යෙදුමෙන් කියවන්න

10. මච‍්ඡරාජ චරියං

10. මච‍්ඡරාජ චරියං

10. මත්ස්‍යරාජ චරියාව

323. පුනාපරං යදා හොමි මච‍්ඡරාජා මහාසරෙ උණ‍්හෙ සුරියසන‍්තාපෙ සරෙ උදකං ඛීයථ.

323. නැවත අන් චරියාවක් කියමි. යම් කලෙකැ (කොසොල් රට) මහවිලෙක්හි මස්රජ වැ උපනිම් ද, එකල්හි ගිම් කල, හිරු රැසින් එ විල්හි දිය සිඳීගියේ යැ.

324. තතො කාකා ච ගිජ‍්ඣා ච බකා කුළල සෙනකා භක‍්ඛයන‍්තී දිවා රත‍්තිං මච‍්ඡෙ උපනිසීදිය.

324. එකල්හි කවුඩුවෝ ද ගිජුලිහිණීහු ද කොක්කු ද කබරුස්සන් හා උකුස්සෝ ද දවරෑ දෙක්හි කලල් මතුයෙහි හිඳ මසුන් කති.

325. එවං චින‍්තෙසහං තත්‍ථ සහ ඤාතීහි පීළිතො කෙන නුඛො උපායෙන ඤාති දුක‍්ඛා පමොචයෙ.

325. එ විල්හි නෑයන් සමග පීඩිත වූ මම් මෙසේ සිතීමි. කවර උපායෙකින් ඥාතීන් දුකින් මුදාලම්දෝ හෝ’යි.

326. විචින‍්තයිත්‍වා ධම‍්මත්‍ථං සච‍්චං අද‍්දස පස‍්සයං සච‍්චෙ ඨත්‍වා පමොචෙසිං ඤාතීනං තං අතික‍්ඛයං.

326. ධර්‍මයෙන් අනපේත වූ අර්‍ත්‍ථය හෙවත් සත්‍යය සලකා (නෑයනට) වහල් වූ සත්‍යක්‍රියාව දිටිමි. සත්‍යයෙහි පිහිටා නෑයන්ගේ ඒ මහාවිනාශය මුදාලීමි.

327. අනුස‍්සරිත්‍වා සද‍්ධම‍්මං පරමත්‍ථං විචින‍්තයං අකාසිං සච‍්චකිරියං යං ලොකෙ ධුවසස‍්සතං.

327. සාධූන්ගේ ධර්‍මය සිහි කොට පරමාර්‍ත්‍ථ වූ සත්‍යය සිතමින් ලොවැ යම් අවිහිංසාවක් වේ ද එය ධ්‍රැව යැ ශාස්වත යැ යි සිතමින් සත්‍යක්‍රියා කෙළෙමි.

328. යතො සරාමි අත‍්තානං යතො පත‍්තොස‍්මි විඤ‍්ඤුතං නාභිජානාමි සඤ‍්චිච‍්ච එකපාණං විහිංසිතං එතෙන සච‍්චවජ‍්ජෙන පජ‍්ජුන‍්නො අභිවස‍්සතු.

328. යම් තැනක පටන් ස්වකීය ආත්මභාවය සිහි කෙරෙම් ද යම් තැනෙක පටන් නුවණැති බවට පැමිණියෙම් ද (එතැන් පටන්), දැන දැන කිසි එක් සත්ත්‍වයකුදු හිංසාකරනු ලැබුවහු නො දනිමි. මේ සත්‍ය වචනය හේතු කොට ගෙන මේඝය වැසි වසීවා.

329. අභිත්‍ථනය පජ‍්ජුන‍්න නිධිං කාකස‍්ස නාසය කාකං සොකාය රුන්‍ධෙහි මච‍්ඡෙ සොකා පමොචය.

329. මේඝය (වැසිවලා දෙවිය) විදුලි නඟා වැසි වස්වව. කවුඩාගේ මත්ස්‍ය නිධානය නසව. කවුඩු කැල ශෝකයට රඳව මසුන් ශෝකයෙන් මුදාලව.

330. සහකතෙ සච‍්චවරෙ පජ‍්ජුන‍්නො චාභිගජ‍්ජිය ථලං නින‍්නඤ‍්ච පූරෙන‍්තො ඛණෙන අභිවස‍්සථ.

330. උතුම් වූ සත්‍යක්‍රියාව කළ කල්හි ඒ සත්‍යක්‍රියාව සමඟ මේඝය ගර්‍ජනා කොට වළගොඩ පුරමින් ඇසිල්ලෙකින් වැස්සේ යැ.

331. එවරූපං සච‍්චවරං කත්‍වා විරියමුත‍්තමං වස‍්සාපෙසිං මහා මෙඝං සච‍්චතෙජ බලස‍්සිතො සච‍්චෙන මෙ සමො නත්‍ථි එසා මෙ සච‍්චපාරමීති.

331. මෙබඳු වූ උතුම් සත්‍යක්‍රියාව කොට උතුම් වීර්‍ය්‍යය කොට සත්‍යානුභාව බලය ඇසුරු කෙළෙම් මහවැසි වස්වාපීමි. සත්‍යයෙන් මට සම වූයෙක් නැති. මේ මාගේ සත්‍යපාරමිතාව යි.

මච‍්ඡරාජ චරියං දසමං.

දසවැනි වූ මව්ඡරාජචරියා යි.