යෙදුමෙන් කියවන්න

8. සිවිරාජ චරියං

8. සිවිරාජ චරියං

8. සිවිරාජ චරියාව

51. අරිට‍්ඨසව‍්හයෙ නගරෙ සිවි නාමාසිං ඛත‍්තියො නිසජ‍්ජ පාසාදවරෙ එවං චින‍්තෙසහං තදා.

51. (යම් කලෙක මම) අරිට්ඨ නම් නුවර (ගෝත්‍රයෙන්) සිවි නම් වූ ක්‍ෂත්‍රිය රජ වූයෙම් ද, එකල මම උතුම් ප්‍රාසාදයෙහි හිඳ මෙසේ සිතූයෙමි:

52. යං කිඤ‍්චි මානුසං දානං අදින‍්නං මෙ න විජ‍්ජති යොපි වාචෙය්‍ය මං චක‍්ඛුං දදෙය්‍යං අවිකම‍්පිතො.

52. ම විසින් නො දෙන ලද යම් කිසි මානුසක දානවස්තුවෙක් නැත. යමෙක් මාගෙන් ඇස ඉල්ලා නම් නො සැලුණු සිත් ඇතිව එය දෙන්නෙමි යි,

53. මම සඞ‍්කප‍්පමඤ‍්ඤාය සක‍්කො දෙවානමිස‍්සරො නිසින‍්නො දෙවපරිසාය ඉදං වචනමබ්‍රුවි.

53. මා ගේ අදහස දැනගෙන දෙවියන්ට අධිපති වූ සක්දෙව් රජ දෙව් පිරිස්හි හුන්නේ මෙ වදන් කී:

54. නිසජ‍්ජපාසාදවරෙ සිවිරාජා මහිද‍්ධිකො චින‍්තෙන‍්තො විවිධං දානං අදෙය්‍යං සො න පස‍්සති,

54. මහත් රාජර්ද්ධී ඇති ඒ සිවිරජ තෙම උතුම් පහයෙහි හිඳ තමා දුන් විවිධ (බාහිර) දානය සිතන්නේ නො දිය හැකි ආධ්‍යාත්මික වස්තුවකුදු නො දකී.

55. තථන‍්නු විතථන‍්තෙතං හන්‍ද වීමංසයාමි තං මුහුත‍්තං ආගමෙය්‍යාථ යාව ජානාමි තං මනං.

55. එබැවින් තෙල දානාධ්‍යාසය සත්‍යයෙක් දෝ හෝ අසත්‍යයෙක් දෝ හොයි ඒ සිවිරජුහු විමසමි යි ඔහුගේ සිත යම් තාක් දැන ගනිම් ද ඒ තාක් මොහොතක් බලව.

56. පවෙධමානො පලිතසිරො වලිතගත‍්තො ජරාතුරො අන්‍ධවණ‍්ණොව හුත්‍වාන රාජානං උපසඞ‍්කමි.

56. පැසුණු හිස ඇත්තේ රැළි වැටුණු ශරීර ඇත්තේ, මෙකී ජරා යෙන් පීඩිතවූයේ වෙවුළමින් අඳ වෙස් ඇති වැ රජු කරා එළඹියේ ය.

57. සො තදා පග‍්ගහෙත්‍වාන වාමං දක‍්ඛිණබාහු ච සිරස‍්මිං අඤ‍්ජලිං කත්‍වා ඉදං වචනමබ්‍රුවි.

57. එ කල ඒ බමුණු වෙස් ගත් සක් දෙව් රජ වමත ද දකුණත ද ඔසවා හිස මතුයෙහි ඇඳිලි කොට ගෙන මෙවදන් කී:

58. යාචාමි තං මහාරාජ ධම‍්මිකරට‍්ඨවඩ‍්ඪන තව දානරතා කිත‍්ති උග‍්ගතා දෙවමානුසෙ.

58. ධාර්මික වූ රට වඩන්නා වූ මහරජාණෙනි, තොප අයැද සිටිමි. තොපගේ දානාභිරතියෙන් ඇති වූ කීර්තිය දෙව් මිනිසුන් කෙරෙහි උස් වැ පැන නැඟිණ.

59. උභොපි නෙත‍්තා නයනා අන්‍ධා උපහතා මම එකං මෙ නයනං දෙහි ත්‍වම‍්පි එකෙන යාපය.

59. මා ගේ නේත්‍ර සඞ්ඛ්‍යාත වූ දෙනුවන අන්‍ධව ගියේ ය, නැසිණ. එහෙයින් මට එක් ඇසක් දෙනු මැනව. තෙපිදු එක් ඇසෙකින් යැපෙනු මැනවැයි කීයේ ය.

60. තස‍්සාහං වචනං සුත්‍වා හට‍්ඨො සංවිග‍්ගමානසො කතඤ‍්ජලී වෙදජාතො ඉදං වචනමබ්‍රූවිං.

60. මම ඔහු ගේ වචනය අසා සතුටු වූයෙම්, සංවේගයට පැමිණි සිත් ඇතියෙම්, කරන ලද ඇඳිලි ඇතිවැ උපන් සොම්නස් ඇති වැ මෙවදන් කීමි.

61. ඉදානාහං චින‍්තයිත්‍වා පාසාදතො ඉධාගතො ත්‍වං මම චිත‍්තමඤ‍්ඤාය නෙත‍්තං යාචිතුමාගතො.

61. මම දැන් (ආධ්‍යාත්මික වස්තු පරිත්‍යාග කෙරෙමැයි) සිතා පහයෙන් නික්ම මෙහි ආයෙමි. තෙපි මා ගේ සිත දැනගෙන මෙන් ඇසක් ඉල්ලන්ට ආවහු ද?

62. අහො මෙ මානසං සිද‍්ධං සඞ‍්කප‍්පො පරිපූරිතො අදින‍්නපුබ‍්බං දානවරං අජ‍්ජ දස‍්සාමි යාචකෙ.

62. (අහෝ) විස්මයෙක (ඇස් දෙමැයි) මා සිත තුළ උපන් දානාධ්‍යාසය නිපන. මා මනදොළ පිරිණි. නුදුන් විරූ උතුම් දානය අද යාචකයාට දෙමි.

63. එහි සීවක උට‍්ඨෙහි මා දන්‍ධයි මා පවෙධයි උභොපි නයනෙ දෙහි උප‍්පාටෙත්‍වා වණිබ‍්බකෙ.

63. මෙහි එව සීවකය, (නො පසුබට වෙව) වීර්‍ය්‍ය කරව, මාගේ මේ ඇස් දීමෙහි ලා සහාය වෙව, පමා නො වෙව, කම්පා නො වෙව, දෑසම උපුටා යාචකයාට දෙව.

64. තතො සො චොදිතො මය‍්හං සීවකො වචනඞ‍්කරො උද‍්ධරිත්‍වාන පාදාසි තාලමිඤ‍්ජංව යාචකෙ.

64. ඉක්බිති මා විසින් මෙසේ මෙහෙයන ලද කීකරු වූ සීවක වෙද තෙම (මා) ඇස තල් ලොඳක් සේ උදුරාගෙන යාචකයාට දුන්නේ ය.

65. දදමානස‍්ස දෙන‍්තස‍්ස දින‍්නදානස‍්ස මෙ සතො චිත‍්තස‍්ස අඤ‍්ඤථා නත්‍ථි බොධියා යෙව කාරණා.

65. සම්‍යක් සම්බෝධිය ම කරුණු කොට ඇස් දෙන්නට වෙදහු ලවා ඇස් උපුටන්නා වූ ද, එම උපුටා පියන ලද ඇස් ශක්‍ර බ්‍රාහ්මණයා අත තබන්නා වූ ද, දෙන ලද ඇස් ඇත්තා වූ ද, මාගේ දානාධ්‍යාසය පිළිබඳ වෙනසෙක් නැති.

66. න මෙ දෙස‍්සා උභො චක‍්ඛු අත‍්තා න මෙ න දෙස‍්සියො සබ‍්බඤ‍්ඤුතං පියං මය‍්හං තස‍්මා චක‍්ඛුං අදාසහන‍්ති.

66. (මා) දෙ ඇස මට අප්‍රිය නො වෙයි. මා විසින් ආත්මය තෙමේ ද්වේෂ කටයුතු ද නො වෙයි. නොහොත් මාගේ ආත්මය මට අප්‍රිය නො වේ. මට බුදු බව ප්‍රිය වේ එ බැවින් ඇස් දුනිමි යි.

සිවිරාජචරියං අට‍්ඨමං.

අටවැනි සිවිරාජ චරියා යි.