යෙදුමෙන් කියවන්න

පටිසල‍්ලාන සුත‍්තං

2. 2. 8.

2. 2. 8.

[පටිසල‍්ලාන සුත‍්තං]

[ප්‍රතිසංලයන සූත්‍රය]

45. වුත‍්තං හෙතං භගවතා. වුත‍්තමරහතා’ති මෙ සුතං.

45. භගවත් බුදුරදුන් විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී.

1. පටිසල‍්ලානාරාමා භික‍්ඛවෙ විහරථ පටිසල‍්ලානරතා, අජ‍්ඣත‍්තං චෙතොසමථමනුයුත‍්තා, අනිරාකතජ‍්ඣානා විපස‍්සනාය සමන‍්නාගතා බ්‍රූහෙතා සුඤ‍්ඤාගාරානං. පටිසල‍්ලානාරාමානං භික‍්ඛවෙ විහරතං පටිසල‍්ලානරතානං අජ‍්ඣත‍්තං චෙතොසමථමනුයුත‍්තානං අනිරාකතමජ‍්ඣානානං විපස‍්සනාය සමන‍්නාගතානං බ්‍රූහෙතානං සුඤ‍්ඤාගාරානං ද‍්වින‍්නං ඵලානං අඤ‍්ඤතරං ඵලං පාටිකඞ‍්ඛං: දිට‍්ඨෙ’ව ධම‍්මෙ අඤ‍්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතා’ති.

1. මහණෙනි, හුදෙකලාබව්හි ඇලුනෝ ව, හුදෙකලාබවෙහි නිරත ව, වාසය කරවු. ස්වකීය චිත්තසමථයෙහි යෙදුනෝ වැ බැහැරැ නොකළ ධ්‍යාන ඇත්තෝ ව විදර්‍ශනාවෙන් යුක්ත වැ ශූන්‍යාගාරයන්හි වැඩිය යුතු කමටහන් වඩන්නෝ වැ වාසය කරවු. මහණෙනි, හුදෙකලා වාසයෙහි ඇලී, හුදෙකලා වාසයෙහි නිරත ව චිත්තසමථයෙහි යෙදී බැහැර නොකළ ධ්‍යාන ඇති ව විදර්‍ශනාවෙන් යුක්ත ව ශූන්‍යාගාරයන්හි වැඩිය යුතු කමටහන් වඩමින් වාසයකරන්නන් විසින් මේ අත්බැව්හි රහත්බව ද, කෙලෙස් උපාදිශේෂය ඇති කල්හි අනාගාමි බව ද යන ඵල දෙක අතුරෙන් එක්තරා ඵලයක් කැමැති විය යුතු යි.

එතමත්‍ථං භගවා අවොච. තත්‍ථෙතං ඉති වුච‍්චති:

මේ අර්‍ත්‍ථය භගවත්හු වදාළහ. එහි මෙය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:

2. “යෙ සන‍්තචිත‍්තා නිපකා සතිමන‍්තො ච ඣායිනො සම‍්මා ධම‍්මං විපස‍්සන‍්ති කාමෙසු අනපෙක‍්ඛිනො

2. “යම් කෙනෙක් ශාන්ත සිත් ඇත්තාහු වෙත් ද, පාරිහාරික නුවණින් යුක්ත වෙත් ද, සිහි ඇත්තාහු වෙත් ද, ධ්‍යාන කරණ සුලු වෙත් ද, කාමයන්හි අපේක්‍ෂා රහිත වූවාහු පඤ්චස්කන්‍ධය අනිත්‍යාදි වශයෙන් මොනවට බලත් ද,

3. අප‍්පමාදරතා සන‍්තා පමාදෙ භයදස‍්සිනො අභබ‍්බා පරිහානාය නිබ‍්බානස‍්සෙ’ව සන‍්තිකෙ”ති.

3. අප්‍රමාදයෙහි ඇලුනා වූ, ප්‍රමාදයෙහි බිය දක්නා සුලු වූ, ශාන්ත වූ, (ඔහු) පිරිහීමට සුදුස්සෝ නො වෙත්. නිවණ සමීපයෙහි ම වෙත්.”

අයම‍්පි අත්‍ථො වුත‍්තො භගවතා. ඉති මෙ සුතන‍්ති.

මේ කරුණ ද භගවත්හු විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලද්දේ ය.