යෙදුමෙන් කියවන්න

ආපායික සුත‍්තං

2. 2. 11.

2. 2. 11.

[ආපායික සුත‍්තං]

[ආපායික සූත්‍රය]

48. වුත‍්තං හෙතං භගවතා. වුත‍්තමරහතා’ති මෙ සුතං.

48. භගවත් බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී.

1. ද‍්වෙමෙ භික‍්ඛවෙ ආපායිකා නෙරයිකා ඉදමප‍්පහාය, කතමෙ ද‍්වෙ? යො ච අබ්‍රහ‍්මචාරී බ්‍රහ‍්මචාරිපටිඤ‍්ඤො, යො ච පරිපුණ‍්ණං පරිසුද‍්ධං බ්‍රහ‍්මචරියං චරන‍්තං අමූලකෙන අබ්‍රහ‍්මචරියෙන අනුද‍්ධංසෙති. ඉමෙ ඛො භික‍්ඛවෙ ද‍්වෙ ආපායිකා නෙරයිකා ඉදමප‍්පහායාති.

1. මහණෙනි, මේ (කියනු ලබන දෙවැදෑරුම් පාපසමාචාර) අත් නොහැර අපායේ උපදින නිරයේ උපදින මේ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක් ද යත්: යමෙක් බ්‍රහ්මචාරී නොවූයේ බ්‍රහ්මචාරී වෙමි යි ප්‍රතිඥා කෙරේ ද, යමෙකුත් පිරිසිදු බඹසර හැසිරෙන්නහුට අමූලික ග්‍රාමධර්‍මයෙන් දැන දැන චෝදනා කෙරේ ද, මහණෙනි, මෙය අත් නොහැර අපායේ උපදින නිරයේ උපදින මේ දෙදෙන වෙත්.

එතමත්‍ථං භගවා අවොච තත්‍ථෙතං ඉති වුච‍්චති:

මෙ කරුණ භගවත්හු වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:

2. අභූතවාදී නිරයං උපෙති යො වාපි කත්‍වා න කරොමි චාහ, උභොපි තෙ පෙච‍්ච සමා භවන‍්ති නිහීනකම‍්මා මනුජා පරත්‍ථ.

2. බොරු කියන සුලු පුද්ගල තෙමේ ද, යලි පව්කම් කොට මම නො කෙළෙමි යි කියන පුද්ගල තෙමේ ද නරකයට පැමිණෙති. ලාමක ක්‍රියා ඇති ඒ මිනිස් දෙදෙනා ම මෙයින් සැව ගොස් පරලොවදී සමාන ගති ඇත්තෝ වෙත්.

3. කාසාවකණ‍්ඨා බහවො පාපධම‍්මා අසඤ‍්ඤතා, පාපා පාපෙහි කම‍්මෙහි නිරයං තෙ උපපජ‍්ජරෙ.

3. කාෂාචකණ්ඨ (කසාවතකින් කර වෙළාගත්) පවිටුගති ඇති, හොඳ හැසුරුමක් නැති පවිටු පුද්ගලයෝ බොහෝ වෙත්. ඒ පවිටෝ (තමන් කළ) පව්කම් හේතුවෙන් නරකයෙහි උපදිත්.

4. සෙය්‍යො අයොගුළො භුත‍්තො තත‍්තො අග‍්ගිසිඛූපමො, යඤ‍්චෙ භුඤ‍්ජෙය්‍ය දුස‍්සීලො රට‍්ඨපිණ‍්ඩං අසඤ‍්ඤතො’ති.

4. කායවාක්සංයම නැති දුශ්ශීලයෙක් යම් හෙයකින් රටවැසියා දුන් අහර වළඳන්නේ වේ ද, ඔහු විසින් රත්කළ ගිනිසිළක් බඳු වූ ලෝගුළියක් වළඳන ලද්දේ එයට වඩා උතුම් වේ.

අයම‍්පි අත්‍ථො වුත‍්තො භගවතා. ඉති මෙ සුතන‍්ති.

මේ කාරණය ද භගවත් බුදුරදුන් විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදී.