියාරාමං කාරෙන‍්ති, තත්‍ථෙසො සද‍්දො”ති. “ආනන්‍ද, නෙතං ඨානං තිත්‍ථියාරාමස‍්ස අනුච‍්ඡවිකං, තිත්‍ථියා උච‍්චාසද‍්දකාමා, න සක‍්කා තෙහි සද‍්ධිං වසිතු”න‍්ති වත්‍වා භික‍්ඛුසඞ‍්ඝං සන‍්නිපාතෙත්‍වා “ගච‍්ඡථ, භික‍්ඛවෙ, රඤ‍්ඤො ආචික‍්ඛිත්‍වා තිත්‍ථියාරාමකරණං නිවාරෙථා”ති ආහ. භික‍්ඛුසඞ‍්ඝො ගන‍්ත්‍වා රඤ‍්ඤො නිවෙසනද‍්වාරෙ අට‍්ඨාසි. රාජා සඞ‍්ඝස‍්ස ආගතභාවං සුත්‍වාපි “තිත්‍ථියාරාමං නිස‍්සාය ආගතා භවිස‍්සන‍්තී”ති ලඤ‍්ජස‍්ස ගහිතත‍්තා “රාජා ගෙහෙ නත්‍ථී”ති වදාපෙසි. භික‍්ඛූ ගන‍්ත්‍වා සත්‍ථු ආරොචෙසුං. සත්‍ථා “ලඤ‍්ජං නිස‍්සාය එවං කරොතී”ති ද‍්වෙ අග‍්ගසාවකෙ පෙසෙසි. රාජා තෙසම‍්පි ආගතභාවං සුත්‍වා තථෙව වදාපෙසි. තෙපි ආගන‍්ත්‍වා සත්‍ථු ආරාචෙසුං. සත්‍ථා “න ඉදානි, සාරිපුත‍්ත, රාජා ගෙහෙ නිසීදිතුං ලභිස‍්සති, බහි නික‍්ඛමිස‍්සතී”ති පුනදිවසෙ පුබ‍්බණ‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය පඤ‍්චහි භික‍්ඛුසතෙහි සද‍්ධිං රඤ‍්ඤො නිවෙසනද‍්වාරං අගමාසි. රාජා සුත්‍වා පාසාදා ඔතරිත්‍වා පත‍්තං ගහෙත්‍වා සත්‍ථාරං පවෙසෙත්‍වා බුද‍්ධප‍්පමුඛස‍්ස සඞ‍්ඝස‍්ස යාගුඛජ‍්ජකං දත්‍වා සත්‍ථාරං වන්‍දිත්‍වා එකමන‍්තං නිසීදි. සත්‍ථා රඤ‍්ඤො එකං පරියායධම‍්මදෙසනං ආරභන‍්තො “මහාරාජ, පොරාණකරාජානො ලඤ‍්ජං ගහෙත්‍වා සීලවන‍්තෙ අඤ‍්ඤමඤ‍්ඤං කලහං කාරෙත්‍වා අත‍්තනො රට‍්ඨස‍්ස අස‍්සාමිනො හුත්‍වා මහාවිනාසං පාපුණිංසූ”ති වත්‍වා තෙන යාචිතො අතීතං ආහරි.

තීර්ථකයෝ රජතුමාට සංග්‍රහකොට වඩුවන් කැඳවා වැඩ පටන් ගත්හ. මහත් ඝෝෂාවක් ඇතිවිය. බුදුරජාණන් වහන්සේ මේ කුමන අරගලයක්දැයි ආනන්ද තෙරුන්ගෙන් විචාළ සේක. ස්වාමීනි! අන්‍ය තීර්ථකයෝ දෙව්රම පිටුපස තීර්ථක ආරාමයක් කරවති. මේ එහි ඝෝෂාවයි. ආනන්දය! මේ ස්ථානය තීර්ථක ආරාමයකට නුසුදුසුයි. තීර්ථකයෝ උස්හඬින් කථාකරනු කැමති අය වෙති. ඔවුන් සමග වාසය කළ නොහැකියයි වදාරා භික්‍ෂු සංඝයා රැස් කරවා, මහණෙනි, යන්න රජුට කියා තීර්ථක ආරාමය තැනීම වළක්වවයි වදාළ සේක. භික්‍ෂු සංඝයා ගොස් රජ මාලිගයේ දොරටුව ළඟ වැඩසිටියහ. රජතුමා සංඝයා පැමිණි බව ඇසුවේ නමුදු තීර්ථක ආරාමය නිසා එන ලදැයි සිතා අල්ලස් ගත් නිසා රජතුමා මාලිගාවේ නැතැයි කීවේය. භික්‍ෂූහු ගොස් ශාස්තෲන් වහන්සේට සැල කළාහුය. බුදුරජාණන් වහන්සේ, අල්ලස නිසා එසේ කරන්නේ යයි, අගසව් දෙනම යැවූ සේක. රජතුමා උන්වහන්සේලාගේ පැමිණි බවද අසා කලින් කිවූ පරිදිම කියවීය. උන්වහන්සේලාද අවුත් බුදුරජාණන් වහන්සේට සැල කළාහුය. බුදුරජාණන් වහන්සේ සාරිපුත්තයෙනි! දැන් රජතුමා මාලිගාවේ සිටීමට නො ලබන්නේය. බැහැර නික්මෙන්නේ යයි පසුදින පෙරයම් වේලාවෙහි හැඳ පොරවා පාත්‍රයද සිවුරද රැගෙන භික්‍ෂූන් පන්සියයක් සමග රජතුමාගේ මාලිගාවේ දොරටුව ළඟට වැඩි සේක. රජතුමා ඒ බව අසා ප්‍රාසාදයෙන් බැස පාත්‍රය ගෙන ශාස්තෲන් වහන්සේ ඇතුළට වැඩමවා, බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝයාට කැඳ හා කැවිලි වර්ග වළඳවා බුදුන් වැඳ එකත්පසෙක හිඳ ගත්තේය. බුදුරජාණන් වහන්සේ රජතුමාට එක් ආකාරයක ධර්ම දේශනාවක් ආරම්භ කරමින් මහරජ! පෙර රජවරු අල්ලස් ගෙන සිල්වතුන් අතරෙහි ඔවුනොවුන් භේද කරවා කෝලාහල ඇතිකොට තමන්ගේ රටෙහි නායකත්වයෙන් මිදී මහා විනාශයකට පත් වූහයි වදාරා රජතුමා විසින් ඉල්ලන ලද්දාහු අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.

අතීතෙ භරුරට‍්ඨෙ භරුරාජා නාම රජ‍්ජං කාරෙසි. තදා බොධිසත‍්තො පඤ‍්චාභිඤ‍්ඤො අට‍්ඨසමාපත‍්තිලාභී ගණසත්‍ථා තාපසො හුත්‍වා හිමවන‍්තපදෙසෙ චිරං වසිත්‍වා ලොණම‍්බිලසෙවනත්‍ථාය පඤ‍්චසතතාපසපරිවුතො හිමවන‍්තා ඔතරිත්‍වා අනුපුබ‍්බෙන භරුනගරං පත්‍වා තත්‍ථ පිණ‍්ඩාය චරිත්‍වා නගරා නික‍්ඛමිත්‍වා උත‍්තරද‍්වාරෙ සාඛාවිටපසම‍්පන‍්නස‍්ස වටරුක‍්ඛස‍්ස මූලෙ නිසීදිත්‍වා භත‍්තකිච‍්චං කත්‍වා තත්‍ථෙව රුක‍්ඛමූලෙ වාසං කප‍්පෙසි. එවං තස‍්මිං ඉසිගණෙ තත්‍ථ වසන‍්තෙ අඩ‍්ඪමාසච‍්චයෙන අඤ‍්ඤො ගණසත්‍ථා පඤ‍්චසතපරිවාරො ආගන‍්ත්‍වා නගරෙ භික‍්ඛාය චරිත්‍වා නගරා නික‍්ඛමිත්‍වා දක‍්ඛිණද‍්වාරෙ තාදිසස‍්සෙව වටරුක‍්ඛස‍්ස මූලෙ නිසීදිත්‍වා භත‍්තකිච‍්චං කත්‍වා තත්‍ථ රුක‍්ඛමූලෙ වාසං කප‍්පෙසි. ඉති තෙ ද‍්වෙපි ඉසිගණා තත්‍ථ යථාභිරන‍්තං විහරිත්‍වා හිමවන‍්තමෙව අගමංසු.

යටගිය දවස භරු රටෙහි භරු නම් රජෙකු රාජ්‍යය කරවීය. එකල බෝසතාණන් වහන්සේ පඤ්ච අභිඥා සහ අෂ්ට සමාපත්තිලාභීව පිරිස් අනුශාසක තවුසා වී හිමවත් පියසෙහි බොහෝ කාලයක් වාසයකොට ලුනුඇඹුල් සෙවීම පිණිස පන්සියයක් තාපසවරුන් පිරිවරන ලද්දේ හිමාල වනයෙන් බැස පිළිවෙලින් භරු නගරයට පැමිණ එහි පිඬු සිඟා හැසිර නුවරින් නික්මී උතුරු දොරටුවෙහි අතුපතර විසිර ඇති නුග ගසක් මුල හිඳ දන් වළඳා ඒ ගස මුලම වාසය කෙළේය. මෙසේ එහි සෘෂිවරු එහිම වාසය කරමින් අඩ මාසයක් ගිය තැන වෙනත් පිරිස් අනුශාසකයෙක් පන්සියයක් පිරිවර සමග අවුත් නගරෙහි පිඬු සිඟා ඇවිද නුවරින් නික්මී දකුණු දොරටුවෙහි එවැනිම නුග ගසක් මුල හිඳ දන් වළඳා එහිම වාසය කෙළේය. මෙසේ ඒ තවුස් කණ්ඩායම් දෙකම කැමති තාක්කල් තරම් වාසය කොට හිමාල වනයටම ගියාහුය.

තෙසං ගතකාලෙ දක‍්ඛිණද‍්වාරෙ වටරුක‍්ඛො සුක‍්ඛො. පුනවාරෙ තෙසු ආගච‍්ඡන‍්තෙසු දක‍්ඛිණද‍්වාරෙ වටරුක‍්ඛවාසිනො පඨමතරං ආගන‍්ත්‍වා අත‍්තනො වටරුක‍්ඛස‍්ස සුක‍්ඛභාවං ඤත්‍වා භික‍්ඛාය චරිත්‍වා නගරා නික‍්ඛමිත්‍වා උත‍්තරද‍්වාරෙ වටරුක‍්ඛමූලං ගන‍්ත්‍වා භත‍්තකිච‍්චං කත්‍වා තත්‍ථ වාසං කප‍්පෙසුං. ඉතරෙ පන ඉසයො පච‍්ඡා ආගන‍්ත්‍වා නගරෙ භික‍්ඛාය චරිත්‍වා අත‍්තනො රුක‍්ඛමූලමෙව ගන‍්ත්‍වා භත‍්තකිච‍්චං කත්‍වා වාසං කප‍්පෙසුං. තෙ “න සො තුම‍්හාකං රුක‍්ඛො, අම‍්හාකං රුක‍්ඛො”ති රුක‍්ඛං නිස‍්සාය අඤ‍්ඤමඤ‍්ඤං කලහං කරිංසු, කලහො මහා අහොසි. එකෙ “අම‍්හාකං පඨමං වසිතට‍්ඨානං තුම‍්හෙ න ලභිස‍්සථා”ති වදන‍්ති. එකෙ “මයං ඉමස‍්මිං වාරෙ පඨමතරං ඉධාගතා, තුම‍්හෙ න ලභිස‍්සථා”ති වදන‍්ති. ඉති තෙ “මයං සාමිනො, මයං සාමිනො”ති කලහං කරොන‍්තා රුක‍්ඛමූලස‍්සත්‍ථාය රාජකුලං අගමංසු. රාජා පඨමං වුත්‍ථඉසිගණඤ‍්ඤෙව සාමිකං අකාසි . ඉතරෙ “න දානි මයං ඉමෙහි පරාජිතාති අත‍්තානං වදාපෙස‍්සාමා”ති දිබ‍්බචක‍්ඛුනා ඔලොකෙත්‍වා එකං චක‍්කවත‍්තිපරිභොගං රථපඤ‍්ජරං දිස‍්වා ආහරිත්‍වා රඤ‍්ඤො ලඤ‍්ජං දත්‍වා “මහාරාජ, අම‍්හෙපි සාමිකෙ කරොහී”ති ආහංසු.

ඔවුන් ගියකල්හි දකුණු දොරටුවෙහි නුග ගස වියලී ගියේය. දෙවන වාරයෙහි එන කල්හි දකුණු දොරටුවෙහි නුග ගස මුල සිටි අය පළමුව අවුත් තමන්ගේ නුග ගස වියලී ගිය බව දැන පිඬු සිඟා හැසිර නුවරින් නික්මී උතුරු දොරටුව අසල නුග ගස යටට ගොස් බත්කිස නිමවා එහි වාසය කළාහුය. අනිත් තාපසවරු පසුව අවුත් නුවර පිඬු සිඟා හැසිර තමන්ගේ ගස මුලටම ගොස් දන් වළඳා වාසය කළාහුය. ඔවුහු (මේ) තොපේ ගස (නොවේ.) අපේ ගසයයි කියමින් ගස නිසා ඔවුනොවුන් කෝලාහල කළහ. කෝලාහලය විශාල එකක් විය. එක් පිරිසක් අපි පළමුව වාසය කළ තැන තොපි නොලබන්නෙහු යයි කියත්. අනිත් පිරිස අපි මෙවර පළමුව මෙහි ආ බැවින් තොපි නොලබන්නෙහු යයි කියත්. මෙසේ ඔවුහු අපියි අයිතිකරුවෝ අපියි අයිතිකරුවෝ යයි කියමින් කෝලාහල කරන්නේ ගස මුල අයිතිය සඳහා රජ මාලිගයට ගියහ. රජතුමා පළමුව විසූ සෘෂි සමූහයාම හිමිකරුවන් කළේය. අනිත් පිරිස දැන් අපි මොවුන්ගෙන් නොපැරදුනෝ වෙමුයි කියා මෙහි අයිතිය තමන්ගේ බව රජතුමා ලවා කියවන්නෙමුයි දිවැසින් බලා සක්විති රජවරු පරිහරණය කරන ලද එක් රිය මැදිරියක් දැක ගෙනවුත් රජතුමාට අල්ලස් දී මහරජ, අපවත් අයිති කරුවන් කළ යුතුයයි කීවාහුය.

රාජා ලඤ‍්ජං ගහෙත්‍වා “ද‍්වෙපි ගණා වසන‍්තූ”ති ද‍්වෙපි සාමිකෙ අකාසි. ඉතරෙ ඉසයො තස‍්ස රථපඤ‍්ජරස‍්ස රථචක‍්කානි නීහරිත්‍වා ලඤ‍්ජං දත්‍වා “මහාරාජ, අම‍්හෙයෙව සාමිකෙ කරොහී”ති ආහංසු. රාජා තථා අකාසි. ඉසිගණා “අම‍්හෙහි වත්‍ථුකාමෙ ච කිලෙසකාමෙ ච පහාය පබ‍්බජිතෙහි රුක‍්ඛමූලස‍්ස කාරණා කලහං කරොන‍්තෙහි ලඤ‍්ජං දදන‍්තෙහි අයුත‍්තං කත”න‍්ති විප‍්පටිසාරිනො හුත්‍වා වෙගෙන පලායිත්‍වා හිමවන‍්තමෙව අගමංසු. සකලභරුරට‍්ඨවාසිනො දෙවතා එකතො හුත්‍වා “සීලවන‍්තෙ කලහං කරොන‍්තෙන රඤ‍්ඤා අයුත‍්තං කත”න‍්ති භරුරඤ‍්ඤො කුජ‍්ඣිත්‍වා තියොජනසතිකං භරුරට‍්ඨං සමුද‍්දං උබ‍්බත‍්තෙත්‍වා අරට‍්ඨමකංසු. ඉති එකං භරුරාජානං නිස‍්සාය සකලරට‍්ඨවාසිනොපි විනාසං පත‍්තාති.

රජතුමා අල්ලස් ගෙන දෙපිරිසම වසත්වායි දෙපිරිසම අයිතිකරුවන් කළේය. අනිත් සෘෂිවරු ඒ රිය මැදිරියට රන් රෝද ගෙනවිත් අල්ලස් වශයෙන් දී මහරජතුමනි, අපම අයිතිකරුවන් කරනු මැනවැයි කීවාහුය. රජතුමා එසේ කළේය. තාපසවරු වස්තුකාමයන්ද ක්ලේශ කාමයන්ද හැර දමා පැවිදි වූ අප විසින් ගස්මුලක් නිසා කළහ කරමින් අල්ලස් දෙමින් අයුතු ක්‍රියාවක් කරන ලදැයි පසුතැවිලි වී ඉක්මණින් පලාගොස් හිමවතටම ගියාහුය. භරු රටවාසී සියලු දෙවියෝ එකතු වී සිල්වතුන් ලවා කලහ කරවීමෙන් රජතුමා විසින් අයුක්තියක් කරන ලදැයි භරු රජුට කිපී යොදුන් තුන්සියයක් පමණ වූ භරු රට මුහුද උතුරුවා නොරටක් කළාහුය. මෙසේ එක භරු රජෙකු නිසා සියලු රටවැසියෝ විනාශයට පත්වූහයි වදාරා,

සත්‍ථා ඉමං අතීතං ආහරිත්‍වා අභිසම‍්බුද‍්ධො හුත්‍වා ඉමා ගාථා අවොච –

ශාස්තෲන් වහන්සේ මේ අතීත කථාව ගෙනහැර දක්වා අභිසම්බෝධියට පත්ව,

“ඉසීනමන‍්තරං කත්‍වා, භරුරාජාති මෙ සුතං; උච‍්ඡින‍්නො සහ රට‍්ඨෙහි, ස රාජා විභවඞ‍්ගතො.

ඉසීනමන්තරං කත්‍වා භරු රාජාති මෙසුතං, උච්ඡින්නො සහරට්ඨෙන සරාජා විභවං ගතො

“තස‍්මා හි ඡන්‍දාගමනං, නප‍්පසංසන‍්ති පණ‍්ඩිතා; අදුට‍්ඨචිත‍්තො භාසෙය්‍ය, ගිරං සච‍්චුපසංහිත”න‍්ති.

තස්මා හි ඡන්‍දාගමණං නප්පසං සන්ති පණ්ඩිතා, අදුට්ඨ විත්තො භාසෙය්‍ය ගිරං සච්චුප සංහිතං

යන ගාථා වදාළ සේක.

භරු රජතුමා සෘෂිවරුන්ට අනතුරක් කොට රාජ්‍යය සමග නැසෙමින් ඒ රජ විනාශයට ගියේයයි මා විසින් අසන ලදි.

ඒ නිසා ඡන්‍දයෙන් අගතිගාමීව ක්‍රියා කිරීම නුවණ ඇත්තෝ නොපසසත්. ද්වේෂයෙන් දූෂිත නොවූ සිත් ඇත්තා සත්‍යයෙන් යුතු වචන කියන්නේය.

තත්‍ථ අන‍්තරං කත්‍වාති ඡන්‍දාගතිවසෙන විවරං කත්‍වා. භරුරාජාති භරුරට‍්ඨෙ රාජා. ඉති මෙ සුතන‍්ති ඉති මයා පුබ‍්බෙ එතං සුතං. තස‍්මා හි ඡන්‍දාගමනන‍්ති යස‍්මා හි ඡන්‍දාගමනං ගන‍්ත්‍වා භරුරාජා සහ රට‍්ඨෙන උච‍්ඡින‍්නො, තස‍්මා ඡන්‍දාගමනං පණ‍්ඩිතා නප‍්පසංසන‍්ති. අදුට‍්ඨචිත‍්තොති කිලෙසෙහි අදූසිතචිත‍්තො හුත්‍වා. භාසෙය්‍ය ගිරං සච‍්චුපසංහිතන‍්ති සභාවනිස‍්සිතං අත්‍ථනිස‍්සිතං කාරණනිස‍්සිතමෙව ගිරං භාසෙය්‍ය. යෙ හි තත්‍ථ භරුරඤ‍්ඤො ලඤ‍්ජං ගණ‍්හන‍්තස‍්ස අයුත‍්තං එතන‍්ති පටික‍්කොසන‍්තා සච‍්චුපසංහිතං ගිරං භාසිංසු, තෙසං ඨිතට‍්ඨානං නාළිකෙරදීපෙ අජ‍්ජාපි දීපකසහස‍්සං පඤ‍්ඤායතීති.

එහි, අන්තරං කත්‍වා යනු ඡන්‍දයෙන් අගතියට යෑම් වශයෙන් විවරයක් (අනතුරක්, භේදයක්) කොට, භරු රාජා යනු භරු රටේ රජතුමා, ඉති මෙසුතං යනු මෙසේ මා විසින් පෙර වූ මේ සිද්ධිය අසන ලදි. තස්මා හි ඡන්‍දාගමණං යනු යම් හෙයකින් ඡන්‍දයෙන් අගතියට ගොස් රටවැසියන් සමග භරු රජතුමා නැසුනේද එහෙයින් ඡන්‍දයෙන් අගතියට යාම පණ්ඩිතයෝ නො පසසත්. අදුට්ඨ චිත්තො යනු කෙලෙස්වලින් දූෂ්‍ය නොවූ සිත් ඇතිව, භාසෙය්‍ය ගිරං සච්චුපසංහිතං යනු ස්වභාවය ඇසුරු කළ, අර්ථවත් වූ, කරුණු සහිත වූ ම වචන කියන්නේය. එහිදී භරු රජුගේ ඒ අල්ලස් ගැනීම අයුක්තියකියි යමෙක් ප්‍රතික්‍ෂේප කරමින් සත්‍යයෙන් යුත් වචන කීවාහුද පොල් දිවයිනේ (නාළිකෙර දීපයෙහි) ඔවුන් සිටි තැන අදත් දිවයින් දහසක් පෙනේයයි කියනු ලැබේ.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා “මහාරාජ, ඡන්‍දවසිකෙන නාම න භවිතබ‍්බං, ද‍්වෙ පබ‍්බජිතගණෙ කලහං කාරෙතුං න වට‍්ටතී”ති වත්‍වා ජාතකං සමොධානෙසි – “අහං තෙන සමයෙන ජෙට‍්ඨකඉසි අහොසි”න‍්ති, රාජා තථාගතස‍්ස භත‍්තකිච‍්චං කත්‍වා ගතකාලෙ මනුස‍්සෙ පෙසෙත්‍වා තිත්‍ථියාරාමං විද‍්ධංසාපෙසි, තිත්‍ථියා අප‍්පතිට‍්ඨා අහෙසුං.

බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා මහරජතුමනි! ඡන්‍දයෙන් අගතිගාමී නොවිය යුතුයි. පැවිද්දන් ලවා කලහ ඇතිකරවීම නොවටිනා දෙයක් යයි වදාරා ජාතක කථාව නිමවා වදාළ සේක. මම ඒ කාලයේ ප්‍රධාන සෘෂිවරයා වීමි. රජතුමා තථාගතයන් වහන්සේ දන් වළඳා වැඩිකල්හි මිනිසුන් යවා තීර්ථකාරාමය කඩා බිඳ දම්මවන ලදි. තීර්ථකයෝ පිහිටක් නැති අය වූහ.

භරුජාතකවණ‍්ණනා තතියා.