යෙදුමෙන් කියවන්න

2. මහාමොග‍්ගල‍්ලානත්‍ථෙරාපදානං

2. මහාමොග‍්ගල‍්ලානත්‍ථෙරාපදානං.

2. මහාමෞද්ගල්‍යායන ස්ථවිරාවදානය

374. අනොමදස‍්සී භගවා ලොකජෙට‍්ඨො නරාසභො, විහාසි හිමවන‍්තම‍්හි දෙවසඞ‍්ඝපුරක‍්ඛතො.

374. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ අනෝමදස්සී භාග්‍යවතුන් වහන්සේ දිව්‍යසමූහයා විසින් පිරිවරණ ලදු ව හිමවතෙහි විසූහ.

375. වරුණො නාම නාමෙන නාගරාජා අහං තදා, කාමරූපී විකුබ‍්බාමි මහොදධිනිවාසහං.

375. එකල්හි මම නමින් වරුණ නම් වූ නාගරාජයෙක් වීමි. කැමැති රූපයන් මවනසුලු වූයෙම් ඍද්ධිවිකුර්‍වණය කරමි. මම මහසයුර නිවාස කොට ඇත්තේ වීමි.

376. සඞ‍්ගණියං ගණං හිත්‍වා තුරියං පට‍්ඨපෙසහං, සම‍්බුද‍්ධං පරිවාරෙත්‍වා වාදෙසුං අච‍්ඡරා තදා.

376. නිතර සිය පිරිවර වූ නාගසමූහයා හැර මම තූර්‍ය්‍යවාදනයන් පැවැත්වීමි. එකල්හි නාමෙණෙවියෝ (අනෝමදස්සී) බුදුරජානන් වහන්සේ පිරිවරා ගෙණ වාදනය කළාහු ය.

377. වජ‍්ජමානෙසු තුරියෙසු දෙවා තුරියානි වජ‍්ජයුං, උභින‍්නං සද‍්දං සුත්‍වාන බුද‍්ධො’පි සම‍්පබුජ‍්ඣථ.

377. (මනුෂ්‍ය - නාග) තූර්‍ය්‍යයන් වාදනය කරණු ලබන කල්හි (චාතුර්මහාරාජික) දෙවියෝ ද දිව්‍යතූර්‍ය්‍යයන් වාදනය කළාහු ය. මේ දෙපිරිස ගේ තුර්‍ය්‍යශබ්දය අසා බුදුරජානන් වහන්සේ ඒ බව දත් සේක.

378. නිමන‍්තයිත්‍වා සම‍්බුද‍්ධං සකං භවනමුපාගමිං, ආසනං පඤ‍්ඤපෙත්‍වාන කාලමාරොචයිං අහං.

378. බුදුරජානන් වහන්සේට ආරාධනා කොට ස්වකීය නාගභවනයට එළඹියෙමි. මම අසුන් පණවා (දානයට සුදුසු) කාලය සැළ කෙළෙමි.

379. ඛීණාසවසහස‍්සෙහි පරිවුතො ලොකනායකො, ඔභාසෙන‍්තො දිසා සබ‍්බා භවනං මෙ උපාගමි.

379. රහතුන් දහසක් විසින් පිරිවරණලද බුදුරජානන් වහන්සේ සියලු දිසාවන් බබුළුවමින් මාගේ භවනයට එළඹිසේක.

380. උපවිට‍්ඨං මහාවීරං දෙවදෙවං නරාසභං, සභික‍්ඛුසඞ‍්ඝං තප‍්පෙසිං අන‍්නපානෙන’හං තදා.

380. එකල්හි මම (එසේ) වැඩහුන් භික්‍ෂුසංඝයා සහිත වූ මහාවීර වූ දේවාතිදේව වූ නරශ්‍රේෂ්ඨ වූ බුදුරජානන් වහන්සේ ආහාරපානයෙන් සන්තර්‍පණය කෙළෙමි.

381. අනුමොදි මහාවීරො සයම‍්භූ අග‍්ගපුග‍්ගලො, භික‍්ඛුසඞ‍්ඝෙ නිසීදිත්‍වා ඉමා ගාථා අභාසථ.

381. සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ මහාවීර වූ අග්‍රපුද්ගල වූ බුදුරජානන් වහන්සේ භික්‍ෂුසංඝයා මැද හිඳ අනුමෝදනාව කළසේක. මේ ගාථාවෝ ද වදාරණ ලදහ:-

382. “යො සො සඞ‍්ඝං අපූජෙසි බුද‍්ධඤ‍්ච ලොකනායකං, තෙන චිත‍්තප‍්පසාදෙන දෙවලොකං ගමිස‍්සති.

382. “යමෙක් තෙම ලෝකනායක වූ බුදුරජානන් වහන්සේ ද සංඝයා ද පිදී නම්, හෙතෙම ඒ සිත පැහැදවීම් හේතුවෙන් දෙව්ලොවට යන්නේ ය.

383. සත‍්තසත‍්තතික‍්ඛත‍්තුං ච දෙවරජ‍්ජං කරිස‍්සති, පථව්‍යා රජ‍්ජං අට‍්ඨසතං වසුධං ආවසිස‍්සති.

383. තවද සත්සත්තෑවරක් දිව්‍යරාජ්‍යය කරන්නේ ය. අටසියක් වරෙක පෘථිවීරාජ්‍යය කරමින් පොළොවෙහි වෙසෙන්නේ ය.

384. පඤ‍්චපඤ‍්ඤාසක‍්ඛත‍්තුඤ‍්ච චක‍්කවත‍්තී භවිස‍්සති. භොගා අසඞ‍්ඛියා තස‍්ස උප‍්පජ‍්ජිස‍්සන‍්ති තාවදෙ.

384. පස්පණස්වරක් සක්විතිරජ වන්නේ ය. එකල්හි ඔහුට අපමණ භෝගයෝ උපදින්නාහු ය.

385. අපරිමෙය්‍යෙ ඉතො කප‍්පො ඔක‍්කාකකුලසම‍්භවො, ගොතමො නාම නාමෙන සත්‍ථා ලොකෙ භවිස‍්සති.

385. මෙයින් අපරිමෙය්‍ය කල්පයෙහි (=ඒකාසඞ්ඛ්‍ය කල්පලක්‍ෂයකින් පසු ව) ඔක්කාක කුලයෙහි උපන්නා වූ ගෝත්‍රයෙන් ගෞතම නම් වූ ශාස්තෘන් වහන්සේ ලෝකයෙහි පහළ වන්නේ ය.

386. නිරයා සො චවිත්‍වාන මනුස‍්සත‍්තං ගමිස‍්සති, කොලිතො නාම නාමෙන බ්‍රහ‍්මබන්‍ධු භවිස‍්සති.

386. හෙතෙම (=චරණ නාගරාජ තෙම) නිරයෙන් චුත ව මිනිසත් බවට යන්නේ ය. නමින් කෝලිත නම් වූ බ්‍රාහ්මණයෙක් වන්නේ ය.

387. සො පච‍්ඡා පබ‍්බජිත්‍වාන කුසලමූලෙන චොදිතො, ගොතමස‍්ස භගවතො දුතියො හෙස‍්සති සාවකො.

387. හෙතෙමේ පසු ව කුශලමූලයන් විසින් මෙහෙයන ලදුයේ පැවිදි ව ගෞතම බුදුරජානන් වහන්සේගේ ද්විතීය ශ්‍රාවකයා වන්නේ ය.

388. ආරද‍්ධවිරියො පහිතත‍්තො ඉද‍්ධියා පාරමිං ගතො, සබ‍්බාසවෙ පරිඤ‍්ඤාය නිබ‍්බායිස‍්සතනාසවො.”

388. පටන් ගන්නා ලද වීර්‍ය්‍යඇත්තේ ඍද්ධියෙහි කෙළ පැමිණියේ සියලු ආශ්‍රවධර්‍මයන් පිරිසිඳ දැන (දුරු කොට) ආශ්‍රවරහිත ව ක්ලේශ–පරිනිර්‍වාණයෙන් පිරිනිවන් පාන්නේ ය.”

389. පාපමිත‍්තොපනිස‍්සාය කාමරාගවසං ගතො, මාතරං පිතරඤ‍්චාපි ඝාතයිං දුට‍්ඨමානසො.

389. පාපමිත්‍රයන් ඇසුරෙන් කාමරාගයෙහි වසඟයට ගියේ දුෂ්ට සිත් ඇත්තේ මව ද පියා ද නැසීමි.

390. යං යං යොනුපපජ‍්ජාමි නිරයං අථ මානුසං, පාපකම‍්මසමඞ‍්ගිත‍්තා භින‍්නසීසො මරාමහං.

390. මම නිරයෙහි හෝ නැතහොත් මිනිසුන් අතර හෝ යම් යම් යෝනියක උපදිම් නම්, (එකී) පාපකර්‍මයෙන් යුක්ත වීම නිසා බිඳීගිය හිස් ඇත්තෙම් මැරෙමි.

391. ඉදං පච‍්ඡිමකං මය‍්හං චරිමො වත‍්තතෙ භවො, ඉධාපි එදිසං මය‍්හං මරණකාලෙ භවිස‍්සති.

391. මෙය මාගේ සසරෙහි අවසානය යි. අන්තිම ආත්මභාවය වේ. මේ ආත්මයෙහි දී ද මැරෙණ කල්හි මට මෙබන්දක් වන්නේ ය.

392. පවිවෙකමනුයුත‍්තො සමාධිභාවනාරතො, සබ‍්බාසවෙ පරිඤ‍්ඤාය විහරාමි අනාසවො.

392. ප්‍රකර්‍ෂවිවේකයෙහි යෙදුනේ සමාධිභාවනාවෙහි ඇලුනේ සියලු ආශ්‍රවයන් පිරිසිඳ දැන (දුරු කොට) ආශ්‍රවරහිත ව වෙසෙමි.

393. ධරණිම‍්පි සුගම‍්භීරං බහලං දුප‍්පධංසියං, වාමඞ‍්ගුට‍්ඨෙන ඛොභෙය්‍යං ඉද‍්ධියා පාරමිං ගතො.

393. ඍද්ධියෙහි කෙළ පැමිණියා වූ මම ඉතා ගැඹුරු වූ ඝන වූ නො සෙල්විය හැකි පොළොව ද වම්පය මහපටැඟිල්ලෙන් සොලවන්නෙමි.

394. අස‍්මිමානං න පස‍්සාමි මානො මය‍්හං න විජ‍්ජති, සාමණෙරෙ උපාදාය ගරුචිත‍්තං කරොමහං.

394. අස්මිමානය (=මම ය යන හැඟීම) නො දකිමි. මට මානය නැත. මම හෙරණකු පටන් කොට සියලු භික්‍ෂුසඞ්ඝයා කෙරෙහි ගෞරව සිත (ඇති) කරමි.

395. අපරිමෙය්‍යෙ ඉතො කප‍්පෙ යං කම‍්මමභිනීහරිං, තාහං භූමිමනුප‍්පත‍්තො පත‍්තො’ම‍්හි ආසවක‍්ඛයං.

395. මෙයින් ඒකාසඞ්ඛ්‍ය කල්ප ලක්‍ෂයකට (=අපරිමෙය්‍ය කලාපයකට) පෙර (අගසවු බව පිණිස) යම් කර්‍මයක් රැස් කෙළෙම් ද, මම ඒ ශ්‍රාවක භූමියට පත් වීමි. ආශ්‍රවක්‍ෂයසඞ්ඛ්‍යාත නිවණට පැමිණියෙමි.

396. කිලෙසා ඣාපිතා මය‍්හං -පෙ- කතං බුද‍්ධස‍්ස සාසනං.

396. මා විසින් ක්ලේශයෝ දවන ලද්දාහු ය. –පෙ– බුදුරජානන් වහන්සේගේ අනුශාසනය ද කරණ ලදි.

(396, 397, 398 ගාථා 371, 372, 373 ගාථාහි සමා.)

(396, 397, 398 යන ගාථාවෝ 371, 372, 373 යන ගාථාවන් හා සමාන වෙති.)

ඉත්‍ථං සුදං ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මේ අයුරින් ආයුෂ්මත් මහාමෞද්ගල්‍යාන ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් දේශනා කළ සේකි.

මහාමොග‍්ගල‍්ලානත්‍ථෙරස‍්ස අපදානං දුතියං.

දෙවෙනි වූ මහාමෟද්ගල්‍යානස්ථවිරාවදානය යි.