4. නෙරුජාතකවණ්ණනා 379 අට්ඨකථා
4. නෙරුජාතකවණ්ණනා (379)
4. නේරු ජාතකය (379)
කාකොලා කාකසඞ්ඝා චාති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො අඤ්ඤතරං භික්ඛුං ආරබ්භ කථෙසි. සො කිර සත්ථු සන්තිකෙ කම්මට්ඨානං ගහෙත්වා එකං පච්චන්තගාමං අගමාසි. මනුස්සා තස්ස ඉරියාපථෙ පසීදිත්වා තං භොජෙත්වා පටිඤ්ඤං ගහෙත්වා අරඤ්ඤෙ පණ්ණසාලං කත්වා තත්ථ වසාපෙසුං, අතිවිය චස්ස සක්කාරං කරිංසු. අථෙකෙ සස්සතවාදා ආගමංසු. තෙ තෙසං වචනං සුත්වා ථෙරස්ස වාදං විස්සජ්ජෙත්වා සස්සතවාදං ගහෙත්වා තෙසඤ්ඤෙව සක්කාරං කරිංසු. තතො උච්ඡෙදවාදා ආගමංසු තෙ සස්සතවාදං විස්සජ්ජෙත්වා උච්ඡෙදවාදමෙව ගණ්හිංසු. අථඤ්ඤෙ අචෙලකා ආගමිංසු. තෙ උච්ඡෙදවාදං විස්සජ්ජෙත්වා අචෙලකවාදං ගණ්හිංසු. සො තෙසං ගුණාගුණං අජානන්තානං මනුස්සානං සන්තිකෙ දුක්ඛෙන වසිත්වා වුත්ථවස්සො පවාරෙත්වා සත්ථු සන්තිකං ගන්ත්වා කතපටිසන්ථාරො “කහං වස්සංවුත්ථොසී”ති වුත්තෙ “පච්චන්තං නිස්සාය, භන්තෙ”ති වත්වා “සුඛං වුත්ථොසී”ති පුට්ඨො “භන්තෙ, ගුණාගුණං අජානන්තානං සන්තිකෙ දුක්ඛං වුත්ථොස්මී”ති ආහ. සත්ථා “භික්ඛු පොරාණකපණ්ඩිතා තිරච්ඡානයොනියං නිබ්බත්තාපි ගුණාගුණං අජානන්තෙහි සද්ධිං එකදිවසම්පි න වසිංසු, ත්වං අත්තනො ගුණාගුණං අජානනට්ඨානෙ කස්මා වසී”ති වත්වා තෙන යාචිතො අතීතං ආහරි.
‘කාකෝළා කාකසංඝා ච’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවාසය කරන සේක්, එක්තරා භික්ෂුවක අරබයා වදාළ සේක. ඒ භික්ෂුව බුදුරදුන් වෙතින් කමටහන් ගෙන, එක් පසල් ගමකට ගියේය. ඒ ගමේ මිනිස්සු තෙරුන්ගේ ඉරියව් කෙරෙහි පැහැදී, උන්වහන්සේට දානය පූජාකොට, එම ගමෙහි විසීමට උන්වහන්සේ පොරොන්දු කරවා ගත්හ. අනතුරුව එගම සමීපයෙහි වූ කැලයක පන්සලක් සෑදූ මිනිස්සු ඒ භික්ෂුව එහි නවත්වා ගත්හ. එපමණක් නොව මහත් සේ සත්කාර ද කළහ. එයින් ටික කලකට පස් ශාස්වතවාදී පිරිසක් ඒ ගමට පැමිණියහ. ගමේ මිනිස්සු ඔවුන්ගේ මතවාදය අසා, තෙරුන්ගේ දහම ප්‍රතික්ෂේප කොට, ශාස්වතවාදය වැළඳ ගත්හ. ඔවුන්ටම, ගමේ අය සත්කාර කරන්නට පටන් ගත්හ. තවත් කලකට පසු උච්ඡේදවාදී පිරිසක්, ඒ ගමට ම පැමිණියහ. එහිදී ද, මිනිස්සු පෙර පරිද්දෙන්ම පැරණි දහම ඉවත ලා, අලුත් දහම වැළඳ ගත්හ. ඉනුත් කලකට පසු අචේලක වාදයත්, එගමට පැමිණියේය. මිනිස්සු තිබූ දහම අතහැර, අචේලක වාදය පිළිගත්හ. මේ අතර ඉහත කී පන්සලේ වෙසෙන භික්ෂුව හොඳ-නරක තේරුම් ගැනීමට තරම් නුවණක් නොතිබූ ඒ මිනිසුන්ගේ සමීපයෙහි දුක සේ වස් කාලය ද, ගතකොට පවාරණයෙන් පසු බුදුරදුන් වෙත ගොස් උන්වහන්සේට නමස්කාර කොට, පිළිසඳර කතා නිමවා එකත්පසෙක වාඩිවිය. එවිට බුදුරජාණන් වහන්සේ ‘මහණ, ඔබ වස් විසුවේ කොහිදැ’යි විමසූ සේක. ‘ස්වාමීනි, මම ගුණාගුණ නො දන්නා මිනිසුන් වෙසෙන ගමක, දුකසේ වස් විසුවෙමැ’යි භික්ෂුව කීවේය. ‘මහණ, පැරණි පඬිවරු තිරිසන් ජාතියෙහි ඉපිද සිටියත්, ගුණාගුණ නොදන්නවුන් සමග එක් දවසක්වත් එකට නොවිසූහ’යි වදාළ බුදුරජාණන් වහන්සේ ‘මහණ, ඔබ තමාගේ ගුණ තේරුම් නොගන්නා පිරිසක් මැද, කුමට විසුවෙහිදැ’යි ප්‍රශ්නකොට, ඒ භික්ෂුවගේම අයැදුමෙන් මේ අතීත කථාව දේශනා කොට වදාළ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො සුවණ්ණහංසයොනියං නිබ්බත්ති, කනිට්ඨභාතාපිස්ස අත්ථි. තෙ චිත්තකූටපබ්බතෙ වසන්තා හිමවන්තපදෙසෙ සයංජාතසාලිං ඛාදන්ති. තෙ එකදිවසං තත්ථ චරිත්වා චිත්තකූටං ආගච්ඡන්තා අන්තරාමග්ගෙ එකං නෙරුං නාම කඤ්චනපබ්බතං දිස්වා තස්ස මත්ථකෙ නිසීදිංසු. තං පන පබ්බතං නිස්සාය වසන්තා සකුණසඞ්ඝා චතුප්පදා ච ගොචරභූමියං නානාවණ්ණා හොන්ති, පබ්බතං පවිට්ඨකාලතො පට්ඨාය තෙ සබ්බෙ තස්සොභාසෙන සුවණ්ණවණ්ණා හොන්ති. තං දිස්වා බොධිසත්තස්ස කනිට්ඨො තං කාරණං අජානිත්වා “කිං නු ඛො එත්ථ කාරණ”න්ති භාතරා සද්ධිං සල්ලපන්තො ද්වෙ ගාථා අභාසි –
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, බෝසත් තෙමේ ස්වර්ණහංස ජාතියෙහි ඉපදුණේය. මේ හංස රාජයාට බාල සොයුරෙක් ද විය. ඔවුහු ‘චිත්‍රකූට’ පර්වතය වාසභූමිය කොටගෙන වසමින්, හිමාල පෙදෙසෙහි ස්වයං ජාත හැල් වී ඇති බැවින්, එහි ගොස් ඒවා අනුභව කරති. එක් දිනක් කෑම අනුභවයට හිමාල පෙදෙසට ගිය ඒ හංසයෝ දෙදෙනා එහි සැරිසරා ආහාරද අනුභව කොට පෙරළා චිත්‍රකූට පර්වතයට පැමිණෙන අතරමගදී, අහම්බෙන් මෙන් එක් සුවිශේෂී පර්වතයක් දැක, එහි ගොස් ඒ මත හිඳගත්හ. මෙය ‘නේරු’ නම් වූ දඹරන් පර්වතයකි. මේ පර්වතය අවට වනපෙතෙහි විවිධ වර්ණ සහිත නා නා ස්වරූපයෙන් යුතු කුරුල්ලෝ ද, සාවෝ ද, වෙනත් සිවුපා වර්ග ද වෙසෙති. එහෙත් ඒ සියලු සත්ත්වයෝ පර්වතයට පැමිණිවිට, පර්වතයේ දීප්තියෙන් හැමදෙනාම රන්වන් වෙති. මේ බව දුටු බෝසත් හංසයාගේ බාල සොයුරා, ‘ඒ වෙනස කෙසේ වූවක්දැ’යි තේරුම් නොගෙන ‘ඊට හේතුව කුමක් විය හැකිදැ’යි සිය සොයුරා සමග කථා කරමින් මෙසේ කීය.
“කාකොලා කාකසඞ්ඝා ච, මයඤ්ච පතතං වරා; සබ්බෙව සදිසා හොම, ඉමං ආගම්ම පබ්බතං.
කාකොලා කාක සංඝාච මයඤ්ච පතකං වරා, සබ්බෙව සදිසා හොති ඉමං ආගම්ම පබ්බතං
වන කපුටෝ ද, කපුටු රංචු ද, පක්ෂීන්ට නායක වූ අපි ද, මේ පර්වතයට පැමිණ සියලු දෙනාම සමාන බවට පත් වෙමු.
“ඉධ සීහා ච බ්යග්ඝා ච, සිඞ්ගාලා ච මිගාධමා; සබ්බෙව සදිසා හොන්ති, අයං කො නාම පබ්බතො”ති.
2. මෙහිදී සිංහයෝ ද, ව්‍යාඝ්‍රයෝ ද, පහත් සතුන් වන සිවල්ලු යන සියලු දෙනා සමාන වෙති. මෙය කිනම් පර්වතයක්ද?
තත්ථ කාකොලාති වනකාකා. කාකසඞ්ඝාති පකතිකාකසඞ්ඝා ච. පතතං වරාති පක්ඛීනං සෙට්ඨා. සදිසා හොමාති සදිසවණ්ණා හොම.
මෙහි ‘කාකෝළා’ යනු ‘වන කපුටෝ’ය. ‘කාකසංඝා’ යනු ‘ප්‍රකෘති කාක සමූහයා ය. ‘පත්තං වරං’ යන ‘පක්ෂීන් අතුරෙන් උතුම් වූ’ යන අර්ථයි. ‘සදිසා හොම’ යනු ‘සමාන පැහැ ඇත්තේ වෙමු’ යන අර්ථයි.
තස්ස වචනං සුත්වා බොධිසත්තො තතියං ගාථමාහ –
සිය සොයුරාගේ ප්‍රකාශය ඇසූ බෝසත් හංසයා, ඊට පිළිතුරු වශයෙන් මෙසේ කීය.
“ඉමං නෙරූති ජානන්ති, මනුස්සා පබ්බතුත්තමං; ඉධ වණ්ණෙන සම්පන්නා, වසන්ති සබ්බපාණිනො”ති.
3. මිනිස්සු මේ උතුම් පර්වතය ‘නේරු’ (රන්) පර්වතය යැ යි කියා දනිති. මෙහි සියලු ප්‍රාණීහු වර්ණයෙන් පූර්ණත්වයට පැමිණ වසති.
තත්ථ ඉධ වණ්ණෙනාති ඉමස්මිං නෙරුපබ්බතෙ ඔභාසෙන වණ්ණසම්පන්නා හුත්වා.
මෙහි ‘ඉධ වණ්ණෙන’ යනු ‘මේ නේරු පර්වතයේ දිස්නයෙන්, වර්ණයෙහි පූර්ණත්වයට පැමිණ’ යන අර්ථයි.
තං සුත්වා කනිට්ඨො සෙසගාථා අභාසි –
ඒ අසා සිටි බෝසතුන්ගේ බාල සොයුරා වන හංසයා, නැවත මෙසේ කීය.
“අමානනා යත්ථ සියා, අන්තානං වා විමානනා; හීනසම්මානනා වාපි, න තත්ථ විසතිංවසෙ.
4. යම්තැනෙක සත්පුරුෂයන්ට අවමන් වන්නේ ද? බුහුමන් නොවන්නේ ද? හීනයන්ට සම්මාන ලැබෙන්නේද? එවැනි තැනක නො වසන්නේය.
“යත්ථාලසො ච දක්ඛො ච, සූරො භීරු ච පූජියා; න තත්ථ සන්තො වසන්ති, අවිසෙසකරෙ නරෙ.
5. යම්තැනෙක දක්ෂයා ද, අලසයා ද, වීරයා ද, බියසුල්ලා ද, පිදිය යුත්තෝ වෙත්ද? විශේෂයක් නැති, ඒ පර්වතයෙහි සත්පුරුෂයෝ නො වසති.
“නායං නෙරු විභජති, හීනඋක්කට්ඨමජ්ඣිමෙ; අවිසෙසකරො නෙරු, හන්ද නෙරුං ජහාමසෙ”ති.
6. මේ රන් පර්වතය, උත්තම-මධ්‍යම-පහත් යන මේ අය විභාග නොකරයි. එසේ විශේෂයක් නොකරන රන් පර්වතය ඒකාන්තයෙන් හැර දමමු.
තත්ථ පඨමගාථාය අයමත්ථො – යත්ථ සන්තානං පණ්ඩිතානං සීලසම්පන්නානං මානනස්ස අභාවෙන අමානනා අවමඤ්ඤනා ච අවමානවසෙන විමානනා වා හීනානං වා දුස්සීලානං සම්මානනා සියා, තත්ථ නිවාසෙ න වසෙය්ය. පූජියාති එතෙ එත්ථ එකසදිසාය පූජාය පූජනීයා හොන්ති, සමකං සක්කාරං ලභන්ති. හීනඋක්කට්ඨමජ්ඣිමෙති ජාතිගොත්තකුලප්පදෙසසීලාචාරඤාණාදීහි හීනෙ ච මජ්ඣිමෙ ච උක්කට්ඨෙ ච අයං න විභජති. හන්දාති වවස්සග්ගත්ථෙ නිපාතො. ජහාමසෙති පරිච්චජාම. එවඤ්ච පන වත්වා උභොපි තෙ හංසා උප්පතිත්වා චිත්තකූටමෙව ගතා.
මෙහි සිව්වැනි ගාථාවෙහි අර්ථය මෙසේය. යම්තැනෙක සත් පුරුෂයන්ට, පණ්ඩිතයන්ට, සිල්වතුන්ට බුහුමන් කිරීමක් නැති නිසා ද, අවමන් කිරීමක් වන නිසා ද, හීන වූ දුස්සීලයන්ට සම්මාන ලැබෙන නිසාද, එතැන වාසය නොකරන්නේය, යනුයි. මෙහි ‘පූජියා’ යනු ‘මොවුහු මෙහි සමාන තත්ත්වයෙන් පූජනීය වෙති. සමාන සත්කාර ලබති’ යන අර්ථයි. ‘හීනමුක්කට්ඨමජ්ඣිමෙ’ යනු ‘ජාති-ගෝත්‍ර-කුල ප්‍රදේශ-ශීල-ආචාර-ඥාන ආදිය මුල්කොට, පහත්-මධ්‍යම-උසස් වශයෙන් මේ පර්වතය සත්ත්වයන් ගැන බෙදීමක් නොකරයි’ යන අර්ථයි. ‘හන්ද’ යනු ‘ඒකාන්ත අර්ථයෙහි නිපාතයකි. ‘ඡහාමසෙති’ යනු ‘අත්හරිමු’ යන අර්ථයි. මෙසේ කියා හංසයෝ දෙදෙනාම, එතැනින් අහසට නැග චිත්‍රකූට පර්වතය බලා පියාඹා ගියහ.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා සච්චානි පකාසෙත්වා ජාතකං සමොධානෙසි, සච්චපරියොසානෙ සො භික්ඛු සොතාපත්තිඵලෙ පතිට්ඨහි. තදා කනිට්ඨහංසො ආනන්දො අහොසි, ජෙට්ඨකහංසො පන අහමෙව අහොසින්ති.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා, ජාතකය නිමවා වදාළ සේක. දේශනාව අවසානයේ දී, ඒ භික්ෂුව සෝවාන් ඵලයෙහි පිහිටියේය. එදා කණිටු හංසයා නම්, ආනන්ද තෙරණුවෝය. දෙටු හංසයා වූ කලී, ‘මම ම යැ’යි, බුදුරජාණන් වහන්සේ තමන්වහන්සේ දක්වා වදාළ සේක.