යෙදුමෙන් කියවන්න

1. මාතුපොසක චරියං

1. මාතුපොසක චරියං

1. මාතුපෝසක චරියාව

144. යදා අහොසි පවනෙ කුඤ‍්ජරො මාතුපොසකො න තදා අත්‍ථි මහියා ගුණෙන මම සාදිසො.

144. යම් කලෙකැ මම් මහවෙනෙහි මාතුපෝසක වූ හස්තිරාජ වීම් ද එකලැ පොළෝතෙලෙහි සිල්ගුණයෙන් මා හා සම වූ කිසිවෙක් නැති.

145. පවනෙ දිස‍්වා වනචරො රඤ‍්ඤො මං පටිවෙදයි තවානුච‍්ඡවො මහාරාජ ගජො වසති කානනෙ.

145. මහාවනයෙහි දී වනචරපුරුෂයෙක් මා දැක රජුට මෙසේ සැල කෙළේ යැ. “මහරජ තොපට නිසි ඇත්රජෙක් මහවෙනෙහි වෙසේ යැ’යි.

146. න තස‍්ස පරිඛාය’ත්‍ථෙ නපි ආළ‍්හකකාසුයා සමං ගහිතෙ සොණ‍්ඩාය සයමෙව ඉධෙහිති.

146. ‘ඔහු ගැනීමෙහි ලා අගලින් අර්‍ත්‍ථයෙක් නැත. ඇතුන් බඳනා ටැඹිනුදු බොරුවළිනුදු ප්‍රයෝජන නො ද ඇති. සොඬින් ගත්කල්හි තෙමේ මැ මෙහි එන්නේ යැ’යි රජුට දැන්වී.

147. තස‍්ස තං වචනං සුත්‍වා රාජාපි තුට‍්ඨමානසො පෙසෙසි හත්‍ථිදමකං ඡෙකාචරියං සුසික‍්ඛිතං.

147. ඔහු ගේ එබස් අසා තුටුසිත් ඇති රජ තෙමේ ද ඇතුන් දමනය කරන මොනවට හික්මුණු නිපුණ ඇදුරකු යැවී යැ.

148. ගන‍්ත්‍වාන සො හත්‍ථිදමකො අද‍්දස පදුමස‍්සරෙ භිසමුලාලං උද‍්ධරන‍්තං යාපනත්‍ථාය මාතුයා.

148. එ ඇත්ඇදුරු ද (එහි) ගොස් මවගේ යාපනය පිණිස පියුම්විල්හි නෙළුඹල හා නෙළුඹූදැලි උදුරන ඇත්රජු දිටී.

149. විඤ‍්ඤාය මෙ සීලගුණං ලක‍්ඛණං උපධාරයි එහි පුත‍්තාති වත්‍වාන මම සොණ‍්ඩාය අග‍්ගහි.

149. හෙතෙම මා ගේ ශීලගුණය දැන සිරුරුලකුණු විමසී යැ. ඉක්බිති ‘එව පුතැ’යි කියා මා ගේ සොඬ ගත්තේ යැ.

150. යම‍්මෙ තදා පාකතිකං සරීරානුගතං බලං අජ‍්ජ නාගසහස‍්සානං බලෙන සමසාදිසං.

150. එකල්හි මට යම් පියවිසිරුරුබලයෙක් වී ද, ඒ අද ඇතුන් දහසක්හුගේ බලය හා සුදුසු වෙයි.

151. යදිහං තෙසං පකුප‍්පෙය්‍යං උපෙතානං ගහනාය මං පටිබලො භවෙ තෙසං යාව රජ‍්ජම‍්පි මානුසං.

151. ඉදින් මා ගැනීම වෙතට පැමිණි ඔවුනට මම් කිපියෙම් නම් ඔවුන්ගේ මානුෂරාජ්‍යය පවා වැනැසීමට පොහොසත් වීමි.

152. අපි චාහං සීල රක‍්ඛාය සීලපාරමී පූරිය න කරොමි චිත‍්තෙ අඤ‍්ඤථත‍්තං පක‍්ඛිපන‍්තෙ මමාළ‍්හකෙ

152. එතෙකුදුවත් මම් (තමා කෙරෙහි වූ) සිල් රක්නා පිණිස ශීලපාරමිතාව පුරනු පිණිස, මා ටැඹෙහි බැඳ තබන්නහු දැක ද සිත්හි වෙනසක් නො කෙළෙමි.

153. යදි තෙ මං තත්‍ථ කොට‍්ටෙය්‍යුං එරසූහි තොමරෙහි ච නෙව තෙසං පකුප‍්පෙය්‍යං සීලඛණ‍්ඩභයා මමාති.

153. ඉදින් එහි දී ඔහු පොරොවින් ද තෝමරයෙන් ද මා කොටන්නාහු නම් මා ගේ සිල් බිඳුනා බියෙන් ඔවුනට නො මැ කිපෙන්නෙමි.

මාතුපොසකචරියං පඨමං.

පළමු වැනි මාතුපෝසක චරියා යි.