සුක්කධම්ම සුත්තං
2. 2. 5.
2. 2. 5.
[සුක්කධම්ම සුත්තං]
[ශුක්ලධර්‍ම සූත්‍රය]
42. වුත්තං හෙතං භගවතා වුත්තමරහතා’ති මෙ සුතං.
42. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේය. අර්හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේය. මා විසින් මෙසේ අසන ලදි.
1. ද්වෙ මෙ භික්ඛවෙ සුක්කා ධම්මා ලොකං පාලෙන්ති. කතමෙ ද්වෙ? හිරි ච, ඔත්තප්පඤ්ච. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ සුක්කා ධම්මා ලොකං න පාලෙය්යුං, නයිධ පඤ්ඤායෙථ මාතාති වා මාතුච්ඡා’ති වා මාතුලානී’ති වා ආචරියභරියා’ති වා ගරූනං දාරා’ති වා. සම්භෙදං ලොකො අගමිස්ස යථා අජෙළකා කුක්කුටසූකරා සොණසිගාලා. යස්මා ච ඛො භික්ඛවෙ ඉමෙ ද්වෙ සුක්කා ධම්මා ලොකං පාලෙන්ති, තස්මා පඤ්ඤායති මාතා’ති වා මාතුච්ඡා’ති වා මාතුලානී’ති වා ආචරියභරියා’ති වා ගරූනං දාරාති වා’ති.
1. මහණෙනි, මේ ශුක්ල (කුසල) ධර්මයෝ දෙදෙනෙක් ලොව පාලනය කරත්. කවර දෙදෙනෙක් ද? ලජ්ජාව ද බිය ද (යන දෙක ය.) මහණෙනි, මේ ශුක්ලධර්මයෝ දෙදෙන ලොව පාලනය නොකරන්නාහු නම් මෙහි මව කියා හෝ සුළුමව කියා හෝ නැන්දණියෝ කියා හෝ ගුරුවරයාගේ භාර්‍ය්‍යයාව කියා හෝ ගරු කටයුත්තන්ගේ භාර්‍ය්‍යයාවෝ ය කියා හෝ තැකීමක් නො පැමිණෙන්නේ ය. ලෝවැසි තෙම එළුබැටළුවන් මෙන් ද, කුකුළන් ඌරන් මෙන් ද, බලු සිවලුන් මෙන් ද, සංකරයට පැමිණෙන්නේ ය. මහණෙනි, යම් හෙයකින් මේ ශුක්ල ධර්මයෝ දෙදෙන ලොව පාලනය කෙරෙත් ද, එහෙයින් මව කියා හෝ සුළුමව කියා හෝ නැන්දණියෝ කියා හෝ ගුරුවරයාගේ භාර්‍ය්‍යයාව කියා හෝ ගරු කටයුත්තන්ගේ භාර්‍ය්‍යයාවෝ ය කියා හෝ (තැකීමක්) පැණෙන්නේ ය.
එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
මෙ කරුණ භගවත්හු වදාළහ. එහි අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ ද කියනු ලැබේ.
2. “යෙසං චෙ හිරිඔත්තප්පං සබ්බදා ච න විජ්ජති, වොක්කන්තා සුක්කමූලා තෙ ජාතිමරණගාමිනො.
2. “ඉදින් යමකුන්ට ලජ්ජා භය දෙක හැම කල්හි එළඹ සිටියාහු නො වෙත් ද? ඒ කුශල මූලයෙන් බැහැර වූ ඔහු ජාතිජරා මරණයට පැමිණෙන්නෝ වෙත්.
3. යෙසඤ්ච හිරිඔත්තප්පං සදා සම්මා උපට්ඨිතා, විරූළ්හබ්රහ්මචරියා තෙ සන්තො ඛීණපුනබ්භවා”ති.
3. යම් කෙනෙකුන්ට වනාහි ලජ්ජා භය දෙක හැම කල්හි මැනවින් එළඹ සිටියාහු ද වැඩුනු බඹසර ඇති ශාන්තගුණ ඇති ඔහු පුනර්භවය ක්ෂය කළෝ නම් වෙත්.“
අයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
මේ අර්ත්ථය ද භගවත්හු විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදි.