යෙදුමෙන් කියවන්න

රක‍්ඛිතත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

රක‍්ඛිතත්‍ථෙරගාථාවණ‍්ණනා

රක්ඛිත ස්ථවිරගාථා වර්ණනාව

සබ‍්බො රාගො පහීනො මෙති ආයස‍්මතො රක‍්ඛිතත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයං කිර පදුමුත‍්තරස‍්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පත‍්තො එකදිවසං සත්‍ථු ධම‍්මදෙසනං සුත්‍වා පසන‍්නමානසො දෙසනාඤාණං ආරබ‍්භ ථොමනං අකාසි. සත්‍ථා තස‍්ස චිත‍්තප‍්පසාදං ඔලොකෙත්‍වා “අයං ඉතො සතසහස‍්සකප‍්පමත්‍ථකෙ ගොතමස‍්ස නාම සම‍්මාසම‍්බුද‍්ධස‍්ස රක‍්ඛිතො නාම සාවකො භවිස‍්සතී”ති බ්‍යාකාසි . සො තං සුත්‍වා භිය්‍යොසොමත‍්තාය පසන‍්නමානසො අපරාපරං පුඤ‍්ඤානි කත්‍වා දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ දෙවදහනිගමෙ සාකියරාජකුලෙ නිබ‍්බත‍්ති, රක‍්ඛිතොතිස‍්ස නාමං අහොසි. සො යෙ සාකියකොලියරාජූහි භගවතො පරිවාරත්‍ථාය දින‍්නා පඤ‍්චසතරාජකුමාරා පබ‍්බජිතා, තෙසං අඤ‍්ඤතරො. තෙ පන රාජකුමාරා න සංවෙගෙන පබ‍්බජිතත‍්තා උක‍්කණ‍්ඨාභිභූතා යදා සත්‍ථාරා කුණාලදහතීරං නෙත්‍වා කුණාලජාතකදෙසනාය (ජා· 2.21.කුණාලජාතක) ඉත්‍ථීනං දොසවිභාවනෙන කාමෙසු ආදීනවං පකාසෙත්‍වා කම‍්මට‍්ඨානෙ නියොජිතා, තදා අයම‍්පි කම‍්මට‍්ඨානං අනුයුඤ‍්ජන‍්තො විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා අරහත‍්තං පාපුණි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 1.14.1-9) –

“සබ්බො රාගො පහීනො මෙ” යනු ආයුෂ්මත් රක්ඛිත තෙරුන් වහන්සේ පැවසූ ගාථාවයි. එහි උපත කෙසේද? පදුමුත්තර බුදුන් දවස සිටුගෙයක ඉපිද වැඩිවියට පත් සිටු කුමරෙක්ව, එක්දිනක් ශාස්තෲන් වහන්සේගේ ධර්‍ම දේශනාව අසා පැහැදුණු සිතින් දේශනා ඥානය අරඹයා උන්වහන්සේට ස්තූති කළේය. ශාස්තෲන් වහන්සේ මේ සිටුපුත්‍රයාගේ සිත් පැහැදීම දැක “මොහු මින් කල්ප ලක්‍ෂයකට පසුව ගෞතම නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි රක්ඛිත නම් මහා ශ්‍රාවකයා වන්නේය” යි විවරණ දුන්සේක. එය අසා අතිශයින් සතුටට පත්වූ සිටුපුතු ඒ ඒ භවයන්හි දී තවත් පින්දහම් සිදුකර, දෙව් මිනිස් දෙගතියෙහි සැරිසරා; අපගේ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි “වේදේහ” නම් නියම් ගමෙහි ශාක්‍ය රජ පවුලක උපන්නේය. රක්ඛිත නමින් ප්‍රකට වූ මේ ශාක්‍ය කුමරු; ශාක්‍ය - කෝලිය රජවරුන් විසින් භාග්‍යවතුන් වහන්සේ පිවරාගෙන සිටීම සඳහා දුන් පන්සීයක් රජකුමරුවන්ගෙන් කෙනෙක්ව පැවිදිවිය. ඒ රාජකුමාරවරු පැවිද්ද පිළිබඳව නො කැමැත්තෙන් (නෑයන්ගේ බලකිරීමෙන්) පැවිදි වූ බැවින්; ශාස්තෲන් වහන්සේ ඔවුහු රැගෙන කුණාල වැව් ඉවුරට වැඩියහ. එහිදී ස්ත්‍රී දෝෂ ප්‍රකට කෙරෙන කාමයේ ආදීනව දැක්වෙන කුණාල ජාතකය දේශනා කළසේක්; එම ශාක්‍ය කෝලිය තෙරවරු කමටහන් වැඩීමෙහි යෙදවූ සේක. එකල්හි රක්ඛිත තෙරණුවෝ කමටහන් වැඩීමෙහි නිරතව විදසුන් භාවනාවට සිත යොමුකර රහත්බවට පත්වූහ. උන්වහන්සේ සිය චරිතාපදානය අපදාන පාළියේ දී මෙසේ දැක්වූහ -

“පදුමුත‍්තරො නාම ජිනො, ලොකජෙට‍්ඨො නරාසභො; මහතො ජනකායස‍්ස, දෙසෙති අමතං පදං.

“ලෝක ජ්‍යෙෂ්ඨ වූ නර ශ්‍රේෂ්ඨ වූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ මහත් වූ ජන සමූහයාට නිවන් මග දේශනා කරන සේක.

“තස‍්සාහං වචනං සුත්‍වා, වාචාසභිමුදීරිතං; අඤ‍්ජලිං පග‍්ගහෙත්‍වාන, එකග‍්ගො ආසහං තදා.

උන්වහන්සේගේ උතුම් වචන ඇසූ මම; ඇඳිලි බැඳගෙන එකඟ සිතින් යුතුව බුද්ධ ඥානයට මෙසේ පැසසූවෙමි.

“යථා සමුද‍්දො උදධීනමග‍්ගො, නෙරූ නගානං පවරො සිලුච‍්චයො; තථෙව යෙ චිත‍්තවසෙන වත‍්තරෙ, න බුද‍්ධඤාණස‍්ස කලං උපෙන‍්ති තෙ.

“යම්සේ මහා සාගරය ජලාශයකට අග්‍රවේද, සිනේරු පර්වතය පර්‍වත අතරින් අග්‍රවේද; එසේම යම් කෙනෙක් සචේතන වශයෙන් පවතිත් නම් ඔවුන්ගේ ඥානය බුද්ධ ඥානයෙහි කලාවකට ද සම නොවේ. සචේතනිකයන්ගේ ඥානයන් අතරින් බුද්ධ ඥානයට අග්‍රවේ.”

“ධම‍්මවිධිං ඨපෙත්‍වාන, බුද‍්ධො කාරුණිකො ඉසි; භික‍්ඛුසඞ‍්ඝෙ නිසීදිත්‍වා, ඉමා ගාථා අභාසථ.

එය ඇසූ කාරුණික වූ සෘෂිවූ බුදුරජාණන් වහන්සේ දහම් වීථියෙහි පිහිටුවා භික්‍ෂු සංඝයා මැද වැඩ හිඳිමින් මෙසේ වදාළසේක.

“යො සො ඤාණං පකිත‍්තෙසි, බුද‍්ධම‍්හි ලොකනායකෙ; කප‍්පානං සතසහස‍්සං, දුග‍්ගතිං න ගමිස‍්සති.

“ලෝක නායක වූ බුදුරජාණන් විෂයෙහි වූ නුවණ පිළිබඳව යමෙක් ප්‍රශංසා කරන ලද්දේ ද; එහි විපාක වශයෙන් ඔහු මේ කල්ප ලක්‍ෂය පුරාම දුගතියක නූපදින්නෙහිය.

“කිලෙසෙ ඣාපයිත්‍වාන, එකග‍්ගො සුසමාහිතො; සොභිතො නාම නාමෙන, හෙස‍්සති සත්‍ථු සාවකො.

එකඟ වූ මානව දමනය කළ සිතින් යුක්තව මින් කල්ප ලක්‍ෂයකට පසුව රක්ඛිත නම් බුද්ධශ්‍රාවකයෙක් වන්නේය.” යනුවෙනි.

“පඤ‍්ඤාසෙ කප‍්පසහස‍්සෙ, සත‍්තෙවාසුං යසුග‍්ගතා; සත‍්තරතනසම‍්පන‍්නා, චක‍්කවත‍්තී මහබ‍්බලා.

මින් කල්ප පනස්දාහකට පෙර මහත්වූ සත් රුවනින් හෙබි මහ බලැති යසුග්ගන නම් සක්විති රජව උපන්නෙමි.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”

අරහත‍්තං පන පත්‍වා අත‍්තනො පහීනකිලෙසෙ පච‍්චවෙක‍්ඛන‍්තො “සබ‍්බො රාගො”ති ගාථං අභාසි.

රහත්බවට පත්වූ උන්වහන්සේ, තමන් වහන්සේ සියලු කෙලෙස් නැසූ බව ප්‍රත්‍යවේක්‍ෂා කරමින් “සබ්බො රාගො” යන ගාථාව වදාළහ.

තත්‍ථ “සබ‍්බො රාගො”ති කාමරාගාදිප‍්පභෙදො සබ‍්බොපි රාගො. පහීනොති අරියමග‍්ගභාවනාය සමුච‍්ඡෙදප‍්පහානවසෙන පහීනො. සබ‍්බො දොසොති ආඝාතවත්‍ථුකාදිභාවෙන අනෙකභෙදභින‍්නො සබ‍්බොපි බ්‍යාපාදො. සමූහතොති මග‍්ගෙන සමුග‍්ඝාටිතො. සබ‍්බො මෙ විගතො මොහොති “දුක‍්ඛෙ අඤ‍්ඤාණ”න‍්තිආදිනා (ධ· ස· 1067; විභ· 909) වත්‍ථුභෙදෙන අට‍්ඨභෙදො, සංකිලෙසවත්‍ථුවිභාගෙන අනෙකවිභාගො සබ‍්බොපි මොහො මග‍්ගෙන විද‍්ධංසිතත‍්තා මය‍්හං විගතො. සීතිභූතොස‍්මි නිබ‍්බුතොති එවං මූලකිලෙසප‍්පහානෙන තදෙකට‍්ඨතාය සංකිලෙසානං සම‍්මදෙව පටිප‍්පස‍්සද‍්ධත‍්තා අනවසෙසකිලෙසදරථපරිළාහාභාවතො සීතිභාවං පත‍්තො, තතො එව සබ‍්බසො කිලෙසපරිනිබ‍්බානෙන පරිනිබ‍්බුතො අහං අස‍්මි භවාමීති අඤ‍්ඤං බ්‍යාකාසි.

එම ගාථාවෙහි “සබ්බො රාගො” යනු කාමරාගාදී ප්‍රභේද ඇති සියලුම රාගය. “පහීණො” යනු ආර්යමාර්ගය වැඩීමෙන්; මුලුමනින්ම කෙලෙස් සිඳ දැමීම් වශයෙන් ප්‍රහාණය කරන ලදි. “සබ්බො දොසො” යනු නැසීම, වැනසීම ආදී නොයෙක් ආකාරයෙන් ක්‍රියාත්මක වන ව්‍යාපාදය - දැඩි තරහව. “සමූහතො” ආර්ය මාර්ගය වැඩීමෙන් මැනවින් නසන ලදි. “සබ්බො මෙ විගතො මොහො” යනු දුක නොදැනීම ආදී වශයෙන් අට වැදෑරුම් වුද කෙලෙස් වස්තු විභාග වශයෙන් අට වැදෑරුම් වූ ද සියලුම ආකාරයේ මෝහය මවිසින් ආර්ය මාර්ගයේ ගමන් කිරීමෙන් නැතිකරන ලදි. දුරුකරන ලදි. “සීති භූතොස්මි නිබ්බුතො” එනිසා මේ ආකාරයෙන් කෙලෙස් මුල් සිඳ දමා, මැනවින් කෙලෙස් සංසිඳ වූ බැවින්; කෙලෙස් සම්පූර්ණයෙන් නසා පරිදාහයෙන් - දැවීමෙන් දුරුවූ බැවින් සිසිල් බවට පැමිණියෙමි. එසේම සියලුම කෙලෙස් පිරිනිවි හෙයින් පිරිනිවියෙමි. මම මෙසේ නිවුණෙමි. පිරිණිවියෙම් වෙමියි සිය රහත් බව ප්‍රකාශ කරන ලදි.

රක‍්ඛිතත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

රක්ඛිත ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.