යෙදුමෙන් කියවන්න

භණ‍්ඩාගාරසම‍්මුතිආදිකථා අට‍්ඨකථා

භණ‍්ඩාගාරසම‍්මුතිආදිකථා

භණ්ඩාගාරසම්මුතිආදිකථා

විහාරං වාතිආදීසු යො ආරාමමජ‍්ඣෙ ආරාමිකසාමණෙරාදීහි අවිවිත‍්තො සබ‍්බෙසං සමොසරණට‍්ඨානෙ විහාරො වා අඩ‍්ඪයොගො වා හොති, සො සම‍්මන‍්නිතබ‍්බො. පච‍්චන‍්තසෙනාසනං පන න සම‍්මන‍්නිතබ‍්බං. ඉදං පන භණ‍්ඩාගාරං ඛණ‍්ඩසීමං ගන‍්ත්‍වා ඛණ‍්ඩසීමාය නිසින‍්නෙහි සම‍්මන‍්නිතුං න වට‍්ටති, විහාරමජ‍්ඣෙයෙව සම‍්මන‍්නිතබ‍්බං.

“විහාරං වා” යනාදිතන්හි අරම මැද සියල්ලන් රැස්වන තැන අරම්වැසි හෙරණ ආදීන්ගෙන් විවෙකයට නොපැමිණි යම් විහාරයක් හෝ ගුරුළුපියාපත් ලෙසින් කළ වහල ඇති ගෙයක් හෝ වේද, ඒ විහාරය හෝ ගෙය සම්මත කටයුතුය. වෙහෙර පසෙක වූ සෙනසුනක් සම්මත නොකටයුතුය. මේ භාණ්ඩාගාරය වනාහි ඛණ්ඩ සීමාවකට ගොස් ඛණ්ඩ සීමාවෙහි හුන්නවුන් විසින් සම්මත කිරීම නොවටියි. සියල්ලන්ට දැනගනු පිණිස වෙහෙර මැදම සම්මත කටයුතුය.

ගුත‍්තාගුත‍්තඤ‍්ච ජානෙය්‍යාති එත්‍ථ යස‍්ස තාව ඡදනාදීසු කොචි දොසො නත්‍ථි, තං ගුත‍්තං. යස‍්ස පන ඡදනතිණං වා ඡදනිට‍්ඨකා වා යත්‍ථ කත්‍ථචි පතිතා, යෙන ඔවස‍්සති වා, මූසිකාදීනං වා පවෙසො හොති, භිත‍්තිආදීසු වා කත්‍ථචි ඡිද‍්දං හොති, උපචිකා වා උට‍්ඨහන‍්ති, තං සබ‍්බං අගුත‍්තං නාම. තං සල‍්ලක‍්ඛෙත්‍වා පටිසඞ‍්ඛරිතබ‍්බං. සීතසමයෙ ද‍්වාරඤ‍්ච වාතපානඤ‍්ච සුපිහිතං කාතබ‍්බං, සීතෙන හි චීවරානි කණ‍්ණකිතානි හොන‍්ති. උණ‍්හසමයෙ අන‍්තරන‍්තරා වාතප‍්පවෙසනත්‍ථං විවරිතබ‍්බං. එවං කරොන‍්තො හි ගුත‍්තාගුත‍්තං ජානාති නාම.

“ගුත්තාගුත්තංච ජානෙය්‍ය” මෙහි යම් ගෙයක සෙවෙනි ආදීන් අතුරෙහි කිසිදොසෙක් නැත්තේද, ඒ ගෙය ගුත්ත නම. යම්ගෙයක සෙවෙනිතණ හෝ සෙවෙනි උළු හෝ යම්කිසි තැනක වැටුනාහුද, යම් කිසි තැනකින් තෙමෙන්නේ හෝ වේද, මී ආදීන්ගේ හෝ ඇතුල්වීමක්වේද, බිත්ති ආදියෙහි හෝ කිසිතැනක සිදුරක් වේද, වේයෝ හෝ නගිත්ද, ඒ සියල්ල අගුත්ත නම. ඒ සලකා සුන්බුන් තැන් පිළිසකර කටයුතුය. සීතකාලයෙහි දොරද, වාකවුළුද මනාකොට වැසිය යුතුය. සීතය කරණකොට සිවුරු තැන තැන කලුවන් වෙත්. උෂ්ණකාලයෙහි අතරතුර හුළං වදිනු පිණිස දොරජනෙල් ඇර තැබිය යුතුය. මෙසේ කරන්නේ රකින නොරකින ලද්ද දනී නම.

ඉමෙහි පන චීවරපටිග‍්ගාහකාදීහි තීහිපි අත‍්තනො වත‍්තං ජානිතබ‍්බං. තත්‍ථ චීවරපටිග‍්ගාහකෙන තාව යං යං මනුස‍්සා “කාලචීවර”න‍්ති වා “අකාලචීවර”න‍්ති වා “අච‍්චෙකචීවර”න‍්ති වා “වස‍්සිකසාටික”න‍්ති වා “නිසීදන”න‍්ති වා “පච‍්චත්‍ථරණ”න‍්ති වා “මුඛපුඤ‍්ඡනචොළ”න‍්ති වා දෙන‍්ති, තං සබ‍්බං එකරාසිං කත්‍වා මිස‍්සෙත්‍වා න ගණ‍්හිතබ‍්බං, විසුං විසුං කත්‍වාව ගණ‍්හිත්‍වා චීවරනිදහකස‍්ස තථෙව ආචික‍්ඛිත්‍වා දාතබ‍්බං. චීවරනිදහකෙනාපි භණ‍්ඩාගාරිකස‍්ස දදමානෙන ඉදං කාලචීවරං…පෙ… ඉදං මුඛපුඤ‍්ඡනචොළන‍්ති ආචික‍්ඛිත්‍වාව දාතබ‍්බං. භණ‍්ඩාගාරිකෙනාපි තථෙව විසුං විසුං විය සඤ‍්ඤාණං කත්‍වා ඨපෙතබ‍්බං. තතො සඞ‍්ඝෙන “කාලචීවරං ආහරා”ති වුත‍්තෙ කාලචීවරමෙව දාතබ‍්බං…පෙ… මුඛපුඤ‍්ඡනචොළකං ආහරාති වුත‍්තෙ තදෙව දාතබ‍්බං.

මේ තෙවැදෑරුම්වූ චීවර ප්‍රතිග්‍රාහකාදීන් විසින් තමන්ගේ වත දතයුතුය. එහි සිවුරු පිළිගන්නහු විසින් ඒතාක් මනුෂ්‍යයෝ කාලචීවරැයි කියා හෝ අකාල චීවරැයි කියා හෝ පැරණිවූ චීවරැයි කියා හෝ වැසිසළු සිවුරුයි කියා හෝ නිසීදනැයි කියා හෝ පසතුරණැයි කියා හෝ මුවපිස්නා රෙදිකඩැයි කියා හෝ දෙත්ද, ඒ සියල්ල එකට රැස්කොට මිශ්‍රකොට නොගතයුතුය. වෙන්වන්කොට ගෙන සිවුරු තැත්පත්කොට තබන්නහුට එසේම කියා දිය යුත්තේය. භාණ්ඩාගාරිකයාහට දෙන්නා වූ සිවුරු තැන්පත්කර තබන්නහු විසින්ද ‘මේ කාලචීවරය -පෙ- මේ මුවපිස්නා රෙදිකඩයයි කියාම දියයුතුය. භාණ්ඩාගාරිකයා විසින්ද එසේම වෙන්වෙන්ව සලකුණුකොට තැබිය යුතුය. එයින් සඞ්යා විසින් ‘කාලචීවරය ගෙණෙව’යි කියූ කල්හි කාලචීවරයම දියයුතුය. -පෙ- මුවපිස්නා රෙදිකඩ ගෙනෙව’යි කියූකල්හි ඒම දියයුතුය.

ඉති භගවතා චීවරපටිග‍්ගාහකො අනුඤ‍්ඤාතො, චීවරනිදහකො අනුඤ‍්ඤාතො, භණ‍්ඩාගාරං අනුඤ‍්ඤාතං, භණ‍්ඩාගාරිකො අනුඤ‍්ඤාතො, න බාහුලිකතාය න අසන‍්තුට‍්ඨියා; අපිච ඛො සඞ‍්ඝස‍්සානුග‍්ගහාය. සචෙ හි ආහටාහටං ගහෙත්‍වා භික‍්ඛූ භාජෙය්‍යුං, නෙව ආහටං න අනාහටං න දින‍්නං නාදින‍්නං න ලද‍්ධං නාලද‍්ධං ජානෙය්‍යුං, ආහටාහටං ථෙරාසනෙ වා දදෙය්‍යුං, ඛණ‍්ඩාඛණ‍්ඩං වා ඡින්‍දිත්‍වා ගණ‍්හෙය්‍යුං; එවං සති අයුත‍්තපරිභොගො ච හොති, න ච සබ‍්බෙසං සඞ‍්ගහො කතො හොති. භණ‍්ඩාගාරෙ පන චීවරං ඨපෙත්‍වා උස‍්සන‍්නකාලෙ එකෙකස‍්ස භික‍්ඛුනො තිචීවරං වා ද‍්වෙ ද‍්වෙ වා එකෙකං වා චීවරං දස‍්සන‍්ති, ලද‍්ධාලද‍්ධං ජානිස‍්සන‍්ති, අලද‍්ධභාවං ඤත්‍වා සඞ‍්ගහං කාතුං මඤ‍්ඤිස‍්සන‍්තීති.

මේ අයුරෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් සිවුරු පිළිගන්නෙක් අනුදන්නා ලද්දේය. සිවුරු තැන්පත්කොට තබන්නෙක් අනුදන්නා ලද්දේය. භාණ්ඩාගාරයක් අනුදන්නා ලද්දේය. බාහුලිකත්‍වයෙන් නොවේ. අසන්තුෂ්ඨියෙන් නොවේ. වැලිදු සඞ්ඝයාට අනුග්‍රහ පිණිස වේ. ඉදින් ගෙනනොගෙන වස්ත්‍රගෙන භික්‍ෂූහු බෙදන්නාහු නම් ගෙනඑනලද්ද නොදන්නාහු නම්. නොගෙණෙනලද්ද නොදන්නාහු නම්, දෙනලද්ද නොදන්නාහු නම්, ලබනලද්ද නොදන්නාහු නම්. නොලබනලද්ද නොදන්නාහු නම් ගෙන ආ ගෙන ආ සිවුරු ථෙරාසනයෙහි දෙන්නාහු නම්, කඩකඩ කොට හෝ සිඳ ගන්නාහු නම් මෙසේ ඇති කල්හි අයුත්තපරිභොගයද වේ. සියල්ලන්ට සඞ්ග්‍රහ කරන ලද්දේ නොවේ. භාණ්ඩාගාරයෙහි සිවුර තබා සිවුරු බොහෝවූකල්හි එක් එක් මහණක්හට තුන්සිවුරු හෝ දෙක දෙක හෝ එක එක හෝ සිවුරු දෙන්නාහුය. ලදනොලද සිවුරු දැන ගන්නාහුය. නොලද බව දැන සඞ්ග්‍රහ කරන්නට සිතන්නාහ.

න භික‍්ඛවෙ භණ‍්ඩාගාරිකො වුට‍්ඨාපෙතබ‍්බොති එත්‍ථ අඤ‍්ඤෙපි අවුට‍්ඨාපනීයා ජානිතබ‍්බා. චත‍්තාරො හි න වුට‍්ඨාපෙතබ‍්බා – වුඩ‍්ඪතරො , භණ‍්ඩාගාරිකො, ගිලානො, සඞ‍්ඝතො ලද‍්ධසෙනාසනොති. තත්‍ථ වුඩ‍්ඪතරො අත‍්තනො වුඩ‍්ඪතාය නවකතරෙන න වුට‍්ඨාපෙතබ‍්බො, භණ‍්ඩාගාරිකො සඞ‍්ඝෙන සම‍්මන‍්නිත්‍වා භණ‍්ඩාගාරස‍්ස දින‍්නතාය, ගිලානො අත‍්තනො ගිලානතාය, සඞ‍්ඝො පන බහුස‍්සුතස‍්ස උද‍්දෙසපරිපුච‍්ඡාදීහි බහුපකාරස‍්ස භාරනිත්‍ථාරකස‍්ස ඵාසුකං ආවාසං අනුට‍්ඨාපනීයං කත්‍වා දෙති, තස‍්මා සො උපකාරතාය ච සඞ‍්ඝතො ලද‍්ධතාය ච න වුට‍්ඨාපෙතබ‍්බොති.

“න භික්‍ඛවෙ භණ්ඩාගාරිකො වුට්ඨාපෙතබ්බො” මෙහි නොනැගිටවියයුතු අන්‍යයෝද දතයුත්තාහුමය. වෘද්ධතරය, භාණ්ඩාගාරිකය, ගිලානය, සඞ්ඝයා වෙතින් ලත් සෙනසුන් ඇත්තේය යන සිවුදෙන නොනැගිටවිය යුතුය. එහි වෘද්ධතරතෙමේ තමන් වැඩිමහලු බැවින් ඉතා නවකයෙකු විසින් නොනැගිටවිය යුතුය. සඞ්ඝයා විසින් සම්මත කොට භාණ්ඩාගාරය දුන් බැවින භාණ්ඩාගාරික තෙමේ නොනැගිටවිය යුතුය. ගිලාන තෙමේ තමන්ගේ ගිලන්බැවින් නොනැගිටවිය යුතුය. සඞ්ඝතෙමේ වනාහි බහුශ්‍රැත වූ උද්දෙස පරිපුච්ඡාදියෙන් බොහෝ උපකාර ඇත්තා වූ බර උසුලන මහණහුට පහසු ආවාසයක් නොනැගිටවිය යුතකොට දේද, එහෙයින් හෙතෙමේ උපකාර ඇති බැවින්ද, සඞ්ඝයාගෙන් ලද බැවින්ද, නොනැගිටවිය යුතුය.

උස‍්සන‍්නං හොතීති බහු රාසිකතං හොති, භණ‍්ඩාගාරං න ගණ‍්හාති. සම‍්මුඛීභූතෙනාති අන‍්තොඋපචාරසීමායං ඨිතෙන. භාජෙතුන‍්ති කාලං ඝොසෙත්‍වා පටිපාටියා භාජෙතුං. කොලාහලං අකාසීති “අම‍්හාකං ආචරියස‍්ස දෙථ, උපජ‍්ඣායස‍්ස දෙථා”ති එවං මහාසද‍්දං අකාසි. චීවරභාජනකඞ‍්ගෙසු සභාගානං භික‍්ඛූනං අපාපුණන‍්තම‍්පි මහග‍්ඝං චීවරං දෙන‍්තො ඡන්‍දාගතිං ගච‍්ඡති නාම. අඤ‍්ඤෙසං වුඩ‍්ඪතරානං පාපුණන‍්තම‍්පි මහග‍්ඝං චීවරං අදත්‍වා අප‍්පග‍්ඝං දෙන‍්තො දොසාගතිං ගච‍්ඡති නාම. මොහමූළ‍්හො චීවරදානවත‍්තං අජානන‍්තො මොහාගතිං ගච‍්ඡති නාම. මුඛරානං නවකානම‍්පි භයෙන අපාපුණන‍්තමෙව මහග‍්ඝං චීවරං දෙන‍්තො භයාගතිං ගච‍්ඡති නාම. යො එවං න ගච‍්ඡති, සබ‍්බෙසං තුලාභූතො පමාණභූතො මජ‍්ඣත‍්තො හොති, සො සම‍්මන‍්නිතබ‍්බො. භාජිතාභාජිතන‍්ති “එත‍්තකානි වත්‍ථානි භාජිතානි, එත‍්තකානි අභාජිතානී”ති ජානන‍්තො “භාජිතාභාජිතඤ‍්ච ජානෙය්‍යා”ති වුච‍්චති.

“උස්සන්නං හොති” බොහෝ සිවුරු රැස්කරණ ලද්දේ වේ. භාණ්ඩාගාරය නොගනියි. “සම්මුඛීභුතෙන” උපචාර සීමාවතුළ සිටියහු විසින්. “භාජෙතුං” කල් දන්වා පිළිවෙළින් බෙදාගන්නට. “කොලාහලං අකංසු” ‘අපගේ ආචාර්‍ය්‍යයාහට දෙවු, අපගේ උපාද්ධ්‍යායයාහට දෙවු’යි මෙසේ මහහඬ නැගීය. සිවුරු බෙදන්නහුගේ අඞ්ගයන්හි සභාගභික්‍ෂූන්ට නොපැමිණෙන්නාවූද, මාහැඟි සිවුරක් දෙන්නේ ඡන්‍දයෙන් අගතියට යේ නම. අන්‍යවූ වෘද්ධතරයන්හට පැමිණෙන්නාවූද මාහැඟි සිවුරක් නොදී මඳඅගය ඇති සිවුරක් දෙන්නේ ද්වෙෂයෙන් අගතියට යේ නම. මෝහයෙන් මූඪවූයේ සිවුරු දෙන වත නොදන්නේ මෝහයෙන් අගතියට ගියේ නම. දොඩමලු වූ නවකයන්ටද බියෙන් නොපැමිණෙන්නාවූම මාහැඟි සිවුරක් දෙන්නේ බියෙන් අගතියටයේ නම. යම් මහණෙක් තෙමේ, මෙසේ සතර අගතියට නොයේද සියල්ලන්ට තරාදියක් සමානවූයේ, ප්‍රමාණ වූයේ මද්ධ්‍යස්ථ වේද හෙතෙමේ සම්මත කටයුතුය. “භාජිතාභාජිතං” මෙතෙක් වස්ත්‍ර බෙදන ලද්දේය, මෙතෙක් වස්ත්‍ර නොබෙදන ලද්දේය දන්නේ, “භාජිතා භාජිතං ජානෙය්‍ය”යි කියනු ලැබේ.

උච‍්චිනිත්‍වාති “ඉදං ථූලං, ඉදං සණ‍්හං, ඉදං ඝනං, ඉදං තනුකං, ඉදං පරිභුත‍්තං, ඉදං අපරිභුත‍්තං, ඉදං දීඝතො එත‍්තකං පුථුලතො එත‍්තක”න‍්ති එවං වත්‍ථානි විචිනිත්‍වා. තුලයිත්‍වාති “ඉදං එත‍්තකං අග‍්ඝති, ඉදං එත‍්තක”න‍්ති එවං අග‍්ඝපරිච‍්ඡෙදං කත්‍වා. වණ‍්ණාවණ‍්ණං කත්‍වාති සචෙ සබ‍්බෙසං එකෙකමෙව දසග‍්ඝනකං පාපුණාති, ඉච‍්චෙතං කුසලං; නො චෙ පාපුණාති, යං නව වා අට‍්ඨ වා අග‍්ඝති, තං අඤ‍්ඤෙන එකඅග‍්ඝනකෙන ච ද‍්විඅග‍්ඝනකෙන ච සද‍්ධිං බන්‍ධිත්‍වා එතෙන උපායෙන සමෙ පටිවීසෙ ඨපෙත්‍වාති අත්‍ථො. භික‍්ඛූ ගණෙත්‍වා වග‍්ගං බන්‍ධිත්‍වාති සචෙ එකෙකස‍්ස දියමානෙ දිවසො නප‍්පහොති, දස දස භික‍්ඛූ ගණෙත්‍වා දස දස චීවරපටිවීසෙ එකවග‍්ගං බන්‍ධිත්‍වා එකං භණ‍්ඩිකං කත්‍වා එවං චීවරපටිවීසං ඨපෙතුං අනුජානාමීති අත්‍ථො. එවං ඨපිතෙසු චීවරපටිවීසෙසු කුසො පාතෙතබ‍්බො. තෙහිපි භික‍්ඛූහි පුන කුසපාතං කත්‍වා භාජෙතබ‍්බං.

“උච්චිනිත්‍වා” මේ සිවුර දළය, මේ සිවුර සියුම්ය, මෙය ඝනය, මෙය තුනීය. මෙය පරිභොග කරන ලදය, මෙය පරිභොග නොකරන ලදය, මෙය දිගින් මෙපමණය, පළලින් මෙපමණය’යි මෙසේ වස්ත්‍ර පරීක්‍ෂාකොට. “තුලයිත්‍වා” මේ සිවුර මෙපමණ අගනේය, මේ සිවුර මෙපමණ අගනේය’යි මෙසේ අගය පිරිසිඳීමකොට “වණ්ණාවණ්ණං කත්‍වා” ඉදින් සියල්ලන්ට එක එක දසය දසය අගනා සිවුරක් පැමිණේනම්, මේ පැමිණීම මැනවි. ඉදින් නොපැමිණේ නම්, යම් සිවුරක් නවයක් හෝ අටක් හෝ අගීද ඒ සිවුර අන්‍ය වූ එකක් අගනා සිවුරක් සමග හෝ දෙකක් අගනා සිවුරක් සමග හෝ බැඳ මේ උපායෙන් සමකොටස් තබාය යන අර්‍ත්‍ථයි. “භික්‍ඛූ ගණෙත්‍වා වග්ගං බන්‍ධිත්‍වා” ඉදින් එක් එක් මහණක්හට දෙනු ලබන කල්හි දවස නොපොහොනේනම්, දසයක් දසයක් කොට මහණුන් ගැන, දසදෙස සිවුරු කොටස් එක් වර්‍ගයකට බැඳ එක්පොදියක් කොට මෙසේ සිවුරු කොටස් තබන්නට අනුදනිමි’ යන අර්‍ත්‍ථයි. මෙසේ තැබූ සිවුරු කොටස්හි කුසපත හෙලිය යුතුය. ඒ එකට බැඳිකොටස් ලද මහණුන් විසින්ද? නැවත කුසපත හෙලා බෙදිය යුතුය.

සාමණෙරානං උපඩ‍්ඪපටිවීසන‍්ති එත්‍ථ යෙ සාමණෙරා අත‍්තිස‍්සරා භික‍්ඛුසඞ‍්ඝස‍්ස කත‍්තබ‍්බකම‍්මං න කරොන‍්ති, උද‍්දෙසපරිපුච‍්ඡාසු යුත‍්තා ආචරියුපජ‍්ඣායානංයෙව වත‍්තපටිපත‍්තිං කරොන‍්ති, අඤ‍්ඤෙසං න කරොන‍්ති, එතෙසංයෙව උපඩ‍්ඪභාගො දාතබ‍්බො. යෙ පන පුරෙභත‍්තඤ‍්ච පච‍්ඡාභත‍්තඤ‍්ච භික‍්ඛුසඞ‍්ඝස‍්සෙව කත‍්තබ‍්බකිච‍්චං කරොන‍්ති, තෙසං සමකො දාතබ‍්බො. ඉදඤ‍්ච පිට‍්ඨිසමයෙ උප‍්පන‍්නෙන භණ‍්ඩාගාරෙ ඨපිතෙන අකාලචීවරෙනෙව කථිතං. කාලචීවරං පන සමකමෙව දාතබ‍්බං. තත්‍රුප‍්පාදවස‍්සාවාසිකං සම‍්මුඤ‍්ජනීබන්‍ධනාදි සඞ‍්ඝස‍්ස ඵාතිකම‍්මං කත්‍වා ගහෙතබ‍්බං. එතඤ‍්හෙත්‍ථ සබ‍්බෙසං වත‍්තං. භණ‍්ඩාගාරිකචීවරෙපි සචෙ සාමණෙරා ආගන‍්ත්‍වා “භන‍්තෙ මයං යාගුං පචාම, භත‍්තං පචාම, ඛජ‍්ජකං පචාම, අප‍්පහරිතකං කරොම, දන‍්තකට‍්ඨං ආහරාම, රඞ‍්ගඡල‍්ලිං කප‍්පියං කත්‍වා දෙම, කිං අම‍්හෙහි න කතං නාමා”ති උක‍්කුට‍්ඨිං කරොන‍්ති, සමභාගොව දාතබ‍්බො. එතං යෙ ච විරජ‍්ඣිත්‍වා කරොන‍්ති, යෙසඤ‍්ච කරණභාවො න පඤ‍්ඤායති, තෙ සන්‍ධාය වුත‍්තං. කුරුන්‍දියං පන “සචෙ සාමණෙරා ‘කස‍්මා මයං භන‍්තෙ සඞ‍්ඝකම‍්මං න කරොම, කරිස‍්සාමා’ති යාචන‍්ති, සමපටිවීසො දාතබ‍්බො”ති වුත‍්තං.

“සාමණෙරානං උපඩ්ඪපටිවිංසං” මෙහි යම් හෙරණ කෙනෙක් තමන් ඉසුරුවූවාහු භික්‍ෂු සඞ්ඝයාහට කටයුතු වැඩ නොකෙරෙත්ද, උද්දෙසපරිපුච්ඡාවන්හි යුක්තවූවාහු ආචාර්‍ය්‍ය-උපාද්ධ්‍යායයන්හටම වත්පිළිවෙත් කෙරෙත්ද, අන්හට වත්පිළිවෙත් නොකෙරෙත්ද, මොවුන්ටම අඩකොටස දියයුතුය. යම් හෙරණ කෙනෙක් පෙරබතත් පසුබතත් භික්‍ෂු සඞ්ඝයාහටම කටයුතු කිස කෙරෙත්ද, ඔවුන්ට සමකොටසක් දියයුතුය. පිට්ඨිසමයෙහි උපන් භාණ්ඩාගාරයෙහි තැබූ අකාලචීවරය කරණකොටම කියනලදී. කාලචීවරය වනාහි සමව දියයුතුය. තත්‍රැප්පාදවස්සාවාසිකය සඞ්ඝයාගේ මුසුන් බැඳීම් ආදි අත්කම් පිණිස ගතයුතුය. මේ වනාහි මෙහි සියල්ලන්ගේ වතය. භාණ්ඩාගාර චීවරයෙහිද ඉදින් හෙරණහු ඇවිත් ‘ස්වාමීනි’ අපි කැඳ පිසමු, බත් පිසමු, කැවිලි පිසමු, තණකොළ නැත්තක් කරමු, දැහැටි ගෙන එමු, පඬුපතුරු කැපකොට දෙමු, අප විසින් නොකළ කිනම් වේදැ’යි මහත්සේ හඬ නගත්ද, සමභාගයක්ම දිය යුතුය. යම්කෙනෙක් වරදවා කෙරෙත්ද, කරනබවක් නොපෙණේද, ඔවුන් සඳහා මෙය කියනලදී. කුරුන්‍දියෙහි වනාහි ‘ඉදින් සාමණේරයෝ නොබරමය, ස්වාමිනි’ අපි කුමක් හෙයින් සඞ්ඝකර්‍ම නොකරමුද, කරන්නෙමු’යි යාඥා කෙරෙත්නම් සමකොටසක් දියයුතුය’යි කියන ලදී.

උත‍්තරිතුකාමොති නදිං වා කන‍්තාරං වා උත‍්තරිතුකාමො; සත්‍ථං ලභිත්‍වා දිසා පක‍්කමිතුකාමොති අත්‍ථො. සකං භාගං දාතුන‍්ති ඉදං භණ‍්ඩාගාරතො චීවරානි නීහරිත්‍වා පුඤ‍්ජෙ කතෙ ඝණ‍්ටියා පහටාය භික‍්ඛුසඞ‍්ඝෙ සන‍්නිපතිතෙ සත්‍ථං ලභිත්‍වා ගන‍්තුකාමො “සත්‍ථතො මා පරිහායී”ති එතමත්‍ථං සන්‍ධාය වුත‍්තං. තස‍්මා අනීහතෙසු වා චීවරෙසු අප‍්පහටාය වා ඝණ‍්ටියා අසන‍්නිපතිතෙ වා සඞ‍්ඝෙ දාතුං න වට‍්ටති. චීවරෙසු පන නීහතෙසු ඝණ‍්ටිං පහරිත්‍වා භික‍්ඛුසඞ‍්ඝෙ සන‍්නිපතිතෙ චීවරභාජකෙන “ඉමස‍්ස භික‍්ඛුනො කොට‍්ඨාසෙන එත‍්තකෙන භවිතබ‍්බ”න‍්ති තක‍්කෙත්‍වා නයග‍්ගාහෙන චීවරං දාතබ‍්බං. තුලාය තුලිතමිව හි සමසමං දාතුං න සක‍්කා, තස‍්මා ඌනං වා හොතු අධිකං වා, එවං තක‍්කෙන නයෙන දින‍්නං සුදින‍්නං. නෙව ඌනකං පුන දාතබ‍්බං, නාතිරිත‍්තං පටිග‍්ගණ‍්හිතබ‍්බන‍්ති.

“උත්තරිතුකාමො” ගඟක් හෝ කතරක් හෝ එතෙර කරනු කැමැත්තේද, ගැල්පදින සමූහයක් ලැබ දිශා යනු කැමැත්තේය, යන අර්‍ත්‍ථයි. “සකං භාගං දාතුං” භාණ්ඩාගාරයෙන් සිවුරු පිටතට ගෙන රාසි කළකල්හි ගෙඩිය ගැසූකල්හි භික්‍ෂු සඞ්ඝයා රැස්වූකල්හි ගැල්පදින සමූහයා ලැබ යනු කැමැත්තේද, ගැල් පදිනජනසමූහයා කෙරෙන් නොපිරිහේවා යන මේ අර්‍ත්‍ථය සඳහා මෙය කියන ලද්දේය. එහෙයින් සිවුරු පිටතට නොගත්කල්හි හෝ ගෙඩිය නොගැසූකල්හි හෝ සඞ්ඝයා රැස්නොවූකල්හි හෝ දීම නොවටියි. සිවුරු පිටතට ගත්කල්හි ගෙඩිය ගසා සඞ්ඝයා රැස්වූ කල්හි සිවුරු බෙදන්නහු විසින් මේ මහණහුගේ කොටස මෙපමණ වියයුතුය’යි කල්පනාකොට නයග්‍රාහයෙන් සිවුරු දිය යුතුය. තරාදියෙන් කිරණ ලද්දක් මෙන් සමසමව දෙන්නට නොහැක්කේය. එහෙයින් අඩු හෝ වේවා වැඩි හෝ වේවා මෙසේ තර්‍කනයින් දෙන ලද්ද මනාකොට දෙන ලද්දේය. අඩුව නැවත නොමදිය යුතුය. වැඩියක් නොපිළිගත යුතුය.

අතිරෙකභාගෙනාති දස භික‍්ඛූ හොන‍්ති, සාටකාපි දසෙව, තෙසු එකො ද‍්වාදස අග‍්ඝති, සෙසා දසග‍්ඝනකා. සබ‍්බෙසු දසග‍්ඝනකවසෙන කුසෙ පාතිතෙ යස‍්ස භික‍්ඛුනො ද‍්වාදසග‍්ඝනකො කුසො පාතිතො, සො “එත‍්තකෙන මම චීවරං පහොතී”ති තෙන අතිරෙකභාගෙන ගන‍්තුකාමො හොති. භික‍්ඛූ “අතිරෙකං ආවුසො සඞ‍්ඝස‍්ස සන‍්තක”න‍්ති වදන‍්ති, තං සුත්‍වා භගවා “සඞ‍්ඝිකෙ ච ගණසන‍්තකෙ ච අප‍්පකං නාම නත්‍ථි, සබ‍්බත්‍ථ සංයමො කාතබ‍්බො, ගණ‍්හන‍්තෙනාපි කුක‍්කුච‍්චායිතබ‍්බ”න‍්ති දස‍්සෙතුං “අනුජානාමි භික‍්ඛවෙ අනුක‍්ඛෙපෙ දින‍්නෙ”ති ආහ. තත්‍ථ අනුක‍්ඛෙපො නාම යංකිඤ‍්චි අනුක‍්ඛිපිතබ‍්බං අනුප‍්පදාතබ‍්බං කප‍්පියභණ‍්ඩං; යත‍්තකං තස‍්ස පටිවීසෙ අධිකං, තත‍්තකෙ අග‍්ඝනකෙ යස‍්මිං කිස‍්මිඤ‍්චි කප‍්පියභණ‍්ඩෙ දින‍්නෙති අත්‍ථො.

“අතිරෙකෙන භාගෙන” මහණහු දසනමක් වෙත්. වස්ත්‍රද දසයක්ම වේ. ඒ වස්ත්‍ර අතුරෙහි එක් වස්ත්‍රයක් කහවණු දොළොසෙක් වටියි. සෙසු වස්ත්‍ර කහවණු දසය දසය වටියි. සියලු වස්ත්‍රයන්හි කහවණු දසය දසය අගය වසයෙන් කුසපත හෙලූකල්හි යම් මහණක්හුගේ දොළොසක් අගනා කොටසෙහි කුසපත වැටුනේද, ඒ මහණතෙමේ ‘මෙපමණකින් මට සිවුර පොහොනේය’යි ඒ අතිරෙකභාගයෙන් යනු කැමැත්තේ වේද, මහණහු ‘ඇවැත’ අධිකය. සඟසතුය’යි කියත්ද, එය අසා භාග්‍යවතුන් වහන්සේ සඞ්ඝිකයෙහිද, ගණසන්තකයෙහිද අල්පයක් නම් නැත්තේය. සියලුතන්හි සංයමය කටයුතුය. ගන්නහු විසින්ද, කුකුස් කටයුතුය’යි දක්වන්නට “අනුජානාමි භික්‍ඛවෙ අනුක්‍ඛෙපෙ දින්නෙ” යනු වදාළ සේක. එහි අනුක්‍ඛෙප නම්, උත්ක්‍ෂෙපය නොකටයුතු, දියයුතු යම්කිසි කප්පිය භාණ්ඩයකි. ඒ මහණහුගේ කොටසෙහි යම් පමණ අධිකවේද එපමණ අගනා යම්කිසි කප්පිය භාණ්ඩයක් දුන් කල්හිය යන අර්‍ත්‍ථයයි.

විකලකෙ තොසෙත්‍වාති එත්‍ථ චීවරවිකලකං පුග‍්ගලවිකලකන‍්ති ද‍්වෙ විකලකා. චීවරවිකලකං නාම සබ‍්බෙසං පඤ‍්ච පඤ‍්ච වත්‍ථානි පත‍්තානි, සෙසානිපි අත්‍ථි, එකෙකං පන න පාපුණාති, ඡින්‍දිත්‍වා දාතබ‍්බානි. ඡින්‍දන‍්තෙහි ච අඩ‍්ඪමණ‍්ඩලාදීනං වා උපාහනත්‍ථවිකාදීනං වා පහොනකානි ඛණ‍්ඩානි කත්‍වා දාතබ‍්බානි, හෙට‍්ඨිමපරිච‍්ඡෙදෙන චතුරඞ‍්ගුලවිත්‍ථාරම‍්පි අනුවාතප‍්පහොනකායාමං ඛණ‍්ඩං කත්‍වා දාතුං වට‍්ටති, අපරිභොගං පන න කාතබ‍්බන‍්ති එවමෙත්‍ථ චීවරස‍්ස අප‍්පහොනකභාවො චීවරවිකලකං. ඡින්‍දිත්‍වා දින‍්නෙ පන තං තොසිතං හොති, අථ කුසපාතො කාතබ‍්බො. සචෙපි එකස‍්ස භික‍්ඛුනො කොට‍්ඨාසෙ එකං වා ද‍්වෙ වා වත්‍ථානි නප‍්පහොන‍්ති, තත්‍ථ අඤ‍්ඤං සාමණකං පරික‍්ඛාරං ඨපෙත්‍වා යො තෙන තුස‍්සති, තස‍්ස තං භාගං දත්‍වා පච‍්ඡා කුසපාතො කාතබ‍්බො. ඉදම‍්පි චීවරවිකලකන‍්ති අන්‍ධකට‍්ඨකථායං වුත‍්තං.

“විකලකෙ තොසෙත්‍වා” මෙහි චීවරවිකලක - පුද්ගලවිකලකයි විකලක දෙකක් වේ. චීවරවිකලක නම් සියල්ලන්ට වස්ත්‍රපසක් පසක් පැමිණියේද, සෙසු වස්ත්‍රත් ඇත්තේද, එක එක නොපැමිණේද සිඳ දිය යුතුය. සිඳින්නවුන් විසින්ද අඩමැඩිලි ආදීන්ට හෝ වහන්ථවිකාදීන්ට හෝ සෑහෙන පමණින් කඩකොට දියයුතුය. යටත්පිරිසෙයින් සතරඟුල් පළල ඇති නුවාවට සෑහෙන දිගඇති කඩකොට දීම වටියි. අපරිභොගය නොකටයුතුය. මෙසේ මෙහි සිවුරෙහි නොපොහොනාබව චීවරවිකලක නම. සිඳදුන් කල්හි හෝ සතුටු කරන ලද්දේ වේ. නැවත කුසපත හෙලීම කටයුතුය. ඉදින් එක් මහණක්හුගේ කොටසෙහි එකක් හෝ දෙකක් හෝ වස්ත්‍ර නොපොහොනේද එහි අනික් මහණුන්ට හිතවූ පිරිකරක් තබා යම් කෙනෙක් එයින් සතුටුවේද, ඔහුට ඒ කොටස පසුව කුසපාතය කටයුතුය. මෙද චීරවිකලකැයි අන්‍ධකාර්‍ත්‍ථකථාවෙහි කියන ලදී.

පුග‍්ගලවිකලකං නාම දස දස භික‍්ඛූ ගණෙත්‍වා වග‍්ගං කරොන‍්තානං එකො වග‍්ගො න පූරති, අට‍්ඨ වා නව වා හොන‍්ති, තෙසං අට‍්ඨ වා නව වා කොට‍්ඨාසා “තුම‍්හෙ ඉමෙ ගහෙත්‍වා විසුං භාජෙථා”ති දාතබ‍්බා. එවමයං පුග‍්ගලානං අප‍්පහොනකභාවො පුග‍්ගලවිකලකං. විසුං දින‍්නෙ පන තං තොසිතං හොති, එවං තොසෙත්‍වා කුසපාතො කාතබ‍්බොති. අථ වා විකලකෙ තොසෙත්‍වාති යො චීවරවිභාගො ඌනකො, තං අඤ‍්ඤෙන පරික‍්ඛාරෙන සමං කත්‍වා කුසපාතො කාතබ‍්බො.

පුද්ගලවිකලක නම් මහණුන් දසදෙන දසදෙන බැගින් ගැණ වර්‍ගකරන්නවුන්ට එක් වර්‍ගයෙක් නොපිරේද, අටක් හෝ නවයක් හෝ වෙත්ද, ඔවුන්ගේ අටක් හෝ නවයක් කොටස් ‘තෙපි මේ කොටස් වෙන්ව බෙදා ගනිවු’යි දියයුතුය. මෙසේ මේ පුද්ගලයන්ගේ නොපොහොනාබව පුද්ගලවිකලක නම. වෙන්කොට දුන්කල්හි හෝ සතුටු කරන ලද්දේ වේ. මෙසේ සතුටුකොට කුසපාතය කටයුතුය.