යෙදුමෙන් කියවන්න

දුතියඑසනාසුත‍්තං

3. 1. 6.

3. 1. 6.

[දුතියඑසනාසුත‍්තං.]

[දෙවෙනි ඒෂණා සූත්‍රය]

55. වුත‍්තං හෙතං භගවතා වුත‍්තමරහතා’ති මෙ සුතං.

55. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී.

1. තිස‍්සො ඉමා භික‍්ඛවෙ එසනා. කතමා තිස‍්සො? කාමෙසනා භවෙසනා බ්‍රහ‍්මචරියෙසනා. ඉමා ඛො භික‍්ඛවෙ තිස‍්සො එසනා’ති.

1. මහණෙනි, මේ ඒසනා (සෙවීම්) තුණෙකි. කවර තුණෙක් ද යත්: කාමය සෙවීමය, භවය සෙවීමය, බඹසර සෙවීමය. මහණෙනි, මේ සෙවීම් තුණයි.

එතමත්‍ථං භගවා අවොච. තත්‍ථෙතං ඉති වුච‍්චති:

භගවත්හු මෙ කරුණ වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:

2. “කාමෙසනා භවෙසනා බ්‍රහ‍්මචරියෙසනා සහ ඉති සච‍්චපරාමාසො දිට‍්ඨිට‍්ඨානා සමුස‍්සයා.

2. කාමේසනා, භවේසනා, මේ ම සැබව සෙසු සියල්ල හිස් ය යි දෘෂ්ටිගත වශයෙන් සම්මත වූ බ්‍රහ්මචරියේසනා සමග ඒසනා තුණෙකි.

3. සබ‍්බරාගවිරත‍්තස‍්ස තණ‍්හක‍්ඛයවිමුත‍්තිනො එසනා පටිනිස‍්සට‍්ඨා දිට‍්ඨිට‍්ඨානා සමූහතා එසනානං ඛයා භික‍්ඛු නිරාසො අකථංකථී”ති.

3. සියලු (කාම භව) රාගයන්ගෙන් වෙන් වූ, තෘෂ්ණාක්‍ෂය සඞ්ඛ්‍යාත නිර්‍වාණයෙහි (නිවන අරමුණු කොට) කෙලෙසුන්ගෙන් මිදුණා වූ (රහත්හු විසින්) ඒසනා බැහැර කරන ලදහ. දෘෂ්ටීහු (ප්‍රථමමාර්‍ගයෙන්) නසන ලදහ. ඒ මහණ තෙමේ එ ම පර්‍ය්‍යෙෂණයන් ක්‍ෂය කිරීමෙන් ආශා නැත්තෙක් ද (කෙසේ කෙසේ දැ යි පැවති) සැක නැත්තෙක් ද වෙයි.”

අයම‍්පි අත්‍ථො වුත‍්තො භගවතා, ඉති මෙ සුතන‍්ති.

මෙ කරුණ ද භගවත්හු විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදී.