යෙදුමෙන් කියවන්න

2. මහාකපිජාතකවණ‍්ණනා 407 අට‍්ඨකථා

2. මහාකපිජාතකවණ‍්ණනා (407)

2. මහාකපි ජාතකය (407)

අත‍්තානං සඞ‍්කමං කත්‍වාති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො ඤාතත්‍ථචරියං ආරබ‍්භ කථෙසි. වත්‍ථු භද‍්දසාලජාතකෙ (ජා· 1.12.13 ආදයො) ආවි භවිස‍්සති. තදා පන ධම‍්මසභායං කථං සමුට‍්ඨාපෙසුං “ආවුසො, සම‍්මාසම‍්බුද‍්ධො ඤාතකානං අත්‍ථං චරතී”ති. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ “න, භික‍්ඛවෙ, ඉදානෙව, පුබ‍්බෙපි තථාගතො ඤාතීනං අත්‍ථං චරියෙවා”ති වත්‍වා අතීතං ආහරි.

‘අත්තානං සංකමං කත්‍වා’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථා වස්තුව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවසන සේක්, ඥාතීන්ට සැලකීමක් නිමිති කොටගෙන වදාළ සේක. මෙහි වර්තමාන කථා වස්තුව ‘භද්දසාල’ ජාතකයෙහි දැක්වේ. ඒ අනුව දම්සභාවට රැස්වූ භික්‍ෂූහු ‘ඇවැත්නි, බුදුරජාණන් වහන්සේ ඥාතීන් විෂයෙහි අර්ථ චර්යාවෙහි හැසිරුණු සේකැ’යි ඒ ගැන කථා කරමින් හුන්හ. ඒ අතර එතැනට වැඩි බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් සාකච්ඡා කළ කරුණු ඔවුන්ගෙන්ම අසා දැන, ‘මහණෙනි, තථාගත තෙමේ ඥාතීන්ට සංග්‍රහ කෙළේ දැන් පමණක් නොවේ. පෙර ද සංග්‍රහ කෙළේ ම යැ’යි වදාරා, මේ අතීත කථාව මෙසේ වදාළ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො කපියොනියං නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තො ආරොහපරිණාහසම‍්පන‍්නො ථාමබලූපෙතො පඤ‍්චහත්‍ථිබලපරිමාණො අසීතිසහස‍්සකපිගණපරිවුතො හිමවන‍්තපදෙසෙ වසති. තත්‍ථ ගඞ‍්ගාතීරං නිස‍්සාය සාඛාවිටපසම‍්පන‍්නො සන්‍දච‍්ඡායො බහලපත‍්තො පබ‍්බතකූටං විය සමුග‍්ගතො අම‍්බරුක‍්ඛො අහොසි “නිග්‍රොධරුක‍්ඛො”තිපි වදන‍්ති. තස‍්ස මධුරානි ඵලානි දිබ‍්බගන්‍ධරසානි මහන‍්තානි මහන‍්තකුම‍්භප‍්පමාණානි. තස‍්ස එකිස‍්සා සාඛාය ඵලානි ථලෙ පතන‍්ති, එකිස‍්සා සාඛාය ගඞ‍්ගාජලෙ, ද‍්වින‍්නං සාඛානං ඵලානි මජ‍්ඣෙ රුක‍්ඛමූලෙ පතන‍්ති. බොධිසත‍්තො කපිගණං ආදාය තත්‍ථ ඵලානි ඛාදන‍්තො “එකස‍්මිං කාලෙ ඉමස‍්ස රුක‍්ඛස‍්ස උදකෙ පතිතං ඵලං නිස‍්සාය අම‍්හාකං භයං උප‍්පජ‍්ජිස‍්සතී”ති උදකමත්‍ථකෙ සාඛාය එකඵලම‍්පි අනවසෙසෙත්‍වා පුප‍්ඵකාලෙ කළායමත‍්තකාලතො පට‍්ඨාය ඛාදාපෙති චෙව පාතාපෙති ච. එවං සන‍්තෙපි අසීතිවානරසහස‍්සෙහි අදිට‍්ඨං කිපිල‍්ලිකපුටපටිච‍්ඡන‍්නං එකං පක‍්කඵලං නදියං පතිත්‍වා උද‍්ධඤ‍්ච අධො ච ජාලං බන්‍ධාපෙත්‍වා උදකකීළං කීළන‍්තස‍්ස බාරාණසිරඤ‍්ඤො උද‍්ධංජාලෙ ලග‍්ගි. රඤ‍්ඤො දිවසං කීළිත්‍වා සායං ගමනසමයෙ කෙවට‍්ටා ජාලං උක‍්ඛිපන‍්තා තං දිස‍්වා “අසුකඵලං නාමා”ති අජානන‍්තා රඤ‍්ඤො දස‍්සෙසුං.

පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, අප බෝසත් තෙමේ වඳුරු ජාතියෙහි උපත ලැබ, නිසි වියට පත්ව ආරෝහ පරිණාහ දේහ විලාශයෙන් යුතුව, ශක්ති සම්පන්නව, ඇතුන් පස් දෙනෙකුගේ ජවයෙන් යුතුව, අසූදහසක් වඳුරන් පිරිවරන ලදුව හිමාල වනයෙහි වෙසේ. එහි ගංගා නදිය ඉවුරෙහි අතු-පතර විහිදුණු, පැතිරුණු සෙවන ඇති, කොළවලින් වැසුණු, පර්වත කූටයක් මෙන්, ඉහළට නැගුණු අඹ ගසක් විය. ඇතැමෙක් මෙය ‘නුග ගසෙකැ’යි කියති. ඒ කෙසේ වෙතත්ත මේ අඹ ගසේ මිහිරි රසැති ගෙඩි, දිව්‍යමය රසයෙන් හා සුවඳින් යුක්තය. එක ගෙඩියක් කළයක් තරම් වේ. ඒ අඹ ගසේ එක් අත්තක ගෙඩි ගොඩබිමට වැටේ. තවත් එකෙක ගෙඩි නදී ජලය මත වැටේ. අතු දෙකක ගෙඩි හරි මැද්දට එනම්, ගස මුලට වැටේ. බෝසත් තෙමේ වඳුරු රංචුවක් රැගෙන විත්, ඒ අඹ ගසේ ගෙඩි කමින් හුන් එක් දිනෙක ‘කවදා මුත් මේ ගසෙන් දියට වැටෙන අඹ ගෙඩියක් නිසා, අප හැමෝටම බියක් ඇතිවන්නේ යැ’යි කල්පනා කොට බලා. ගඟ දෙසට නැමුණු අත්තේ එකදු ගෙඩියක් වත් ඉතිරි නොකොට මල් කාලයේදී ම වඳුරන් ලවා විනාශ කරවයි. කඩල ඇටයක් තරම් වූ අඹ ගැටයක් වත් ඉතිරි නො කරවයි. කන්නට නොහැකි අඹගැට කඩා බිම හෙළන්නට සලස්වයි. මෙසේ ඇති කල්හි ද, දහස් ගණනක් වඳුරන්ට දැකගත නොහැකිව, දිමි ගොටුවලින් වැසී පැවති, එක් අඹ ගෙඩියක් ඉදී ජලයට වැටුණි. රටේ රජතුමා ඉඳහිට ගංගා දියේ ජල ස්නානය පිණිස පැමිණේ. එදා රජු එසේ නෑමට පැමිණි දවසකි. සිරිතක් වශයෙන් රජු නාන ස්ථානයට ඉහළින් හා පහළින් කෙවුළෝ (ධීවරයෝ) දැල් බඳිති. ඒ දියේ පා වී එන අපද්‍රව්‍ය රජුගේ සිරුර ස්පර්ශ කිරීම වළකාලීම සඳහාය. මෙසේ රජතුමා මුළු දවස පුරා ම ජලක්‍රීඩා කොට, සවස් කාලයෙහි පෙරළා නුවර බලා යන්නට සූදානම් විය. දැල් මුදන කෙවුළෝ දැලේ රැඳුණු විශාල අඹ ගෙඩිය දැක පුදුමට පත්වී, ‘එය කිනම් ඵලයක් දැ’යි නොදැන රජුට පෙන්වූහ.

රාජා “කිංඵලං නාමෙත”න‍්ති පුච‍්ඡි. “න ජානාම, දෙවා”ති. “කෙ ජානිස‍්සන‍්තී”ති? “වනචරකා, දෙවා”ති. සො වනචරකෙ පක‍්කොසාපෙත්‍වා තෙසං සන‍්තිකා “අම‍්බපක‍්ක”න‍්ති සුත්‍වා ඡුරිකාය ඡින්‍දිත්‍වා පඨමං වනචරකෙ ඛාදාපෙත්‍වා පච‍්ඡා අත‍්තනාපි ඛාදි, ඉත්‍ථාගාරස‍්සාපි අමච‍්චානම‍්පි දාපෙසි. රඤ‍්ඤො අම‍්බපක‍්කරසො සකලසරීරං ඵරිත්‍වා අට‍්ඨාසි. සො රසතණ‍්හාය බජ‍්ඣිත්‍වා තස‍්ස රුක‍්ඛස‍්ස ඨිතට‍්ඨානං වනචරකෙ පුච‍්ඡිත්‍වා තෙහි “හිමවන‍්තපදෙසෙ නදීතීරෙ”ති වුත‍්තෙ බහූ නාවාසඞ‍්ඝාටෙ බන්‍ධාපෙත්‍වා වනචරකෙහි දෙසිතමග‍්ගෙන උද‍්ධංසොතං අගමාසි. “එත‍්තකානි දිවසානී”ති පරිච‍්ඡෙදො න කථිතො, අනුපුබ‍්බෙන පන තං ඨානං පත්‍වා “එසො දෙව, රුක‍්ඛො”ති වනචරකා රඤ‍්ඤො ආචික‍්ඛිංසු. රාජා නාවං ඨපෙත්‍වා මහාජනපරිවුතො පදසා තත්‍ථ ගන‍්ත්‍වා රුක‍්ඛමූලෙ සයනං පඤ‍්ඤපාපෙත්‍වා අම‍්බපක‍්කානි ඛාදිත්‍වා නානග‍්ගරසභොජනං භුඤ‍්ජිත්‍වා නිපජ‍්ජි, සබ‍්බදිසාසු ආරක‍්ඛං ඨපෙත්‍වා අග‍්ගිං කරිංසු.

එවිට රජතුමා ‘මේ ගෙඩිය කුමක්දැ’යි කෙවුළන්ගෙන් ඇසුවේය. ‘දේවයන් වහන්ස, අපි නො දනිමු’ ‘කවුරු නම් මේ ගැන දනිත් ද?’ දේවයිනි, වැද්දෝ දනිති.’ ‘එසේනම් වැද්දන් මෙහි කැඳවවු යැ’යි රජතුමා නියෝග කෙළේය. වැද්දන් රජු වෙතට පැමිණි කල්හි, ඔවුන්ගෙන් අසා එය අඹ ගෙඩියක් බව දැනගත් රජතුමා වහා පිහියක් අතට ගෙන, අඹ ගෙඩිය කපා, පළමු කෑල්ල වැද්දන්ට කන්නට දුන්නේය. පසුව අඹ රසය විඳි රජතුමා අන්තඃපුර කාන්තාවන්ටද, ඇමතියන්ට ද, අඹ කන්නට දුන්නේය. ඒ අඹ ගෙඩියේ රසය, රජුගේ මුලු සිරුර පුරා පැතිර ගියේය. රස තෘෂ්ණාවෙහි බැඳුණු රජතුමා, ඒ අඹ ගස පිහිටි ස්ථානය වැද්දන්ගෙන් අසා, එය හිමාල පෙදෙසෙහි, මේ ගංගා නදියේ ම ඉවුරෙහි පිහිටි එකක් බව දැන, නැව් කිහිපයක් එකට සම්බන්ධ කොට, බැඳ, වැද්දන් මාර්ගෝපදේශකයන් කොටගෙන, ඔවුන් විස්තර කළ මගින් ගංදියේ උඩුගං බලා ගියේය. ගස පිහිටි තැන සම්බන්ධයෙන් විස්තර කිරීමේ දී, ‘මේ ගමනට මෙතෙක් දවස් ගත වේ යැ’යි වැද්දෝ රජුට නො කීහ. එහෙත් ගමනට දවස් කීපයක් ගතවිය. කෙසේ වුවත් අනුපිළිවෙලින් ගස ඇති තැනට පැමිණි පසු, වැද්දෝ, දේවයිනි, මේ ඒ අඹ ගස යැ’යි රජුට දැනුම් දුන්හ. නැවත එතැනම රැඳවූ රජතුමා මහජනයා පිරිවරාගෙන පයින්ම ගස ඇති තැනට ගොස්, ගස මුල යහනාවක් සකසවාගෙන, එහි හිඳ ඉදුණු අඹ ඇති තාක් අනුභව කොට, නොයෙක් රස ඇති වෙනත් බොජුන් ද වළඳා, එහිම වැද හොත්තේය. සියලු දිසාවන්හි ආරක්‍ෂක පුරුෂයන් රැකවල්හි යොදා තිබුණි. රාත්‍රී කාලයේ ආරක්ෂාව සඳහා විශාල ගිනිමැලයක් ද, ආරක්‍ෂක පුරුෂයෝ දැල්වූහ.

මහාසත‍්තො මනුස‍්සෙසු නිද‍්දං ඔක‍්කන‍්තෙසු අඩ‍්ඪරත‍්තසමයෙ පරිසාය සද‍්ධිං අගමාසි. අසීතිසහස‍්සවානරා සාඛාය සාඛං චරන‍්තා අම‍්බානි ඛාදන‍්ති. රාජා පබුජ‍්ඣිත්‍වා කපිගණං දිස‍්වා මනුස‍්සෙ උට‍්ඨාපෙත්‍වා ධනුග‍්ගහෙ පක‍්කොසාපෙත්‍වා “යථා එතෙ ඵලඛාදකා වානරා න පලායන‍්ති, තථා තෙ පරික‍්ඛිපිත්‍වා විජ‍්ඣථ, ස‍්වෙ අම‍්බානි චෙව වානරමංසඤ‍්ච ඛාදිස‍්සාමී”ති ආහ. ධනුග‍්ගහා “සාධූ”ති සම‍්පටිච‍්ඡිත්‍වා රුක‍්ඛං පරිවාරෙත්‍වා සරෙ සන‍්නය‍්හිත්‍වා අට‍්ඨංසු. තෙ දිස‍්වා වානරා මරණභයභීතා පලායිතුං අසක‍්කොන‍්තා මහාසත‍්තං උපසඞ‍්කමිත්‍වා “දෙව, ‘පලායනමක‍්කටෙ විජ‍්ඣිස‍්සාමා’ති රුක‍්ඛං පරිවාරෙත්‍වා ධනුග‍්ගහා ඨිතා, කිං කරොමා”ති පුච‍්ඡිත්‍වා කම‍්පමානා අට‍්ඨංසු. බොධිසත‍්තො “මා භායිත්‍ථ, අහං වො ජීවිතං දස‍්සාමී”ති වානරගණං සමස‍්සාසෙත්‍වා උජුකං උග‍්ගතසාඛං ආරුය‍්හ ගඞ‍්ගාභිමුඛං ගතසාඛං ගන‍්ත්‍වා තස‍්සා පරියන‍්තතො පක‍්ඛන්‍දිත්‍වා ධනුසතමත‍්තං ඨානං අතික‍්කම‍්ම ගඞ‍්ගාතීරෙ එකස‍්මිං ගුම‍්බමත්‍ථකෙ පතිත්‍වා තතො ඔරුය‍්හ “මමාගතට‍්ඨානං එත‍්තකං භවිස‍්සතී”ති ආකාසං පරිච‍්ඡින්‍දිත්‍වා එකං වෙත‍්තලතං මූලෙ ඡින්‍දිත්‍වා සොධෙත්‍වා “එත‍්තකං ඨානං රුක‍්ඛෙ බජ‍්ඣිස‍්සති, එත‍්තකං ආකාසට‍්ඨං භවිස‍්සතී”ති ඉමානි ද‍්වෙ ඨානානි වවත්‍ථපෙත්‍වා අත‍්තනො කටියං බන්‍ධනට‍්ඨානං න සල‍්ලක‍්ඛෙසි.

මෙසේ රජු ඇතුළු පිරිස නින්දට වැටුණු කල්හි, බෝසත් වඳුරු රාජයා සිය පිරිවරත් සමග මැදියම් රෑ අඹ ගස වෙත පැමිණියේය. අසූදහසක් වඳුරෝ අත්තෙන් අත්තට පනිමින් සිත් සේ, අඹ කන්නට පටන් ගත්හ. උන්ගේ ශබ්දයෙන් පිබිදුණු රජතුමා සඳඑළියෙන් වඳුරන් දැක, වහා මිනිසුන් නැගිටුවා දුනුවායන් කැඳවා ‘මිනිසුනි, මේ ගෙඩි කන වඳුරන් අතුරෙන් එකදු වඳුරෙකුටවත් පැන යන්නට බැරි වන ලෙසින් වට කොට විදිවු. හෙට අපි අඹත් සමග වඳුරු මස් කන්නෙමු’යි කීය. දුනුවායෝ ද ‘යහපතැ’යි පිළිගෙන, ගස වටකොට දුනුවලට ඊතල යොදා බලා සිටියහ. මේ දුටු වඳුරෝ මරණ බියෙන් බියපත්ව පලා යාමට මගක් නොදැක බෝසතුන් වෙත ගොස් ‘දේවයිනි, පලා යන වඳුරන් විද හෙළන්නෙමු’යි කියා දුනුවායෝ ගස පිරිවරා සිටිති. අපි දැන් කුමක් නම් කරමුදැ’යි අසා වෙවුලමින් බලා සිටියහ. උදා වී ඇති තත්ත්වය සැලකිල්ලට ගත්, බෝසත් වඳුරු රාජයා සෙසු වඳුරන් අමතා, ‘තෙපි කිසිසේත් බිය නො වවු. මම තොපට ජීවිත දානය ලබාදෙන්නෙමැ’යි, වඳුරන් අස්වසා, ගසේ මුදුනට විහිදුනු උසම අත්තට නැග, එතැනින් ගඟට නැමී තිබුණු අත්තට පැන ගත්තේය. එම අත්තෙහි කෙළවරටම ගිය වඳුරු රාජයා, දුන්නක උසින් දුනු සියයක් පමණ ඈතින් වූ ගඟෙන් එගොඩ පිහිටි ගස් ගොන්නක් මත්තට පැන, එතැනින් බිමට බැස, කල්පනා කරන්නට පටන් ගත්තේය. ‘අඹ අත්තේ සිට මේ ස්ථානයට පැමිණි දුර මෙපමණෙකි’යි, මෙසේ අහසේ ඇති දුර ප්‍රමාණය, තම සිතෙන් තීරණය කොටගත් වඳුරු රාජයා, එක් වේවැලක් මුලින් සිඳ එය මැනවින් පිරිසිදු කොටගෙන, ‘මේ වේවැලෙන් මෙතරම් ප්‍රමාණයක්, ගසේ බැඳීම සඳහා යන්නේය. අහසේ දුර ප්‍රමාණයට මෙතරම් ප්‍රමාණයක් සෑහෙන්නේ යැ’යි කියා, මේ ස්ථාන දෙක ගැන පමණක් සිතූ නමුත්, තමාගේ ඉඟටියෙහි බැඳීම සඳහා යන වේවැල් ප්‍රමාණය ගැන අමතක කෙළේය.

සො තං ලතං ආදාය එකං කොටිං ගඞ‍්ගාතීරෙ පතිට‍්ඨිතරුක‍්ඛෙ බන්‍ධිත්‍වා එකං අත‍්තනො කටියං බන්‍ධිත්‍වා වාතච‍්ඡින‍්නවලාහකො විය වෙගෙන ධනුසතමත‍්තං ඨානං ලඞ‍්ඝිත්‍වා කටියං බන්‍ධනට‍්ඨානස‍්ස අසල‍්ලක‍්ඛිතත‍්තා රුක‍්ඛං පාපුණිතුං අසක‍්කොන‍්තො උභොහි හත්‍ථෙහි අම‍්බසාඛං දළ‍්හං ගණ‍්හිත්‍වා වානරගණස‍්ස සඤ‍්ඤමදාසි “සීඝං මම පිට‍්ඨිං මද‍්දමානා වෙත‍්තලතාය සොත්‍ථිගමනං ගච‍්ඡථා”ති. අසීතිසහස‍්සවානරා මහාසත‍්තං වන්‍දිත්‍වා ඛමාපෙත්‍වා තථා අගමංසු. තදා දෙවදත‍්තොපි මක‍්කටො හුත්‍වා තෙසං අබ‍්භන‍්තරෙ හොති. සො “අයං මෙ පච‍්චාමිත‍්තස‍්ස පිට‍්ඨිං පස‍්සිතුං කාලො”ති උච‍්චං සාඛං ආරුය‍්හ වෙගං ජනෙත්‍වා තස‍්ස පිට‍්ඨියං පති. මහාසත‍්තස‍්ස හදයං භිජ‍්ජි, බලවවෙදනා උප‍්පජ‍්ජි. සොපි තං වෙදනාප‍්පත‍්තං කත්‍වා පක‍්කාමි. මහාසත‍්තො එකකොව අහොසි. රාජා අනිද‍්දායන‍්තො වානරෙහි ච මහාසත‍්තෙන ච කතකිරියං සබ‍්බං දිස‍්වා “අයං තිරච‍්ඡානො හුත්‍වා අත‍්තනො ජීවිතං අගණෙත්‍වා පරිසාය සොත්‍ථිභාවමෙව අකාසී”ති චින‍්තෙන‍්තො නිපජ‍්ජි.

අනතුරුව වේවැල අතට ගත් වඳුරා, එහි එක් කෙළවරක් නදියේ ඔබ්බෙන් පිහිටි කිසියම් ගසක බැඳ, අනෙක් කෙළවර තම ඉඟටියෙහි බැඳගෙන, මහත් වූ ජවයක් උපදවාගෙන, සුළඟින් වෙන් වුණු වලාකුළක් මෙන්, හුන් අත්තෙන් පැන, අඹ අත්ත අල්ලා ගත්තේය. වේවැලේ ඉඟටියෙහි බැඳීමට යන වේවැල් ප්‍රමාණය නො සලකා හැරි බැවින්, අඹ අත්තට ගොඩනැගීමට නොහැකි වූ වඳුරු රාජයා, අත්දෙකින් පමණක් අත්තෙහි එල්ලී සිටියේය. අනතුරුව සෙසු වඳුරන්ට සංඥා කොට ළඟට ගෙන්වා ගත් වඳුරු රාජයා, තමාගේ පිට පාගමින් ගොස්, වේවැල දිගේ එගොඩට යන ලෙස ඔවුනට දැනුම් දුන්නේය. අසූදහසක් වඳුරෝ බෝසතුන්ට වැඳ සමා කරවාගෙන, සැපසේ එගොඩ වූහ. එකල දේවදත්ත ද වඳුරෙක් ව වඳුරු රංචුවෙහි සිටියේය. මේ අවස්ථාව තදින් සිතට ගත් ඒ වඳුරා ‘මේ මාගේ පසමිතුරා පිටුදකින්නට සුදුසු වේලාව යැ’යි කල්පනා කොට, තමා සිටි අත්තෙන් ඉතා උඩින් පිහිටි අත්තක් මුදුනට නැග, මහත් වූ ජවය උපදවාගෙන, බෝසත් වඳුරාගේ පිට මැද්දට පැන්නේය. එම පහරින් බෝසතුන්ගේ හදවත දැදුරු විය. වේදනාව ඉතා බලවත් විය. පවිටු වඳුරා බෝසතුන්ට වේදනාව ඉතිරිකොට එගොඩට පැන ගත්තේය. බෝසත් වඳුරා එතැනම තනි විය. නොනිදා සියල්ල ගිනිමැලයෝ එළියෙන් ද, සඳඑළියෙන් ද, මැනවින් බලා සිටි රජතුමා, බෝසතුන් ගැන කල්පනා කොට ‘මේ වඳුරු රාජයා තිරිසන් සතෙක් වීත්, තමාගේ ජීවිතය ගණන් නොගෙන, තම පිරිසට යහපතක් ම කෙළේ නොවේ දැ’යි, සිතමින් වැද හොත්තේය.

සො පභාතාය රත‍්තියා මහාසත‍්තස‍්ස තුස‍්සිත්‍වා “න යුත‍්තං ඉමං කපිරාජානං නාසෙතුං, උපායෙන නං ඔතාරෙත්‍වා පටිජග‍්ගිස‍්සාමී”ති අන‍්තොගඞ‍්ගාය නාවාසඞ‍්ඝාටං ඨපෙත්‍වා තත්‍ථ අට‍්ටකං බන්‍ධාපෙත්‍වා සණිකං මහාසත‍්තං ඔතාරාපෙත්‍වා පිට‍්ඨියං කාසාවවත්‍ථං පත්‍ථරාපෙත්‍වා ගඞ‍්ගොදකෙන න‍්හාපෙත්‍වා ඵාණිතොදකං පායෙත්‍වා පරිසුද‍්ධසරීරං සහස‍්සපාකතෙලෙන අබ‍්භඤ‍්ජාපෙත්‍වා සයනපිට‍්ඨෙ එළකචම‍්මං සන්‍ථරාපෙත්‍වා සණිකං තත්‍ථ නිපජ‍්ජාපෙත්‍වා අත‍්තනා නීචෙ ආසනෙ නිසීදිත්‍වා පඨමං ගාථමාහ –

රාත්‍රිය පහන් වූ කල්හි, හිමිදිරි උදෑසන පිබිදුණු රජතුමා, බෝසතුන් ගැන අතිශයින් පැහැදී, ‘මේ වඳුරු රාජයාට මෙසේ මැරෙන්නට ඉඩ හැරීම අයුතු ය. එබැවින් කිසියම් උපායකින් ඔහු බස්සවාගෙන, පෝෂණය කරන්නෙමි’යි කල්පනා කොට, එකට බැඳි නැව් සමූහය, වඳුරා එල්ලී සිටි තැනට පහළින් නවත්වා, නැව මත අට්ටාලයක් බන්දවා, සෙමෙන් සෙමෙන් වඳුරා සිටි තැනින් මුදා පහතට ගෙන්වා ගත්තේය. කිසියම් සයනයක කසාවතක් එළා, ඒ මත තැබූ වඳුරාගේ ශරීරය, ගංගා ජලයෙන් පිරිසිදුකොට, වඳුරාට හකුරු පැන් පොවා, මුළු සිරුර පුරා, දහස් වතාවක් සිඳින ලද තෙල්වලින් පිරිමැද, යහන මත එළු සමක් එළා, ඒ මත වඳුරා හොවා, කිසියම් කුඩා ආසනයක් ගෙන්වාගෙන එහි වාඩි වූ රජතුමා වඳුරාට මෙසේ කීවේය.

“අත‍්තානං සඞ‍්කමං කත්‍වා, යො සොත්‍ථිං සමතාරයි; කිං ත්‍වං තෙසං කිමෙ තුය‍්හං, හොන‍්ති එතෙ මහාකපී”ති.

අත්තානං සඞ්කමං කත්‍වා - යො සොත්‍ථිං සමතාරයි, කිං ත්‍වං තෙසං - කිමො තුය්හං හොන්ති එතෙ මහාකපී

මහා වඳුරාණෙනි, යමෙක් ජීවිත පරිත්‍යාගයෙන් (වඳුරු රංචුව) සුවසේ එතෙර කරවීද? ඒ ඔබ උන්ගේ කවුද? ඔවුහු ඔබේ කවුරු වෙත්ද?

තස‍්සත්‍ථො – අම‍්භො මහාකපි, යො ත්‍වං අත‍්තානං සඞ‍්කමං කත්‍වා තුලං ආරොපෙත්‍වා ජීවිතං පරිච‍්චජිත්‍වා ඉමෙ වානරෙ සොත්‍ථිං සමතාරයි, ඛෙමෙන සන‍්තාරෙසි; කිං ත්‍වං තෙසං හොසි, කිමෙ තුය‍්හං වා කිංසු එතෙ හොන‍්තීති?

පින්වත් මහා වඳුරාණෙනි, ඒ ඔබ තම ජීවිතය ගණන් නොගෙන එනම්, තුලනය කොට බලා, ජීවිතය පරිත්‍යාග කොට, මේ වඳුරන් සුවසේ එතෙර කරවූයෙහිය. කිමෙක්ද? ඔබ ඔවුන්ගේ කවුද? ඔවුහු ඔබේ කවුරු වෙත්ද? යන අර්ථයි.

තං සුත්‍වා බොධිසත‍්තො රාජානං ඔවදන‍්තො සෙසගාථා අභාසි –

රජතුමාගේ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් බෝසත් වඳුරු රාජයා රජුට අවවාද වශයෙනුත් සමග මේ ගාථා ප්‍රකාශ කෙළේය.

“රාජාහං ඉස‍්සරො තෙසං, යූථස‍්ස පරිහාරකො; තෙසං සොකපරෙතානං, භීතානං තෙ අරින්‍දම.

2. රජතුමනි, ඔබට බිය වූ, ශෝකයෙන් පීඩාවට පත් වූ, ඒ (වඳුරු) රංචුව පරිහරණය කරන මම, උන්ගේ ප්‍රධානියා වන රජතුමා වෙමි.

“උල‍්ලඞ‍්ඝයිත්‍වා අත‍්තානං, විස‍්සට‍්ඨධනුනො සතං; තතො අපරපාදෙසු, දළ‍්හං බන්‍ධං ලතාගුණං.

3-4 ඒ මම තෙමේ ම දුනු සියයක් පමණ ඈතට පැන, පසුපස දෙපා සමීපයෙහි, (ඉඟටියෙහි) අඹරන ලද වැලක් දැඩි ව බැඳ එතැන් සිට, සුළඟින් වෙන්වුණු වලාකුළක් සේ නික්මුණේ (අඹ) ගසට පැන්නෙමි. (ගස අල්ලා ගන්නට) නොහැකි වූ මම, අත්වලින් එහි අත්තක් අල්ලා ගත්තෙමි.

“ඡින‍්නබ‍්භමිව වාතෙන, නුණ‍්ණො රුක‍්ඛං උපාගමිං; සොහං අප‍්පභවං තත්‍ථ, සාඛං හත්‍ථෙහි අග‍්ගහිං.

“තං මං වියායතං සන‍්තං, සාඛාය ච ලතාය ච; සමනුක‍්කමන‍්තා පාදෙහි, සොත්‍ථිං සාඛාමිගා ගතා.

5. අත්තෙන් හා වැලෙන් ඇදී සිටින ඒ මා, කකුල්වලින් පාගමින් වඳුරෝ සුවසේ නික්ම ගියහ.

“තං මං න තපතෙ බන්‍ධො, මතො මෙ න තපෙස‍්සති; සුඛමාහරිතං තෙසං, යෙසං රජ‍්ජමකාරයිං.

6. (වැලෙන් කළ) බැඳීම මා නො තවයි. මෙයින් සිදුවන මරණ වදය ද මා නො තවන්නේය. යම් පිරිසකට මම රජ කෙළෙමි ද? මා විසින් ඔවුහු සුවසේ මුදා හරින ලදහ.

“එසා තෙ උපමා රාජ, තං සුණොහි අරින්‍දම; රඤ‍්ඤා රට‍්ඨස‍්ස යොග‍්ගස‍්ස, බලස‍්ස නිගමස‍්ස ච; සබ‍්බෙසං සුඛමෙට‍්ඨබ‍්බං, ඛත‍්තියෙන පජානතා”ති.

7. සතුරන් දමනය කරන රජතුමනි, මෙය ඔබට උපමාවකි. එය අසනු මැනවි. මනා අවබෝධයක් ඇති ක්‍ෂත්‍රිය රජකු විසින් රටට ද, යෝග්‍ය හැමට ද, බල සේනාවන්ට ද, නියම් ගම්වලට ද, සියලු දෙනාට ද සැප සැලසිය යුතුය.

තත්‍ථ තෙසන‍්ති තෙසං අසීතිසහස‍්සානං වානරානං. භීතානං තෙති තව විජ‍්ඣනත්‍ථාය ආණාපෙත්‍වා ඨිතස‍්ස භීතානං. අරින්‍දමාති රාජානං ආලපති. රාජා හි චොරාදීනං අරීනං දමනතො “අරින්‍දමො”ති වුච‍්චති. විස‍්සට‍්ඨධනුනො සතන‍්ති අනාරොපිතධනුසතප‍්පමාණං ඨානං අත‍්තානං ආකාසෙ උල‍්ලඞ‍්ඝයිත්‍වා විස‍්සජ‍්ජෙත්‍වා තතො ඉමම‍්හා රුක‍්ඛා ලඞ‍්ඝයිත්‍වා ගතට‍්ඨානතො. අපරපාදෙසූති පච‍්ඡාපාදෙසු. ඉදං කටිභාගං සන්‍ධාය වුත‍්තං. බොධිසත‍්තො හි කටිභාගෙ තං ලතාගුණං දළ‍්හං බන්‍ධිත්‍වා පච‍්ඡිමපාදෙහි භූමියං අක‍්කමිත්‍වා විස‍්සජ‍්ජෙත්‍වා වාතවෙගෙන ආකාසං පක‍්ඛන්‍දි. නුණ‍්ණො රුක‍්ඛං උපාගමින‍්ති වාතච‍්ඡින‍්නං අබ‍්භමිව අත‍්තනො වෙගජනිතෙන වාතෙන නුණ‍්ණො. යථා වාතච‍්ඡින‍්නබ‍්භං වාතෙන, එවං අත‍්තනො වෙගෙන නුණ‍්ණො හුත්‍වා ඉමං අම‍්බරුක‍්ඛං උපාගමිං . අප‍්පභවන‍්ති සො අහං තත්‍ථ ආකාසප‍්පදෙසෙ රුක‍්ඛං පාපුණිතුං අප‍්පහොන‍්තො තස‍්ස රුක‍්ඛස‍්ස සාඛං හත්‍ථෙහි අග‍්ගහෙසින‍්ති අත්‍ථො.

මෙහි ‘තෙසං’ යනු ‘ඒ අසූදහසක් වඳුරන්ට’ යන අර්ථයි. භීතානං තෙ යනු ‘විදීමට අනකොට සිටි ඔබට බිය වූ’ යන අර්ථයි. ‘අරිදම’ යනුවෙන් රජු අමතයි. සොරුන් ආදී වූ සතුරන් දමනය කරන බැවින් රජුට අරින්දම යැයි කියනු ලැබේ. ‘විස්සට්ඨයිනූනෝ සතං’ යනු ‘නො නඟන ලද දුනු සියයක් පමණ දුර අහසෙහි, තෙමේ ම පැන, මිදී ගොස්, යන අර්ථයි. ‘තතො’ යනු ‘මේ ගසින් පැන, පිටත්ව ගිය තැනින්’, යන අර්ථයි. ‘අපරපාදෙසු’ යනු ‘පසුපස දෙපාවල, මෙය ඉඟටිය සඳහා කියන ලද්දකි’ යන අර්ථයි. බෝසත් තෙමේ ඒ අඹරන ලද වේවැල සිය කටී පෙදෙසෙහි දැඩිව බැඳ පසුපස පාවලින් පොළවට ඇන, එතැනින් මිදී වාත වේගයෙන් අහසට පැන්නේය’ යන අර්ථයි. ‘නුණ්ණො රුක්ඛං උපාගමිං’ යනු සුළඟන් කැඩුණු වලාකුළක් මෙන්, තමාගේ ජව වේගයෙන් වෙන්ව ගොස්, එනම්, සුළං පහරින් වෙන් කරන ලද වලාකැටියක් මෙන්, ඒ අඹගසට පැමිණියෙමි’ යන අර්ථයි. ‘අප්පභවං’ යනු ඒ මම ඒ අහස් පෙදෙසෙහි, ගසට පැන ගැනීමට නොහැකිව, ඒ ගසේ අත්තක් දෑතින් අල්ලා ගත්තෙමි’ යන අර්ථයි.

වියායතන‍්ති රුක‍්ඛසාඛාය ච වෙත‍්තලතාය ච වීණාය භමරතන‍්ති විය විතතං ආකඩ‍්ඪිතසරීරං. සමනුක‍්කමන‍්තාති මයා අනුඤ‍්ඤාතා මං වන්‍දිත්‍වා පාදෙහි අනුක‍්කමන‍්තා නිරන‍්තරමෙව අක‍්කමන‍්තා සොත්‍ථිං ගතා. තං මං න තපතෙ බන්‍ධොති තං මං නාපි සො වල‍්ලියා බන්‍ධො තපති, නාපි ඉදානි මරණං තපෙස‍්සති. කිංකාරණා? සුඛමාහරිතං තෙසන‍්ති යස‍්මා යෙසං අහං රජ‍්ජමකාරයිං, තෙසං මයා සුඛමාහරිතං. එතෙ හි “මහාරාජ, අයං නො උප‍්පන‍්නං දුක‍්ඛං හරිත්‍වා සුඛං ආහරිස‍්සතී”ති මං රාජානං අකංසු. අහම‍්පි “තුම‍්හාකං උප‍්පන‍්නං දුක‍්ඛං හරිස‍්සාමි”ච‍්චෙව එතෙසං රාජා ජාතො. තං අජ‍්ජ මයා එතෙසං මරණදුක‍්ඛං හරිත්‍වා ජීවිතසුඛං ආහටං, තෙන මං නාපි බන්‍ධො තපති, න මරණවධො තපෙස‍්සති.

‘වියායතං’ යනු වීණාවක බමර තත මෙන්, ගසේ අත්තෙන් ද, මේ වැලෙන් ද දෙපසට අදින ලද ශරීර ඇතිව’ යන අර්ථයි. ‘සමනුක්කමන්තා’ යනු ‘මා විසින් අනුදන්නා ලදුව, මට වැඳ සමා කරවාගෙන, පාවලින් මගේ ඇඟ පාගා ගෙන, නිරතුරුව පාගමින් සුව සේ ගියාහු ය.’ යන අර්ථයි. ‘තං මං න නපතෙ බන්‍ධො’ යනු ‘ඒ වේවැල් බැඳුම මා නොතවයි. දැන් මේ මරණයත් මා නොතවන්නේය. කුමක් නිසාද? මම යම් කෙනෙකුන්ට රජකම් කෙළෙම්ද? මා විසින් ඔවුහු සුව සේ එතෙර කරන ලදහ. ඒ නිසාය. මහරජතුමනි, මේ තැනැත්තා අපට ඇති වූ දුක දුරුකොට, සැප ගෙන දෙන්නේ යැ’යි, ඔවුහු මා ඔවුන්ගේ රජතුමා බවට පත් කළහ. මමද ‘තොපට උපන් දුක දුරු කරන්නෙමි’යි යන හැඟීමෙන්ම, ඔවුන්ගේ රජතුමා බවට පත් වූයෙමි. අද මා විසින් ඔවුන්ගේ මරණ දුක මගහරවා ජීවිත සුවය ඔවුන්ට ලබාදෙන ලදි. එබැවින් මේ බන්‍ධනය මා නොතවයි. මේ මරණ වධය ද මා නොතවන්නේය’ යන අර්ථයි.

එසා තෙ උපමාති එසා තෙ මහාරාජ, මයා කතකිරියාය උපමා. තං සුණොහීති තස‍්මා ඉමාය උපමාය සංසන්‍දෙත්‍වා අත‍්තනො දිය්‍යමානං ඔවාදං සුණාහි. රඤ‍්ඤා රට‍්ඨස‍්සාති මහාරාජ, රඤ‍්ඤා නාම උච‍්ඡුයන‍්තෙ උච‍්ඡුං විය රට‍්ඨං අපීළෙත්‍වා චතුබ‍්බිධං අගතිගමනං පහාය චතූහි සඞ‍්ගහවත්‍ථූහි සඞ‍්ගණ‍්හන‍්තෙන දසසු රාජධම‍්මෙසු පතිට‍්ඨාය මයා විය අත‍්තනො ජීවිතං පරිච‍්චජිත්‍වා “කින‍්තිමෙ රට‍්ඨවාසිනො විගතභයා ගිම‍්හකාලෙ විවටද‍්වාරෙ ඤාතීහි ච පරිවාරකෙහි ච පරිවාරිතා උරෙ පුත‍්තෙ නච‍්චෙන‍්තා සීතෙන වාතෙන බීජියමානා යථාරුචි අත‍්තනො අත‍්තනො සන‍්තකං පරිභුඤ‍්ජන‍්තා කායිකචෙතසිකසුඛසමඞ‍්ගිනො භවෙය්‍යු”න‍්ති සකලරට‍්ඨස‍්ස ච රථසකටාදියුත‍්තවාහනස‍්ස යොග‍්ගස‍්ස ච පත‍්තිසඞ‍්ඛාතස‍්ස බලස‍්ස ච නිගමජනපදසඞ‍්ඛාතස‍්ස නිගමස‍්ස ච සබ‍්බෙසං සුඛමෙව එසිතබ‍්බං ගවෙසිතබ‍්බන‍්ති අත්‍ථො. ඛත‍්තියෙන පජානතාති ඛෙත‍්තානං අධිපතිභාවෙන “ඛත‍්තියො”ති ලද‍්ධනාමෙන පන එතෙන අවසෙසසත‍්තෙ අතික‍්කම‍්ම පජානතා ඤාණසම‍්පන‍්නෙන භවිතබ‍්බන‍්ති.

‘එසා තෙ උපමා’ යනු ‘මහරජතුමනි, මේ මා විසින් කළ ක්‍රියාව ඔබට කදිම උපමාවකි.’ යන අර්ථයි. ‘තං සුණොහි’ යනු ‘එබැවින් මේ උපමාව සසඳා බලා තමාට දෙනු ලබන අවවාද අසනු මැනව’ යන අර්ථයි. ‘රඤ්ඤා රට්ඨස්ස’ යනු ‘මහරජතුමනි, රජකු විසින් උක් යන්ත්‍රයක උක් අඹරන්නාක් මෙන්, රුට නොපෙළා, සතර අගතියෙන් වෙන්ව, සතර සංග්‍රහ වස්තුවෙන් ජනයාට සංග්‍රහ කරමින්, දසරාජ ධර්මයන්හි පිහිටා, මා මෙන් ස්වකීය ජීවිතය පරිත්‍යාග කොට හෝ, ‘කිමෙක්ද? මාගේ රටවැස්සෝ බියෙන් තොරව, ග්‍රීෂ්ම කාලයෙහි විවර කරන ලද දොරවල් ඇතිව, නෑයින්ගෙන් හා පිරිවර ජනයාගෙන් පිරිවරන ලදුව, සිය පපුව මත තම දරුවන් නළවමින්, සිසිල් සුළං පවන් සලමින්, හිතේ හැටියට තමා සන්තක දේ පරිභෝග කරමින්, කායික හා චෛතසික සුවය විඳිමින් ජීවත් වන්නාහුදැ’යි මුළු රට ගැන ද රථ-වාහන-ගැල් ආදියෙහි යොදන සතුන් ගැන ද, පාබල සේනා ආදි වූ බලසේනා ගැන ද, ගම්-නියම්ගම්-ජනපද ආදිය ගැනද, සියලු දෙනාගේ ම, සැප ගැන සෙවිය යුතුයු. පරීක්‍ෂා කර බැලිය යුතුය’ යන අර්ථයි. ‘ඛත්තියෙන පජානතා’ යනු කෙත්වලට අධිපති බැවින්, ක්‍ෂත්‍රිය යන නම ලැබූ රජු විසින්, සෙසු ජනයා ඉක්මවා අවබෝධයෙන්, පරිපූර්ණ ඥානයෙන් යුක්ත විය යුතුය’, යන අර්ථයි.

එවං මහාසත‍්තො රාජානං ඔවදන‍්තො අනුසාසන‍්තොව කාලමකාසි. රාජා අමච‍්චෙ පක‍්කොසාපෙත්‍වා “ඉමස‍්ස කපිරාජස‍්ස රාජූනං විය සරීරකිච‍්චං කරොථා”ති වත්‍වා ඉත්‍ථාගාරම‍්පි ආණාපෙසි “තුම‍්හෙ රත‍්තවත්‍ථනිවත්‍ථා විකිණ‍්ණකෙසා දණ‍්ඩදීපිකහත්‍ථා කපිරාජානං පරිවාරෙත්‍වා ආළාහනං ගච‍්ඡථා”ති. අමච‍්චා දාරූනං සකටසතමත‍්තෙන චිතකං කරිත්‍වා රාජූනං කරණනියාමෙනෙව මහාසත‍්තස‍්ස සරීරකිච‍්චං කත්‍වා සීසකපාලං ගහෙත්‍වා රඤ‍්ඤො සන‍්තිකං අගමංසු. රාජා මහාසත‍්තස‍්ස ආළාහනෙ චෙතියං කාරෙත්‍වා දීපෙ ජාලාපෙත්‍වා ගන්‍ධමාලාදීහි පූජෙත්‍වා සීසකපාලං සුවණ‍්ණඛචිතං කාරෙත්‍වා කුන‍්තග‍්ගෙ ඨපෙත්‍වා පුරතො කත්‍වා ගන්‍ධමාලාදීහි පූජෙන‍්තො බාරාණසිං ගන‍්ත්‍වා අන‍්තොරාජද‍්වාරෙ ඨපෙත්‍වා සකලනගරං සජ‍්ජාපෙත්‍වා සත‍්තාහං ධාතුපූජං කාරෙසි. අථ නං ධාතුං ගහෙත්‍වා චෙතියං කාරෙත්‍වා යාවජීවං ගන්‍ධමාලාදීහි පූජෙත්‍වා බොධිසත‍්තස‍්ස ඔවාදෙ පතිට‍්ඨාය දානාදීනි පුඤ‍්ඤානි කරොන‍්තො ධම‍්මෙන රජ‍්ජං කාරෙත්‍වා සග‍්ගපරායණො අහොසි.

මෙසේ බෝසත් තෙමේ රජුට ඔවදන් දී, අනුශාසනා කරමින්ම කලුරිය කෙළේය. රජතුමා ඇමැතියන් කැඳවා, ‘පුරුෂයෙනි, මේ වඳුරු රාජයාට රජකුට මෙන්, ආදාහන කටයුතු කරවු’යැයි, නියෝග කොට අන්තඃපුර ස්ත්‍රීන්ට ද කථාකොට ‘තෙපි රතු වත් හැඳ, කෙස් විසුරුවාගෙන අත්වල පන්දම් දරා, වඳුරු රාජයා පිරිවරා ආදාහන මලුවට යවු’යැයි, අණ කෙළේය. ඇමැතිවරු ගැල් සියයක් පමණ දර එකතුකොට, මහත් වූ චිතකයක් සාදා රජකුමට කරන ආකාරයෙන් බෝසතුන්ගේ ආදාහන කටයුතු සිදුකොට, හිස් කබල වෙන් කොටගෙන, රජු සමීපයට ගියහ. රජතුමා බෝසතුන් වෙනුවෙන්, ඒ ආදාහන මලුවෙහි සෑයක් ද කරවා, එහි පහන් දල්වා තබා, සුවඳ මල් ආදියෙන් පුදා හිස්කබල රනින් ආලේප කරවා, එය කුන්තායුධයෙහි රඳවා, එය පෙරටුකොට ගෙන, සුවඳ-මල්වලින් පුද සත්කාර කරමින්, බරණැසට ගෙන ගොස්, රාජකීය ද්වාරයෙහි ඇතුල් පැත්තෙහි කුන්තායුධය සිටුවා තබා, මුළු නුවරම සරසවා සතියක් පුරා පූජා පැවැත්වීය. ඉක්බිති ඒ හිස් කබල ගෙන චෛත්‍යයක් කරවා, දිවි ඇති තෙක්, සුවඳ-මල් ආදියෙන් පුදමින්, කටයුතු කළ රජතුමා බෝසතුන්ගේ අවවාදයෙහි පිහිටා, දානාදී පින්කම් කොට, දැහැමින් රාජ්‍යය විචාරා ජීවත්ව සිට, දිවි කෙළවර මියගොස් දෙව්ලොව උපන්නේය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා සච‍්චානි පකාසෙත්‍වා ජාතකං සමොධානෙසි – “තදා රාජා ආනන්‍දො අහොසි, දුට‍්ඨකපි දෙවදත‍්තො, පරිසා බුද‍්ධපරිසා, කපිරාජා පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා, සත්‍යය ප්‍රකාශකොට, ජාතකය නිමවා වදාළ සේක. එදා රජතුමා නම්, ආනන්ද තෙරණුවෝය. දුෂ්ට වඳුරා නම් දේවදත්තය. පිරිස බුදු පිරිසය. වඳුරු රාජයා වූ කලී, ‘මම ම යැ’යි බුදුරජාණන් වහන්සේ, තමන් වහන්සේ දක්වා වදාළ සේක.

මහාකපිජාතකවණ‍්ණනා දුතියා.