යෙදුමෙන් කියවන්න

21. වෙස‍්සභූ බුද‍්ධවංසො

21. වෙස‍්සභූ බුද‍්ධවංසො

21. වෙස්සභූ බුද්ධවංශය

1. තත්‍ථෙව මණ‍්ඩකප‍්පම‍්හි අසමො අප‍්පටිපුග‍්ගලො වෙස‍්සභූ නාම නාමෙන ලොකෙ උප‍්පජ‍්ජි නායකො.

1. ඒ මණ්ඩකල්පයෙහි මැ අසම වූ අප්‍රතිපුද්ගල වූ නාමයෙන් වෙස්සභූ නම් වූ බුදුරජාණන් වහන්සේ ලොවැ පහළ වූ සේක.

2. ආදිත‍්තන‍්ති ච රාගග‍්ගි තණ‍්හානං විජිතං තදා නාගො’ව බන්‍ධනං ඡෙත්‍වා පත‍්තො සම‍්බොධිමුත‍්තමං.

2. එකල්හි රාගගින්නෙන් (මෙ හැම තුන් ලොව) ආදීප්ත වී යයි ද, තෘෂ්ණාවන් ගේ විජිතයෙකැයි ද දැන කිඳිලියබැඳුම් සිඳ ඇත්රජක්හු සෙයින් (කෙලෙස් බැඳුම් සිඳ) උතුම් වූ සම්බෝධියට පැමිණි සේක.

3. ධම‍්මචක‍්කං පවත‍්තෙන‍්තෙ වෙස‍්සභූලොකනායකෙ අසීතිකොටිසහස‍්සානං පඨමා’භිසමයො අහු.

3. වෙස්සභූ ලෝකනායකයන් වහන්සේ දම්සක් පවත්වන කල්හි අසූකෙළදහසක් සත්නට ප්‍රථම ධර්‍මාවබෝධය වී.

4. පක‍්කන‍්තෙ චාරිකං රට‍්ඨෙ ලොකජෙට‍්ඨෙ නරාසභෙ සත‍්තති කොටිසහස‍්සානං දුතියා’භිසමයො අහු.

4. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ සර්‍වඥයන් වහන්සේ ජනපදචාරිකායේහි නික්මැ ගිය කල්හි සැත්තෑකෙළදහසක් සත්නට දෙවැනි ධර්‍මාභිසමය වී.

5. මහාදිට‍්ඨිං විනොදෙන‍්තො පාටිහීරං කරොති සො සමාගතා නරමරූ දසසහස‍්සී සදෙවකෙ.

5. ඒ බුදුහු මහත් වූ දෘෂ්ටිජාලය දුරු කෙරෙමින් යමාමහපෙළහර කළහ. එකල්හි දශසහස්‍රසදේවලෝකයෙහි දෙවිමිනිස්සු රැස්වූහ.

6. මහා අච‍්ඡරියං දිස‍්වා අබ‍්භුතං ලොමහංසනං දෙවා චෙ ව මනුස‍්සා ච බුජ‍්ඣරෙ සට‍්ඨිකොටියො.

6. අද්භූත වූ ලොමුදහන මහත් වූ ආශ්චර්‍ය්‍යය දැක සැටකෙළක් දෙවියෝ ද මනුෂ්‍යයෝ ද ධර්‍මාවබෝධය කළහ.

7. සන‍්නිපාතා තයො ආසුං වෙස‍්සභුස‍්ස මහෙසිනො ඛීණාසවානං විමලානං සන‍්තචිත‍්තාන’තාදිනං.

7. වෙස්සභූ මහර්ෂීන් වහන්සේට විගත වූ රාගාදිමල ඇති ශාන්ත වූ සිත් ඇති තාදීගුණ ඇති ක්‍ෂීණාස්‍රවයන් සම්බන්‍ධ වූ තුන් ශ්‍රාවකසන්නිපාත කෙනෙක් වූහ.

8. අසීතිභික‍්ඛුසහස‍්සානං පඨමො ආසි සමාගමො සත‍්තතිභික‍්ඛුසහස‍්සානං දුතියො ආසි සමාගමො.

8. අසූදහසක් භික්‍ෂූන්ගේ ප්‍රථමශ්‍රාවකසන්නිපාතය විය. සැත්තෑදහසක් භික්‍ෂූන්ගේ ද්විතීය ශ්‍රාවකසන්නිපාතය වී.

9. සට‍්ඨි භික‍්ඛුසහස‍්සානං තතියො ආසි සමාගමො ජරාදි භයා’තීතානං ඔරසානං මහෙසිනො.

9. ජරාදි සසරබිය ඉක්ම වූ මහර්ෂීන් පුත්‍ර වූ සැටදහසක් භික්‍ෂූන්ගේ තෘතීය ශ්‍රාවකසන්නිපාතය වී.

10. අහං තෙන සමයෙන සුදස‍්සනො නාම ඛත‍්තියො නිමන‍්තෙත්‍වා මහාවීරං දානං දත්‍වා මහාරහං අන‍්නපානෙන වත්‍ථෙන සසඞ‍්ඝං ජිනමපූජයිං.

10. එසමයෙහි මම් සුදර්‍ශන නම් ක්‍ෂත්‍රිය වූයෙම් මහාවීර වූ බුදුන් පවරා මහාර්‍හ වූ දනක් දී ආහාරපානයෙන් ද වස්ත්‍රයෙන් ද සඞ්ඝයා සහිත වූ බුදුන් පිදීමි.

11. තස‍්ස බුද‍්ධස‍්ස අසමස‍්ස චක‍්කං වත‍්තිත’මුත‍්තමං සුත්‍වාන පණීතං ධම‍්මං පබ‍්බජ‍්ජ’මභිරොචයිං.

11. අසම වූ ඒ බුදුන් විසින් උතුම් වූ දම්සක් පවත්වනලද. ප්‍රණීත වූ ඒ දහම් අසා පැවිද්ද රුචි කෙළෙමි.

12. මහාදානං පවත‍්තෙත්‍වා රත‍්තිං දිවමතන්‍දිතො පබ‍්බජ‍්ජං ගුණසම‍්පන‍්නං පබ‍්බජිං ජිනසන‍්තිකෙ.

12. රෑදෙවෙහි අනලස් වූයෙම් මහදන් පවත්වා පැවිද්ද ගුණසම්පන්න යැ යි දැන බුදුන් සමීපයෙහි පැවිදි වීමි.

13. ආචාරගුණසම‍්පන‍්නො වත‍්තසීලසමාහිතො සබ‍්බඤ‍්ඤුතං ගවෙසන‍්තො රමාමී ජිනසාසනෙ

13. ආචාරයෙන් හා ගුණයෙන් යුක්ත වූයෙම් වතින් හා ශීලයෙන් යුක්ත වූයෙම් සර්‍වඥතාඥානය සොයමින් බුදුසසුන්හි සිත් අලවා විසීමි.

14. සද‍්ධාපීතිමු’පාගන‍්ත්‍වා පාදෙ වන්‍දාමි සත්‍ථරි පීති උප‍්පජ‍්ජතී මය‍්හං බොධියායෙ’ව කාරණා.

14. ශ්‍රද්ධාවට ද ප්‍රීතියට ද පැමිණ ශාස්තෲන් වහන්සේගේ පාසඟුළුවන් වැන්දෙමි. සම්‍යක්සම්බෝධිය මැ හේතු කොට ගෙන මට ප්‍රීතිය උපන.

15. අනිවත‍්තිමානසං ඤත්‍වා සම‍්බුද‍්ධො එතද’බ්‍රවි එකතිංසෙ ඉතො කප‍්පෙ අයං බුද‍්ධො භවිස‍්සති.

15. සම්මාසම්බුදුහු (මා) නො පසුබස්නා සිත් ඇත්තහු දැන ‘මේ තෙම මෙයින් එක්තිස් වන කපැ බුදු වන්නේ ය’යි මෙවදන් වදාළහ.

16. අහූ කපිලව‍්හයා රම‍්මා නික‍්ඛමිත්‍වා තථාගතො පධානං පදහිත්‍වාන කත්‍වා දුක‍්කරකාරිකං.

16. එකල්හි තථාගත වූ බෝසත්හු රම්‍ය වූ කපිල නම් පුරයෙන් නික්ම ප්‍රධන්වීර්‍ය්‍ය වඩා දුෂ්කරක්‍රියා කොට–

17. අජපාලරුක‍්ඛමූලම‍්හි නිසීදිත්‍වා තථාගතො තත්‍ථ පායාසං පග‍්ගය‍්හ නෙරංජරමුපෙහිති.

17. ඒ තථාගතයෝ අජපල් නම් නුගරුක්මුල වැඩහිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලාහෝතෙරට පැමිණෙන්නාහ.

18. නෙරඤ‍්ජරාය තීරම‍්හි පායාසං ආදාය සො ජිනො පටියත‍්තවරමග‍්ගෙන බොධිමූලමුපෙහිති.

18. ඒ ජිතමාර වූ බෝසත්හු නිල්දලාගංතෙර හිඳ කිරිපිඬු වළඳා දෙවියන් සැරසූ උතුම් මඟින් බෝමුල කරා පැමිණෙන්නාහ.

19. තතො පදක‍්ඛිණං කත්‍වා බොධිමණ‍්ඩං අනුත‍්තරො අස‍්සත්‍ථරුක‍්ඛමූලම‍්හි බුජ‍්ඣිස‍්සති මහායසො.

19. ඉක්බිති අනුත්තර වූ මහසත්හු මහායශස් ඇත්තාහු ඇසැතුරුක්මුල්හි වැඩහිඳ සත්‍යාවබෝධය කරන්නාහ.

20. ඉමස‍්ස ජනිකා මාතා මායා නාම භවිස‍්සති පිතා සුද‍්ධොදනො නාම අයං හෙස‍්සති ගොතමො.

20. මොවුන්ගේ ජනිකමව් තොමෝ මායා නම් වන්නී යැ පිය තෙමේ සුද්ධෝදන නම් වන්නේ යැ මේ තෙමේ ගොතම නම් වන්නේ යි.

21. අනාසවා වීතරාගා සන‍්තචිත‍්තා සමාහිතා කොලිතො උපතිස‍්සො ච අග‍්ගා හෙස‍්සන‍්ති සාවකා ආනන්‍දො නාමු’පට‍්ඨාකො උපට‍්ඨිස‍්සති තං ජිනං

21. අනාස්‍රව වූ වීතරාග වූ ශාන්ත සිත් ඇති අර්‍හත්ඵලසමාධියෙන් සමාහිත වූ කෝලිත යැ උපතිස්ස යැ යන මොහු අග්‍රශ්‍රාවක වන්නාහ. ඒ බුදුන්ට ආනන්‍ද නම් උපස්ථායකයෙක් උපස්ථාන කරන්නේ යි.

22. ඛෙමා උප‍්පලවණ‍්ණා ච අග‍්ගා හෙස‍්සන‍්ති සාවිකා බොධි තස‍්ස භගවතො අස‍්සත්‍ථො’ති පවුච‍්චති.

22. ඛේමා යැ උප්පලවණ්ණා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වන්නාහ. ඒ භාග්‍යවතුන්ගේ බෝධිය ඇසැතු යයි කියනු ලැබෙයි.

23. චිත‍්තො ච හත්‍ථාළවකො අග‍්ගා හෙස‍්සන‍්තු’පට‍්ඨකා උත‍්තරා නන්‍දමාතා ච අග‍්ගා හෙස‍්සන‍්තු පට‍්ඨිකා ආයු වස‍්සසතං තස‍්ස ගොතමස‍්ස යසස‍්සිනො.

23. චිත්ත යැ හත්‍ථාළවක යැ යන මොහු අග්‍රෝපස්ථායක වන්නාහ, උත්තරා යැ නන්‍දමාතා යැ යන මොහු අග්‍රෝපස්ථායිකා වන්නාහ. යශස්වී වූ ඒ ගෞතමබුදුන්ට ආයු සියක්හවුරුදු වෙයි.

24. ඉදං සුත්‍වාන වචනං අසමස‍්ස මහෙසිනො ආමොදිතා නරමරූ බුද‍්ධබීජඞ‍්කුරො අයං.

24. අසම වූ මහර්ෂීන්ගේ මෙවදන් අසා දේවමනුෂ්‍යයෝ මේ තෙමේ බුද්ධවීරාඞ්කුරයෙකැ’යි සතුටු වූවාහු.

25. උක‍්කුට‍්ඨිසද‍්දං වත‍්තෙන‍්ති අප‍්ඵොටෙන‍්ති හසන‍්ති ච කතඤ‍්ජලී නමස‍්සන‍්ති දසසහස‍්සී සදෙවකා.

25. ඔල්වරසන් පවත්වති, අපොළති, සිනාසෙති, දෙවියන් සහිත වූ දසදහසක් සක්වළවැසියෝ බදැඳිලි වැ නමස්කාර කෙරෙත්.

26. යදි’මස‍්ස ලොකනාථස‍්ස විරජ‍්ඣිස‍්සාම සාසනං අනාගතම‍්හි අද‍්ධානෙ හෙස‍්සාම සම‍්මුඛා ඉමං.

26. ඉදින් ඇපි මේ ලෝහිමියන්ගේ සස්න වරදමෝ නම් අනාගත කාලයෙහි මොවුන් හමු වන්නම්හ.

27. යථා මනුස‍්සා නදිං තරන‍්තා පටිතිත්‍ථං විරජ‍්ඣිය හෙට‍්ඨා තිත්‍ථෙ ගහෙත්‍වාන උත‍්තරන‍්ති මහානදිං.

27. යම්සේ ගඟ තරණය කරන මිනිස්සු හමුයෙහි වූ තොට වැරැද යටැ තොටැහි ගෙන මහගඟ තරණය කෙරෙත් ද,

28. එව’මෙව මයං සබ‍්බෙ යදි මුඤ‍්චාමි මං ජිනං අනාගතම‍්හි අද‍්ධානෙ හෙස‍්සාම සම‍්මුඛා ඉමං.

28. එසෙයින් මැ ඇපි සියල්ලමෝ ඉදින් මෙ බුදුන් හරමෝ නම් අනාගතකාලයෙහි මොවුන් හමු වන්නම්හ.

29. තස‍්සා’හං වචනං සුත්‍වා භිය්‍යො චිත‍්තං පසාදයිං උත‍්තරිං වතමධිට‍්ඨාසිං දසපාරමිපූරියා.

29. මම් ඔබගේ බස් අසා වැඩි තරම් කොට සිත පැහැදවීමි දසපැරුම් පුරනු සඳහා මත්තෙහි ව්‍රතාධිෂ්ඨානය කෙළෙමි.

30. අනුපමං නාම නගරං සුප‍්පතීතො නාම ඛත‍්තියො මාතා යසවතී නාම වෙස‍්සභුස‍්ස මහෙසිනො.

30. මහර්ෂී වූ වෙස්සභූ බුදුන්ගේ නගරය අනුපම නම් විය. සුප්පතීත නම් ක්‍ෂත්‍රිය තෙමේ පියා විය. මව් තොමෝ යසවතී නම් වූ දේවිය යි.

31. ඡබ‍්බස‍්සසහස‍්සානි අගාරමජ‍්ඣ සො වසී රුචිසුරුචිරතිවඩ‍්ඪනො තයො පාසාදමුත‍්තමා.

31. ඒ බුදුහු සදහසක් හවුරුදු ගිහිගෙයි විසූහ. ඔබට රුචි යැ සුරුචි යැ රතිවඩ්ඪන යැ යන උතුම් වූ තුන් පහයෙක් වී.

32. අනූනතිංසසහස‍්සානි නාරියො සමලඞ‍්කතා සුචිත‍්තා නාම සා නාරී සුප‍්පබුද‍්ධො නාම අත්‍රජො.

32. මොනොවට සැරසුණු නො අඩු වූ තිස්දහසක් පරිවාරස්ත්‍රීහු වූහ. සුචිත්තා නම් ප්‍රසිද්ධ වූ ස්ත්‍රිය අගමෙහෙසි වූ යැ පුත්‍ර තෙමේ සුප්පබුද්ධ නම් වී.

33. නිමිත‍්තෙ චතුරො දිස‍්වා සිවිකායා’භිනික‍්ඛමි ඡ මාසං පධානචාරං අචරී පුරිසුත‍්තමො.

33. සතර පෙරනිමිති දැක සිවිකායෙකින් මහබිනික්මන් කළහ. ඒ පුරුෂෝත්තමයෝ සමසක් මුළුල්ලෙහි ප්‍රධන්වීර්‍ය්‍ය කළහ.

34. බ්‍රහ‍්මුනා යාචිතො සන‍්තො වෙස‍්සභුලොකනායකො වත‍්ති චක‍්කං මහාවීරො අරුණාරාමෙ නරුත‍්තමො.

34. මහාවීර වූ නරෝත්තම වූ වෙස්සභූ ලෝකනායකයන් වහන්සේ මහබඹහු විසින් අයදනා ලද්දාහු අරුණාරාමයෙහි වැඩහිඳ දම්සක් පැවැත්වූහ.

35. සොණො ච උත‍්තරො චෙව අහෙසුං අග‍්ගසාවකා උපසන‍්තො නාමු’පට‍්ඨාකො වෙස‍්සභුස‍්ස මහෙසිනො.

35. ඒ වෙස්සභූ සර්‍වඥයන් වහන්සේට සෝණ යැ උත්තර යැ යි අගසවු දෙදෙනෙක් වූහ. උපසන්ත නම් තෙර කෙනෙක් උපස්ථායක වූහ.

36. දාමා චෙව සමාලා ච අහෙසුං අග‍්ගසාවිකා බොධි තස‍්ස භගවතො සාලො ඉති පවුච‍්චති

36. දාමා යැ සමාලා යැ යන අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූහ. ඒ භාග්‍යවතුන් වහන්සේගේ බෝධිය ‘සල්රුකැ’යි කියනු ලැබේ.

37. සොත්‍ථිකො චෙව රම‍්මො ච අහෙසුං අග‍්ගු’පට‍්ඨකා ගොතමී ච සිරිමා ච අහෙසුං අග‍්ගු’පට‍්ඨිකා.

37. සොත්‍ථික යැ රම්ම යැ යි අග්‍රෝපස්ථායකයෝ දෙදෙනෙක් වූහ. ගෝතමී යැ සිරිමා යැ යි අග්‍රෝපස්ථායිකා දෙදෙනෙක් වූහ.

38. සට‍්ඨිරතනමුබ‍්බෙධො හෙමයූපසමූපමො කායා නිච‍්ඡරතී රංසි රත‍්තිං සිඛී ව පබ‍්බතෙ.

38. රන්ටැඹක් බඳු වූ ඒ බුදුහු සැටරියන් උස් වූහ. රාත්‍රියෙහි කඳුමුදුනෙක ගින්නක් සෙයින් (ඔබගේ) සිරිරින් රැස් නික්මිණි.

39. සට‍්ඨිවස‍්සසහස‍්සානි ආයු විජ‍්ජති තාවදෙ තාවතා තිට‍්ඨමානො සො තාරෙසි ජනතං බහුං.

39. එකල්හි සැටදහසක් හවුරුදු ආයු විය. එතෙක්කල් වැඩසිටිමින් ඒ බුදුහු බොහෝ ජනසමූහයා සසරින් තැරැවූහ.

40. ධම‍්මං විත්‍ථාරිකං කත්‍වා විභජිත්‍වා මහාජනං ධම‍්මනාවං ඨපෙත්‍වාන නිබ‍්බුතො සො සසාවකො.

40. දහම් පතුරුවා මහාජනයා (උද්ඝටිතාදි විසින් ශ්‍රෝතාපන්නාදි විසින්) විභාග කොට (අෂ්ටාඞ්ගමාර්‍ග සඞ්ඛ්‍යාත) දහම්නැවැ පිහිටුවා ශ්‍රාවකයන් සහිත වූ ඒ බුදුහු පිරිනිවිසේක.

41. දස‍්සනීයං සබ‍්බජනං විහාරඤ‍්චිරියාපථං සබ‍්බං සමන‍්තරහිතං නනු රිත‍්තා සබ‍්බසඞ‍්ඛාරා

41. දර්‍ශනීය ඒ සියලු ශ්‍රාවකයන් සහිත ඒ බුදුහු ද විහරණය ද ඊර්‍ය්‍යාපථය ද යන සියල්ල අතුරුදහන් වී. හැම සංස්කාරයෝ තුච්ඡ වූවාහු නු?

42. වෙස‍්සභූ ජිනවරො සත්‍ථා ඛෙමාරාමම‍්හි නිබ‍්බුතො ධාතු විත්‍ථාරිකං ආසී තෙසු තෙසු පදෙසතොති.

42. ජිනවර වූ වෙස්සභූ ශාස්තෲන් වහන්සේ ඛේමාරාමයෙහි පිරිනිවි සේක. ඔබගේ ධාතූහු ඒ ඒ පෙදෙස්හි පැතුරුණාහ’යි.

වෙස‍්සභූ බුද‍්ධවංසො එකවීසතිමො.

එක්විසිවැනි වෙස්සභූ බුද්ධවංශ යි.