යෙදුමෙන් කියවන්න

ගොධිකත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

ගොධිකත්‍ථෙරගාථාවණ‍්ණනා

ගෝධික ස්ථවිරගාථා වර්ණනාව

වස‍්සති දෙවොතිආදිකා චතස‍්සො – ගොධිකො, සුබාහු, වල‍්ලියො, උත‍්තියොති ඉමෙසං චතුන‍්නං ථෙරානං ගාථා. කා උප‍්පත‍්ති? ඉමෙපි පුරිමබුද‍්ධෙසු කතාධිකාරා තත්‍ථ තත්‍ථ භවෙ පුඤ‍්ඤානි උපචිනන‍්තා ඉතො චතුනවුතෙ කප‍්පෙ සිද‍්ධත්‍ථස‍්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පත්‍වා අඤ‍්ඤමඤ‍්ඤං සහායා හුත්‍වා විචරිංසු. තෙසු එකො සිද‍්ධත්‍ථං භගවන‍්තං පිණ‍්ඩාය චරන‍්තං දිස‍්වා කටච‍්ඡුභික‍්ඛං අදාසි. දුතියො පසන‍්නචිත‍්තො හුත්‍වා පඤ‍්චපතිට‍්ඨිතෙන වන්‍දිත්‍වා අඤ‍්ජලිං පග‍්ගණ‍්හි. තතියො පසන‍්නචිත‍්තො එකෙන පුප‍්ඵහත්‍ථෙන භගවන‍්තං පූජෙසි. චතුත්‍ථො සුමනපුප‍්ඵෙහි පූජමකාසි. එවං තෙ සත්‍ථරි චිත‍්තං පසාදෙත්‍වා පසුතෙන තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවලොකෙ නිබ‍්බත‍්තිත්‍වා පුන අපරාපරං පුඤ‍්ඤානි කත්‍වා දෙවමනුස‍්සෙසු සංසරන‍්තො කස‍්සපස‍්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ‍්බත‍්තිත්‍වා සහායකා හුත්‍වා සාසනෙ පබ‍්බජිත්‍වා සමණධම‍්මං කත්‍වා අම‍්හාකං භගවතො කාලෙ පාවායං චතුන‍්නං මල‍්ලරාජානං පුත‍්තා හුත්‍වා නිබ‍්බත‍්තිංසු. තෙසං ගොධිකො, සුබාහු, වල‍්ලියො, උත‍්තියොති නාමානි අකංසු. අඤ‍්ඤමඤ‍්ඤං පියසහායා අහෙසුං. තෙ කෙනචිදෙව කරණීයෙන කපිලවත්‍ථුං අගමංසු. තස‍්මිඤ‍්ච සමයෙ සත්‍ථා කපිලවත්‍ථුං ගන‍්ත්‍වා නිග්‍රොධාරාමෙ වසන‍්තො යමකපාටිහාරියං දස‍්සෙත්‍වා සුද‍්ධොදනප‍්පමුඛෙ සක්‍යරාජානො දමෙසි. තදා තෙපි චත‍්තාරො මල‍්ලරාජපුත‍්තා පාටිහාරියං දිස‍්වා ලද‍්ධප‍්පසාදා පබ‍්බජිත්‍වා විපස‍්සනාකම‍්මං කරොන‍්තා නචිරස‍්සෙව සහ පටිසම‍්භිදාහි අරහත‍්තං පාපුණිංසු. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 1.11.1-23) –

“වස්සති දෙවො” යනාදී ගාථා සතර ගෝධික, සුබාහු, වල්ලිය හා උත්තිය යන මේ සතර තෙරවරුන්ගේ ගාථාවෝ ය. ඒවායේ උපත කෙසේ සිදුවී ද? මොවුහු සිව් තෙරවරු ම පූර්‍ව බුදුවරු හමුවෙහි දී කළ ප්‍රාර්ථනා ඇතිව, ඒ ඒ භවයෙහි දී අපමණ පුණ්‍යසම්පත්තීන් රැස්කරගෙන, මෙයින් කල්ප අනූ හතරකට පෙර සිද්ධත්‍ථ භාග්‍යවතුන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි සිටුගෙවල්වල උපන්හ. වියපත් ඒ සතර දෙන ඔවුනොවුන් යහළු මිත්‍ර ව එකට හැසිරුණහ. ඔවුන්ගෙන් එක් අයෙක් සිද්ධත්‍ථ භාග්‍යවතුන් වහන්සේ පිඬුපිණිස හැසිරෙනු දැක සැන්දක් පුරවා භික්‍ෂාව පිළිගැන්වීය. දෙවැන්නා පහන් සිතින් උන්වහන්සේට පසඟ පිහිටුවා වැන්දේය. වැඳ ඇඳිලිබැඳගෙන සිටියේ ය. තෙවැන්නා පහන් සිතින් එක් මල් මිටකින් භාග්‍යවතුන් වහන්සේ පිදුවේය. සිවුවැන්නා සමන් මලින් බුදුරදුන් පිදුවේය. මෙසේ ඒ සිවු දෙනම ශාස්තෲන් වහන්සේ කෙරෙහි සිත පහදවා රැස් කරගත් ඒ පුණ්‍යරාශියේ විපාක වශයෙන් දෙව් ලොව උපන්හ. පසුව ඒ ඒ භවයන්හි දී තව තවත් පින්දහම් රැස් කරගත් ඔවුහු දෙව් මිනිසුන් අතර සැරි සරා, කාශ්‍යප බුදුරදුන්ගේ කාලයෙහි සිටු කුලයේ ඉපිද, එක්වම ගොස් පැවිදිව මහණදම් පිරූහ. පසුව අපගේ බුදුරජාණන් වහන්සේ පහළ වූ සමයෙහි මල්ල රජවරු සිවුදෙනෙකුගේ පුතුන් ව ඉපදුණු ඔවුහු, ගෝධික, සුබාහු, වල්ලිය හා උත්තිය නාමයෙන් ප්‍රකට වූහ. ඔවුනොවුන් දැඩිසේ මිත්‍රව විසූ ඒ සතර දෙන කිසියම් කටයුත්තකට කපිලවස්තුවට ගියහ. එ සමයේ ශාස්තෲන් වහන්සේ කපිලවස්තුවට වැඩමවා නිග්‍රෝධාරාමයේ වැඩ වසමින්, යමක මහා ප්‍රාතිහාර්ය දක්වා සුදොවුන් ප්‍රමුඛ ශාක්‍ය රාජ කුල රජදරුවෝ දමනය කළසේක. එ දින මල්ල රජදරුවෝ සතර දෙන එම ප්‍රාතිහාර්ය දැකීමෙන් ලැබූ ශ්‍රද්ධාවෙන් සසුනේ පැවිදි ව විදසුන් කර්මස්ථාන වඩන්නාහු නොබෝ කලකින් ම සිවුපිළිසිඹියාපත් මහරහත් භාවය ලබාගත්හ. එම තෙරවරු සිවුදෙන තම චරිතාපදාන මෙසේ දැක්වූහ -

“සුවණ‍්ණවණ‍්ණං සම‍්බුද‍්ධං, ආහුතීනං පටිග‍්ගහං; පවරා අභිනික‍්ඛන‍්තං, වනා නිබ‍්බනමාගතං.

“මම රන්වන් වූ ලෝකයාගේ පූජාවන් ලබන්නා වූ පූජාවන්ට ගෙයක් වැනි වූ වන ලැහැබින් නික්මුණු තණ්හාව ක්‍ෂය කර, ප්‍රඥාවෙන් උපශාන්ත වූ බුදුරජාණන් වහන්සේ දුටුවෙමි.

“කටච‍්ඡුභික‍්ඛං පාදාසිං, සිද‍්ධත්‍ථස‍්ස මහෙසිනො; පඤ‍්ඤාය උපසන‍්තස‍්ස, මහාවීරස‍්ස තාදිනො.

තාදී ගුණ ඇති මහාවීර වූ ඒ සිද්ධත්‍ථ බුදුරජාණන් වහන්සේට මම සැන්දක් පමණ භික්‍ෂාව පිදුවෙමි.

“පදෙනානුපදායන‍්තං, නිබ‍්බාපෙන‍්තෙ මහාජනං; උළාරා විත‍්ති මෙ ජාතා, බුද‍්ධෙ ආදිච‍්චබන්‍ධුනෙ.

සූර්‍ය්‍ය බන්‍ධු වූ බුදුරජාණන් වහන්සේ පියවරින් පියවර ලුහුබැඳ යන මහජනකාය දහම් වැස්සෙන් නිවන කල් හි මට මහත් වූ ප්‍රීතියක් ඇතිවිය.

“චතුන‍්නවුතිතො කප‍්පෙ, යං දානමදදිං තදා; දුග‍්ගතිං නාභිජානාමි, භික‍්ඛාදානස‍්සිදං ඵලං.

මීට කල්ප අනූ හතරකට පෙර යම් දානයක් පූජා කළෙම් ද මේ දක්වා ම දුගතියෙහි නූපන්නෙමි. භික්‍ෂාදානයේ විපාකය මෙවැනිය.

“සත‍්තාසීතිම‍්හිතො කප‍්පෙ, මහාරෙණුසනාමකා; සත‍්තරතනසම‍්පන‍්නා, සත‍්තෙතෙ චක‍්කවත‍්තිනො.

මෙයින් කල්ප අසූ හතකට පෙර සත්රුවනින් හෙබි මහාරේණු නම් සක්විති රජවරු සත් දෙනෙක්ව උපන්නෙමි.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

මවිසින් දැන් සියලු කෙලෙස් දවන ලදි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”

මේ ගෝධික ථේර චරිතාපදානයයි.

ගොධිකො ථෙරො.

1.6.2

“සුවණ‍්ණවණ‍්ණං සම‍්බුද‍්ධං, නිසභාජානියං යථා; තිධාපභින‍්නං මාතඞ‍්ගං, කුඤ‍්ජරංව මහෙසිනං.

“රන්වන් වූ ශරීර ඇති උතුම් ආජානීයයකු වැනි ශ්‍රේෂ්ඨ වූ ත්‍රිමද ගලිත මාතංග නම් ඇත් කුලයේ උපන් ශ්‍රේෂ්ඨ ඇත් රජෙකු බඳු වූ මහර්ෂී වූ පුන්සඳ මෙන් සියලු දිශා බබුළුවන ලෝක ජ්‍යෙෂ්ඨ වූ වීථියට පිළිපන්නා වූ සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේ දුටු මම, ඒ උතුමන් වහන්සේගේ නුවණෙහි සිත පහදවා, ඇඳිලි බැඳ සොම්නස් වූයෙම් පහන් සිතින් උන්වහන්සේට පසඟ පිහිටුවා වැන්දෙමි.

“ඔභාසෙන‍්තං දිසා සබ‍්බා, උළුරාජංව පූරිතං; රථියං පටිපජ‍්ජන‍්තං, ලොකජෙට‍්ඨං අපස‍්සහං.

“ඤාණෙ චිත‍්තං පසාදෙත්‍වා, පග‍්ගහෙත්‍වාන අඤ‍්ජලිං; පසන‍්නචිත‍්තො සුමනො, සිද‍්ධත්‍ථමභිවාදයිං.

“චතුන‍්නවුතිතො කප‍්පෙ, යං කම‍්මමකරිං තදා; දුග‍්ගතිං නාභිජානාමි, ඤාණසඤ‍්ඤායිදං ඵලං.

මෙයින් කල්ප අනූහතරකට පෙර කරන ලද ඒ පින්කමේ බලයෙන් මේ දක්වා මම දුගතියකට නොගියෙමි. බුද්ධ ඥානය වන්දනා කිරීමේ විපාකය එබඳුය.

“තෙසත‍්තතිම‍්හිතො කප‍්පෙ, සොළසාසුං නරුත‍්තමා; සත‍්තරතනසම‍්පන‍්නා, චක‍්කවත‍්තී මහබ‍්බලා.

මෙයින් කල්ප සැත්තෑ තුනකට පෙර සත් රුවනින් හෙබී, මහත් බල ඇති නරශ්‍රේෂ්ඨ සක්විති රජවරු දාසය දෙනෙක් ව මම උපන්නෙමි.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

මවිසින් කෙලෙස් දවන ලදි -පෙ- බුදුරදුන්ගේ අනුශාසනාව ඉටුකළෙමි.

මේ සුබාහු ථේර චරිතාපදානයයි.

සුබාහුත්‍ථෙරො.

1.6.3

“තිවරායං නිවාසීහං, අහොසිං මාලිකො තදා; අද‍්දසං විරජං බුද‍්ධං, සිද‍්ධත්‍ථං ලොකපූජිතං.

“එකල්හි මම තිවරා නුවර වෙසෙන මල් කරුවෙක් වූයෙමි. පහවූ කෙලෙස් ඇති ලෝකනායක වූ සිද්ධත්‍ථ බුදුරජාණන් වහන්සේ මහ මඟ වැඩම කරනු දුටු මම, පහන් සිතින්, සතුටු වූයෙම් උපුල් මල් මිටකින් උන්වහන්සේ පිදුවෙමි.

“පසන‍්නචිත‍්තො සුමනො, පුප‍්ඵහත්‍ථමදාසහං; යත්‍ථ යත්‍ථුපපජ‍්ජාමි, තස‍්ස කම‍්මස‍්ස වාහසා.

“අනුභොමි ඵලං ඉට‍්ඨං, පුබ‍්බෙ සුකතමත‍්තනො; පරික‍්ඛිත‍්තො සුමල‍්ලෙහි, පුප‍්ඵදානස‍්සිදං ඵලං.

දැන් ඒ මම යහපත් වූ මල්ල රජවරු පිරිවරාගෙන පෙර තමා කළ පින්කමෙහි ඉෂ්ට විපාක විඳින්නෙමි. මල් පූජාවේ විපාකය මෙබඳුය.

“චතුන‍්නවුතිතො කප‍්පෙ, යං පුප‍්ඵමභිරොපයිං; දුග‍්ගතිං නාභිජානාමි, පුප‍්ඵපූජායිදං ඵලං.

මෙයින් කල්ප අනූහතරකට පෙර යම් පුෂ්ප පූජාවක් කළෙම් ද ඒ හේතුවෙන් මේ දක්වා දුගතියක නූපන්නෙමි. මල් පූජාවේ මේ විපාකයයි.

“චතුන‍්නවුතුපාදාය , ඨපෙත්‍වා වත‍්තමානකං; පඤ‍්චරාජසතා තත්‍ථ, නජ‍්ජසමසනාමකා.

මෙයින් කල්ප අනූ හතරකට පෙර සිට ම මේ දක්වා මම, නජ්ජූපසම නම් සත්සීයක් රජවරු ලෙස උපන්නෙමි.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

මවිසින් සියලු කෙලෙස් දවන ලදි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”

මේ වල්ලිය ථේර චරිතාපදානයයි.

වල‍්ලියො ථෙරො.

1.6.4

“සිද‍්ධත්‍ථස‍්ස භගවතො, ජාතිපුප‍්ඵමදාසහං; පාදෙසු සත‍්ත පුප‍්ඵානි, හාසෙනොකිරිතානි මෙ.

“මම සිද්ධත්‍ථ බුදුරජාණන් වහන්සේට සමන් මල් පිදුවෙමි. උන්වහන්සේගේ ශ්‍රී පාදයෙහි මවිසින් මල් සතක් සතුටින් විසුරුවන ලදි.

“තෙන කම‍්මෙනහං අජ‍්ජ, අභිභොමි නරාමරෙ; ධාරෙමි අන‍්තිමං දෙහං, සම‍්මාසම‍්බුද‍්ධසාසනෙ.

ඒ පින්කමේ බලයෙන් මම අද දෙව් මිනිසුන් අතර අතිශයින් බබලන්නෙමි. සම්බුදුසසුනෙහි දැන් අන්තිම දේහය දරමි.

“චතුන‍්නවුතිතො කප‍්පෙ, යං පුප‍්ඵමභිරොපයිං; දුග‍්ගතිං නාභිජානාමි, පුප‍්ඵපූජායිදං ඵලං.

මෙයින් කල්ප අනූ හතරකට පෙර යම් මල් පූජාවක් කළෙම් ද එහි විපාක වශයෙන් මේ දක්වා දුගතියක නූපන්නෙමි. මේ මල් පූජාවේ විපාකයයි.

“සමන‍්තගන්‍ධනාමාසුං, තෙරස චක‍්කවත‍්තිනො; ඉතො පඤ‍්චමකෙ කප‍්පෙ, චාතුරන‍්තා ජනාධිපා.

මෙයින් කල්ප පහකට කලින් සමන්තභද්‍ර නාමයෙන් සිවුමහ දිවයින්ට හා සිවුසාගර සහිත පෘථිවියට ම ප්‍රධාන වූ සක්විති රජවරු දහතුන් දෙනෙක්ව උපන්නෙමි.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති. (අප· ථෙර 1.11.1-23);

“දැන් මම සියලු කෙලෙස් දැවුයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.

මේ උත්තිය ථේර චරිතාපදානයයි.

උත‍්තියො ථෙරො.

අරහත‍්තං පන පත්‍වා ඉමෙ චත‍්තාරොපි ථෙරා ලොකෙ පාකටා පඤ‍්ඤාතා රාජරාජමහාමත‍්තෙහි සක‍්කතා ගරුකතා හුත්‍වා අරඤ‍්ඤෙ සහෙව විහරන‍්ති. අථෙකදා රාජා බිම‍්බිසාරො තෙ චත‍්තාරො ථෙරෙ රාජගහං උපගතෙ උපසඞ‍්කමිත්‍වා වන්‍දිත්‍වා තෙමාසං වස‍්සාවාසත්‍ථාය නිමන‍්තෙත්‍වා තෙසං පාටියෙක‍්කං කුටිකායො කාරෙත්‍වා සතිසම‍්මොසෙන න ඡාදෙසි. ථෙරා අච‍්ඡන‍්නාසු කුටිකාසු විහරන‍්ති. වස‍්සකාලෙ දෙවො න වස‍්සති. රාජා “කිං නු ඛො කාරණං දෙවො න වස‍්සතී”ති චින‍්තෙන‍්තො, තං කාරණං ඤත්‍වා, තා කුටිකායො ඡාදාපෙත්‍වා, මත‍්තිකාකම‍්මං චිත‍්තකම‍්මඤ‍්ච කාරාපෙත්‍වා, කුටිකාමහං කරොන‍්තො මහතො භික‍්ඛුසඞ‍්ඝස‍්ස දානං අදාසි. ථෙරා රඤ‍්ඤො අනුකම‍්පාය කුටිකායො පවිසිත්‍වා මෙත‍්තාසමාපත‍්තියො සමාපජ‍්ජිංසු. අථුත‍්තරපාචීනදිසතො මහාමෙඝො උට‍්ඨහිත්‍වා ථෙරානං සමාපත‍්තිතො වුට‍්ඨානක‍්ඛණෙයෙව වස‍්සිතුං ආරභි. තෙසු ගොධිකත්‍ථෙරො සමාපත‍්තිතො වුට‍්ඨාය සහ මෙඝගජ‍්ජිතෙන –

රහත්බවට පත් වූ මේ සිවුදෙනා වහන්සේලාම ලොව ප්‍රකට වූහ. ප්‍රසිද්ධ වූහ. රාජරාජ මහාමාත්‍යයන් විසින් සත්කාර කරන ලදහ. ගරු කරන ලදහ. ඒ පුද ලබමින් ඔවුහු වනයේ ම විසූහ. එක් දිනක් බිම්බිසාර රජතුමා ඒ සතර දෙනා වහන්සේ රජගහ නුවරට වැඩම කළ කල්හි, සමීපයට ගොස් වැඳ තුන්මාසයක් රජගහ නුවර වස් වසනු සඳහා ආරාධනා කොට, වෙන් වෙන් වශයෙන් කුටි කරවා දුන් නමුත් සිහි කල්පනා නොමැති වීමෙන් එම කුටි සෙවිලි නොකළේය. තෙරවරු සෙවිළි නොකළ කුටිවල වාසය කළහ. වැසි කාලයේ වැස්ස නොවසී. රජු “කවර කරුණකින් වැසි නොවසින්නේ ද?” යි සිතනුයේ ඒ කරුණ සලකා වහාම එම කුටි සෙවිලි කරවීය. මැටි කර්මාන්ත, සිතුවම් කර්මාන්ත ආදියෙන් එම කුටි අලංකාර කරවා, මහත් වූ කුටි පූජා කිරීමේ උත්සවයක් පවත්වා, භික්‍ෂු මහා සංඝරත්නයට මහ දන් පවත්වා කුටි පූජා කළේය. රජුට අනුකම් පාවෙන ඒ කුටිවලට පිවිසි තෙරවරු මෛත්‍රී සමාපත්තියට සමවැදුනහ. මේ අවස්ථාවෙහි නැගෙනහිරින් මහා මේඝයක් (වැහි වලාවක්) නැගී තෙරවරු සමවතින් නැගිටි මොහොතෙහි ම වසින්නට පටන් ගත්තේය. ඒ තෙරවරුන් අතුරින් ගෝධික තෙරණුවෝ සමවතින් නැගිට, මේඝ ගර්ජනාවක් සමග ම මෙම ගාථාව වදාළහ.

“වස‍්සති දෙවො යථා සුගීතං, ඡන‍්නා මෙ කුටිකා සුඛා නිවාතා; චිත‍්තං සුසමාහිතඤ‍්ච මය‍්හං, අථ චෙ පත්‍ථයසි පවස‍්ස දෙවා”ති. –

“වස්සති දෙවො යථා සුගීතං, ඡන්නා මෙ කුටිකා සුඛා නිවාතා, චිත්තං සුසමාහිතං ච මය්හං, අථ චෙ පත්‍ථයසි පවස්ස දෙවා” තී.

ඉමං ගාථං අභාසි.

“සුන්දර ගායනයක් සේ වැසි වහී මගේ කුටිය සෙවිකිලකරන ලදි. සුවපහසු එළවන එහි වා කවුළු වසා ඇත. මගේ සිත ද මැනවින් සමාධිගත විය. මේඝය! කැමති නම් දැන් වසින්න.”

තත්‍ථ වස‍්සතීති සිඤ‍්චති වුට‍්ඨිධාරං පවෙච‍්ඡති. දෙවොති මෙඝො. යථා සුගීතන‍්ති සුන්‍දරගීතං විය ගජ‍්ජන‍්තොති අධිප‍්පායො. මෙඝො හි වස‍්සනකාලෙ සතපටලසහස‍්සපටලො උට‍්ඨහිත්‍වා ථනයන‍්තො විජ‍්ජුතා නිච‍්ඡාරෙන‍්තොව සොභති, න කෙවලො. තස‍්මා සිනිද‍්ධමධුරගම‍්භීරනිග‍්ඝොසො වස‍්සති දෙවොති දස‍්සෙති. තෙන සද‍්දතො අනුපපීළිතං ආහ “ඡන‍්නා මෙ කුටිකා සුඛා නිවාතා”ති. යථා න දෙවො වස‍්සති, එවං තිණාදීහි ඡාදිතා අයං මෙ කුටිකා, තෙන වුට‍්ඨිවස‍්සෙන අනුපපීළිතං ආහ. පරිභොගසුඛස‍්ස උතුසප‍්පායඋතුසුඛස‍්ස ච සබ‍්භාවතො සුඛා. ඵුසිතග‍්ගළපිහිතවාතපානතාහි වාතපරිස‍්සයරහිතා. උභයෙනපි ආවාසසප‍්පායවසෙන අනුපපීළිතං ආහ. චිත‍්තං සුසමාහිතඤ‍්ච මය‍්හන‍්ති චිත‍්තඤ‍්ච මම සුට‍්ඨු සමාහිතං අනුත‍්තරසමාධිනා නිබ‍්බානාරම‍්මණෙ සුට‍්ඨු අප‍්පිතං, එතෙන අබ‍්භන‍්තරපරිස‍්සයාභාවතො අප‍්පොස‍්සුක‍්කතං දස‍්සෙති. අථ චෙ පත්‍ථයසීති අථ ඉදානි පත්‍ථයසි චෙ, යදි ඉච‍්ඡසි. පවස‍්සාති සිඤ‍්ච උදකං පග‍්ඝර වුට‍්ඨිධාරං පවෙච‍්ඡ. දෙවාති මෙඝං ආලපති.

එහි “වස්සති” යනු වසියි. වැසි දහරා පවත්වයි. “දෙවො” යනු මේඝයයි. වැස්සයි. “යථා සුගීතං” යනු සුන්දර ගීතයක් මෙන් ගර්ජනා කරමින්, ගොරවමින් නදදෙමින් යන අදහසයි. වැස්ස වසින කාලයේ සිය දහස් ගණන් වැසි පටල පායා නද දෙමින් විදුලිය කොටමින් ශෝභමාන වේ. තනිව වැසි නොවසී. එනිසා “සිනිඳු, මධුර, ගැඹුරු ඝෝෂා පවත්වමින්, නාද කරමින් වැසි වසී” යයි මෙහිදී දැක්වේ. එහි ශබ්දයෙන් පීඩාවක් නොවේ. “ඡන්නා මෙ කුටිකා සුඛා නිවාතා” යනු මෙසේ වැසි ඇතුලට නොවැටේ ද එලෙසින් ම තණපත් ආදියෙන් මාගේ කුටිය සෙවිලි කරන ලදි. එනිසා වැසි වැසීමෙන් පීඩාවක් නොවේ. පරිභෝග සුවය ද සෘතු පහසුව සැලසීමෙන් සෘතු සුවය ද ලැබෙන බැවින් “සුඛා”, සුවසේ වෙසෙමි. වසන ලද අඟුලු හා වා කවුළු ආදියෙන් යුතු බැවින් සුළඟින් වන උවදුරු වලින් දුරු වී. මේ වදන් දෙකින් ම යෝග්‍ය ආවාසයක් ලැබූ බැවින් පීඩාවක් නොවන බව දක්වයි. “චිත්තං සුසමාහිතං ච මය්හං” යනු මාගේ සිත ද වහා සමාධිගත වේ. අනුත්තර වූ සමාධියෙන් නිර්වාණය නම් අරමුණෙහි සිත මනාව පිහිටියේය. මේ ගාථා පදයෙන් අභ්‍යන්තරික උවදුරු නොමැති නිසා අඩු උත්සාහ ඇති බව දක්වයි. “අථ චෙ පත්‍ථයසී” යනුවෙන් දැන් නුඹ කැමති නම්, ප්‍රාර්ථනා කරයි නම් “පවස්ස” යනු වසින්න. දිය දහරා වගුරුවන්න. වැසි දහරා විසිරුවන්න. “දෙව” යනුවෙන් වැහිවලාව අමතයි. සෙසු තෙරවරු තිදෙනා වදාළ ගාථාවන්හි තෙවැනි පදය පමණක් වෙනස් වේ.

ගොධිකත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

ගෝධික ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.