යෙදුමෙන් කියවන්න

117. බුද‍්ධසඤ‍්ඤකත්‍ථෙරාපදානං

117. බුද‍්ධසඤ‍්ඤකත්‍ථෙරාපදානං.

117. බුද්ධසඤ්ඤක ස්ථවිරාවදානය

1733. යදා විපස‍්සී ලොකග‍්ගො ආයුසංඛාරමොස‍්සජි, පඨවී සම‍්පකම‍්පිත්‍ථ මෙදිනී ජලමෙඛලා.

1733. යම් කලෙක්හි විපස්සී බුදුරජතෙම ආයුඃසංස්කාරය අත්හළේ ද, (එකල්හි) සයුරු මෙවුල් කොට ඇති (සයුරෙන් වට වූ) පෘථිවිය කම්පිත වී ය.

1734. ඔතතං විත්‍ථතං මය‍්හං සුවිචිත‍්තවටංසකං, භවනම‍්පි පකම‍්පිත්‍ථ බුද‍්ධස‍්ස ආයුසංඛයෙ.

1734. විසිතුරු මලින් සැරසූ මාගේ දිගුවිසල් භවනය ද තථාගතයන් වහන්සේගේ ආයුඃසංස්කාරය හරණා කල්හි කම්පිත වී ය.

1735. තාසො මය‍්හං සමුප‍්පන‍්නො භවනෙ සම‍්පකම‍්පිතෙ, උප‍්පාතො නු කිමත්‍ථාය ආලොකො විපුලො අහු.

1735. මාගේ භවනය කම්පිත වූ කල්හි තැති ගැණීම ද ඇති විය. කුමක් සඳහා ආලොකය මහත් වූයේ ද? උත්පාතය (=මහාභූතවිකාරය) වූ යේ ද?

1736. වෙස‍්සවණො ඉධාගම‍්ම නිබ‍්බාපෙසි මහාජනං, “පාණභුතෙ භයං නත්‍ථි එකග‍්ගා හොථ සංවුතා.

1736-1737. වෛශ්‍රවණ තෙම මෙහි පැමිණ මහාජනයා සන්සිඳවී ය. (කෙසේ ද? යත්:) එකඟ සිත් ඇත්තෝ සංවරයෙන් යුක්ත වවු. ප්‍රාණීන් කෙරෙහි බියක් නැත. යම් බුදුකෙනෙකුන් උපදනා කල්හි මහාපෘථිවිය කම්පිත වී ද, ඒ බුදුරජතෙම ආශ්චර්‍ය්‍ය ය. ධර්‍මයෝ ද ආශ්චර්‍ය්‍ය ය. අපගේ ශාස්තෘසම්පත්තිය ද ආශ්චර්‍ය්‍ය ය (කියායි).

1737. අහො බුද‍්ධො අහො ධම‍්මා අහො නො සත්‍ථු සම‍්පදා. යස‍්මිං උප‍්පජ‍්ජමානම‍්හි පඨවී සම‍්පකම‍්පති.”

1738. බුද‍්ධානුභාවං කිත‍්තෙත්‍වා කප‍්පං සග‍්ගම‍්හි මොදහං, අවසෙසෙසු කප‍්පෙසු කුසලං චරිතං මයා.

1738. මම බුදුගුණ පවසා කපක් ස්වර්‍ගයෙහි සතුටු වීමි. සෙසු කල්පයන්හි මා විසින් කුසල් කරණ ලදී.

1739. එකනවුතෙ ඉතො කප‍්පෙ යං සඤ‍්ඤමලභිං තදා, දුග‍්ගතිං නාභිජානාමි බුද‍්ධසඤ‍්ඤායිදං ඵලං.

1739. මෙයින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් බුද්ධසංඥාවක් (බුද්ධය යන හැඟීමක්) ලැබූයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධසංඥාවෙහි (බුදුරජානන් වහන්සේගේ ගුණ සිහි කිරීමෙහි) මේ විපාකය යි.

1740. ඉතො චුද‍්දසකප‍්පම‍්හි රාජා ආසිං පතාපවා, සමිතො නාම නාමෙන චක‍්කවත‍්තී මහබ‍්බලො.

1740. මෙයින් තුදුස්වන කපෙහි මහත් බල ඇති නමින් සමිත නම් වූ ප්‍රතාපවත් රජෙක් වීමි.

1741. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

1741. ප්‍රතිසම්භිදාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

ඉත්‍ථං සුදං ආයස‍්මා බුද‍්ධසඤ‍්ඤකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් බුද්ධසංඥක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.

බුද‍්ධසඤ‍්ඤකත්‍ථෙරස‍්ස අපදානං සත‍්තමං.

බුද්ධසඤ්ඤක ස්ථවිරාවදානය සත්වැනියි.