යෙදුමෙන් කියවන්න

5. පුණ‍්ණත්‍ථෙරාපදානං

5. පුණ‍්ණත්‍ථෙරාපදානං

5. පූර්‍ණ ස්ථවිරාවදානය

438. අජ‍්ඣායකො මන‍්තධරො තිණ‍්ණං වෙදාන පාරගූ, පුරක‍්ඛතො’ම‍්හි සිස‍්සෙහි උපගච‍්ඡිං නරුත‍්තමං.

438. වේද හදාරවන්නා වූ මන්ත්‍රධර වූ වේදත්‍රයයෙහි පරතෙරට ගිය (මම) ශිෂ්‍යයන් විසින් පිරිවරණ ලදුයෙම් මනුෂ්‍යොත්තම වූ බුදුරජානන් වහන්සේ වෙත එළඹියෙමි.

439. පදුමුත‍්තරො ලොකවිදූ ආහුතීනං පටිග‍්ගහො, මම කම‍්මං පකිත‍්තෙසි සඞ‍්ඛිත‍්තෙන මහාමුනි.

439. පුදසත්කාර පිළිගැණීමට සුදුසු වූ තුන්ලෝ දත් මහා මුනි වූ පදුමුත්තර බුදුරජානන් වහන්සේ සංක්‍ෂිප්තවශයෙන් මාගේ කර්‍මය කීර්‍තනය කළ සේක.

440. තා’හං ධම‍්මං සුණිත්‍වාන අභිවාදෙත්‍වාන සත්‍ථුනො, අඤ‍්ජලිම‍්පග‍්ගහෙත්‍වාන පක‍්කාමිං දක‍්ඛිණාමුඛො.

440. මම ඒ ධර්‍මය අසා බුදුරජානන් වහන්සේට ඇඳිලි බැඳ අභිවාදනය කොට දකුණුදිගට මුහුණ ලා ගියෙමි. (=පැදකුණු කෙළෙමි).

441. සඞ‍්ඛිත‍්තෙන සුණිත්‍වාන විත්‍ථාරෙන අදෙසයිං, සබ‍්බෙ සිස‍්සා අත‍්තමනා සුත්‍වාන මම භාසතො.

441. සංක්‍ෂිප්ත ව අසා විස්තරවශයෙන් කීමි. එසේ කියන්නා වූ මාගේ වචනය අසා සියලු ශිෂ්‍යයෝ සතුටු වූහ.

442. සකදිට‍්ඨිං විනොදෙත්‍වා බුද‍්ධෙ චිත‍්තං පසාදයුං, සඞ‍්ඛිත‍්තෙනපි දෙසෙමි විත්‍ථාරෙන තථෙව ‘හං.

442. ඔහු ස්වකීය දෘෂ්ටිය හැර දමා බුදුන් කෙරෙහි සිත පැහැද වූහ. මම සංක්‍ෂිප්ත කොට ද දෙසමි. එසේ ම විස්තරවශයෙන් ද දෙසමි.

443. අභිධම‍්මනයඤ‍්ඤු’හං කථාවත්‍ථුවිසුද‍්ධියො, සබ‍්බෙසං විඤ‍්ඤපෙත්‍වාන විහරාමි අනාසවො.

443. විජම්නය (=අභිධර්‍මක්‍රම) දන්නා වූ මම දශකථාවස්තුවෙහි විශුද්ධීන් සියල්ලනට අවබෝධ කරවා ආශ්‍රව රහිත ව වෙසෙමි.

444. ඉතො පඤ‍්චසතෙ කප‍්පෙ චතුරො සුප‍්පකාසකා, සත‍්තරතනසම‍්පන‍්නා චතුදීපම‍්හි ඉස‍්සරා.

444. මෙයින් කප් පන්සියයකින් පෙර සතරමහදිවයිනෙහි අධිපති වූ සත්රුවනින් යුත් සුප්පකාසක නම් සිවුසක්විතිරජකෙනෙක් වූහ.

445. පටිසම‍්භිදා චතස‍්සො ච විමොක‍්ඛා’පි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

445. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද (මා විසින්) සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ ශාසනය ද කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා පුණ‍්ණො මන‍්තානිපුත‍්තො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් පුණ්ණමන්තානිපුත්ත ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් දේශනා කළ සේකි.

පුණ‍්ණමන‍්තානිපුත‍්තත්‍ථෙරස‍්ස අපදානං පඤ‍්චමං.

පස්වැනි වූ පුණ්ණමන්තානිපුත්ත ස්ථවිරාවදානය යි.