දිට‍්ඨිගතසුත‍්තං
2. 2. 12.
2. 2. 12.
[දිට‍්ඨිගතසුත‍්තං]
[දෘෂ්ටිගත සූත්‍රය]
49. වුත‍්තං හෙතං භගවතා. වුත‍්තමරහතා’ති මෙ සුතං.
49. භගවත් බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් අසන ලදී.
1. ද‍්වීහි භික‍්ඛවෙ දිට‍්ඨිගතෙහි පරියුට‍්ඨිතා දෙවමනුස‍්සා ඔලීයන‍්ති එකෙ. අතිධාවන‍්ති එකෙ. චක‍්ඛුමන‍්තො ච පස‍්සන‍්ති.
1. මහණෙනි, දෘෂ්ටි ද්වයකින් (මිථ්‍යාදර්‍ශන දෙකෙකින්) මඬනා ලද ඇතැම් දෙවි මිනිස් කෙනෙක් (ලෝකය ශාශ්වත යයි භවයෙයි) ඇලෙත්. ඇතැම් දෙව්මිනිස් කෙනෙක් (ආත්මයත් ලෝකයත් මරණින් මතු නැතැ යි උච්ඡේද වශයෙන් ගෙණ ධර්‍මතා) ඉක්මවා දුවත්. නුවණැස් ඇත්තෝ වනාහි (මෙ කී අන්ත දෙකටම නො පැමිණ අවිපරීත වශයෙන් ඇතිසැටියෙන්) දකිත්.
2. කථඤ‍්ච භික‍්ඛවෙ ඔලීයන‍්ති එකෙ?
2. මහණෙනි, ඇතැම් දෙවි මිනිස් කෙනෙක් කෙසේ නම් භවයෙහි ඇලෙද්ද?
භවාරාමා භික‍්ඛවෙ දෙවමනුස‍්සා භවරතා භවසම‍්මුදිතා. තෙසං භවනිරොධාය ධම‍්මෙ දෙසියමානෙ චිත‍්තං න පක‍්ඛන්‍දති න පසීදති න සන‍්තිට‍්ඨති නාධිමුච‍්චති. එවං ඛො භික‍්ඛවෙ ඔලීයන‍්ති එකෙ.
මහණෙනි, දෙව්මිනිස්සු භවයෙහි ඇලුනාහු, භවයෙහි නිරත වූවාහු, භවයෙහි මැනැවින් සතුටු වූවාහු වෙත් ද, ඔවුන්ට භවනිරෝධය පිණිස දහම් දෙසනු ලබන කල්හි සිත එහි බැස නො ගණී, නො පහදියි, නො පිහිටයි, නිමාවට නො පැමිණෙයි. මහණෙනි, මෙසේ ඇතැම් කෙනෙක් භවයෙහි ඇලෙත්.
3. කථඤ‍්ච භික‍්ඛවෙ අතිධාවන‍්ති එකෙ?
3. මහණෙනි, ඇතැම් කෙනෙක් කෙසේ නම් ඉක්මවා දුවත් ද?
භවෙනෙව ඛො පනෙකෙ අට‍්ටීයමානා හරායමානා ජිගුච‍්ඡමානා විභවං අභිනන්‍දන‍්ති ‘යතො කිර භො අයං අත‍්තා කායස‍්ස භෙදා පරම‍්මරණා උච‍්ඡිජ‍්ජති විනස‍්සති න හොති පරම‍්මරණා. එතං සන‍්තං එතං පණීතං එතං යථාවන‍්ති. එවං ඛො භික‍්ඛවෙ අතිධාවන‍්ති එකෙ.
ඇතැමෙක් භවයෙන් ම පෙළනු ලබන්නාහු, ලජ්ජිත වන්නාහු, පිළිකුල් කරන්නාහු උච්ඡේදයෙහි සතුටු වෙත් (කෙසේ ද යත්:) ‘පින්වත්නි, යම් හෙයකින් මේ ආත්මය කාබුන් මරණින් මතු සිඳේ ද, නැසේ ද, මරණින් මතු නො වේ ද, ඒ නොවීම ම ශාන්ත ය, එහෙයින් ම ප්‍රණීතය, එහෙයින් ම අවිපරීතය, (ඇතිසැටිය) කියා යි. මහණෙනි, මෙසේ ඇතැමෙක් ඉක්මවා දුවත්.
4. කථඤ‍්ච භික‍්ඛවෙ චක‍්ඛුමන‍්තො පස‍්සන‍්ති?
4. මහණෙනි, නුවණැස් ඇත්තෝ කෙසේ නම් දකිත් ද?
ඉධ භික‍්ඛු භූතං භූතතො පස‍්සති, භූතං භූතතො දිස‍්වා භූතස‍්ස නිබ‍්බිදාය විරාගාය නිරොධාය පටිපන‍්නො හොති. එවං ඛො භික‍්ඛවෙ චක‍්ඛුමන‍්තො ච පස‍්සන‍්තීති.
මේ සසුන්හි මහණ තෙමේ පඤ්චස්කන්‍ධය පඤ්චස්කන්‍ධ වශයෙන් දකී ද, පඤ්චස්කන්‍ධය පඤ්චස්කන්‍ධ වශයෙන් දැක එහි කළකිරීම, නො ඇලීම, නැති කිරීම පිණිස පිළිපන්නේ වේ ද, මහණෙනි, මෙසේ නුවණැස් ඇත්තෝ (ඇතිසැටියෙන්) දකිත්.
එතමත්‍ථං භගවා අවොච. තත්‍ථෙතං ඉති වුච‍්චති:
භගවත්හු මෙ කරුණ වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ ද කියනු ලැබේ:
5. යෙ භූතං භූතතො දිස‍්වා භූතස‍්ස ච අතික‍්කමා යථාභූතෙ විමුච‍්චන‍්ති භවතණ‍්හාපරික‍්ඛයා.
5. “යම් කෙනෙක් පඤ්චස්කන්‍ධය පඤ්චස්කන්‍ධ වශයෙන් (මාර්‍ගඥානයෙන්) දැක පඤ්චස්කන්‍ධය ඉක්මවීමෙන් (භාවනාභිසමයයෙන්) භවතෘෂ්ණාව හාත්පසින් සිඳ ලීමෙන් අවිපරීත සත්‍යය යි කියන ලද නිවණෙහි (ප්‍රත්‍යක්‍ෂයෙන්) අධිමෝක්‍ෂයට පැමිණෙත් ද,
6. ස වෙ භූතපරිඤ‍්ඤො සො වීතතණ‍්හො භවාභවෙ භූතස‍්ස විභවා භික‍්ඛු නාගච‍්ඡති පුනබ‍්භව”න‍්ති.
6. පඤ්චස්කන්‍ධය පිරිසිඳ දත්තා වූ කුදු මහත් භවයන්හි පහ වූ තෘෂ්ණා ඇති, ඒ මහණ තෙමේ පඤ්චස්කන්‍ධයාගේ උත්පාද නිරෝධයෙන් යලි ඉපැද්මට නොපැමිණෙයි.
අයම‍්පි අත්‍ථො වුත‍්තො භගවතා. ඉති මෙ සුතන‍්ති.
මේ අර්‍ත්‍ථය ද භගවත්හු විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදී.
වග‍්ගො දුතියො.
දෙවෙනි වර්‍ගයයි.
තස‍්සුද‍්දානං:
එහි උද්දානය:
ද‍්වෙ ඉන්‍ද්‍රියා ද‍්වෙ තපනීයා සීලෙන අපරෙ දුවෙ අනොත‍්තප‍්පී කුහනා ද‍්වෙ ච සංවෙජනීයෙන තෙ දස විතක‍්කා දෙසනා විජ‍්ජා පඤ‍්ඤා ධම‍්මෙන පඤ‍්චමං අජාතං ධාතු සල‍්ලානං සික‍්ඛා ජාගරියෙන ච අපාය දිට‍්ඨියා චෙව බාවීසති පකාසිතා’ති.
ඉන්‍ද්‍රිය දෙක, තපනීය දෙක, ශීල දෙක, අනොත්තප්පීය, ජනකුහන දෙක, සංවේජනීය යන සූත්‍ර දහය ද, විතක්කය-දේශනා දෙක, අවිජ්ජාය, පස්වැනි වූ පඤ්ඤාය, අජාතය, නිබ්බානධාතුය, පටිසල්ලානය, සික්ඛාය, ජාගරිය, ආපායිකය, දිට්ඨිගතය යන සූත්‍ර සියල්ල දෙවිස්සකැ යි ප්‍රකාශ කරණ ලදී.
දුකනිපාතො.
දුකනිපාතය යි.