යෙදුමෙන් කියවන්න

ධාතුසංසන්‍දන සුත‍්තං

3. 3. 9.

3. 3. 9.

[ධාතුසංසන්‍දන සුත‍්තං]

[ධාතුසංස්‍යන්‍දන සූත්‍රය]

78. වුත‍්තං හෙතං භගවතා වුත‍්තමරහතා’ති මෙ සුතං:

78. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:

1. “ධාතුසො භික‍්ඛවෙ සත‍්තා සත‍්තෙහි සද‍්ධිං සංසන්‍දන‍්ති සමෙන‍්ති. හීනාධිමුත‍්තිකා සත‍්තා හීනාධිමුත‍්තිකෙහි සත‍්තෙහි සද‍්ධිං සංසන්‍දන‍්ති සමෙන‍්ති. කල්‍යාණාධිමුත‍්තිකා සත‍්තා කල්‍යාණාධිමුත‍්තිකෙහි සත‍්තෙහි සද‍්ධිං සංසන්‍දන‍්ති සමෙන‍්ති.

1. මහණෙනි, ධාතුවශයෙන් අදහස් වශයෙන් සත්ත්‍වයෝ සත්ත්‍වයන් හා එක් වෙත්. එක් සිත් ඇති ව සමාගමයට පැමිණෙත්. ලාමක අදහස් ඇති සත්ත්‍වයෝ ලාමක අදහස් ඇත්තවුන් හා එක් වෙත්. ඔවුනොවුන් භජනය කරත්. කලණ අදහස් ඇති සත්ත්‍වයෝ කලණ අදහස් ඇත්තවුන් හා එක් වෙත්. භජනය කරත්.

අතීතම‍්පි භික‍්ඛවෙ අද‍්ධානං ධාතුසො සත‍්තා සත‍්තෙහි සද‍්ධිං සංසන්‍දිංසු, සමිංසු. හීනාධිමුත‍්තිකා සත‍්තා හීනාධිමුත‍්තිකෙහි සත‍්තෙහි සද‍්ධිං සංසන්‍දිංසු සමිංසු කල්‍යාණාධිමුත‍්තිකා සත‍්තා කල්‍යාණාධිමුත‍්තිකෙහි සත‍්තෙහි සද‍්ධිං සංසන්‍දිංසු සමිංසු.

මහණෙනි, ඉකුත් කල්හි ද අදහස් වශයෙන් සත්ත්‍වයෝ සත්ත්‍වයන් හා එක් වූහ. සමාගමයට පැමිණියහ. ලාමක අදහස් ඇති සත්ත්‍වයෝ ලාමක අදහස් ඇත්තවුන් හා ද කලණ අදහස් ඇති සත්ත්‍වයෝ කලණ අදහස් ඇත්තවුන් හා ද එක් වූහ. සමාගමයට පැමිණියහ.

අනාගතම‍්පි භික‍්ඛවෙ අද‍්ධානං ධාතුසො සත‍්තා සත‍්තෙහි සද‍්ධිං සංසන්‍දිස‍්සන‍්ති සමෙස‍්සන‍්ති. හීනාධිමුත‍්තිකා සත‍්තා හීනාධිමුත‍්තිකෙහි සත‍්තෙහි සද‍්ධිං සංසන්‍දිස‍්සන‍්ති සමිස‍්සන‍්ති. කල්‍යාණාධිමුත‍්තිකා සත‍්තා කල්‍යාණාධිමුත‍්තිකෙහි සත‍්තෙහි සද‍්ධිං සංසන්‍දිස‍්සන‍්ති සමිස‍්සන‍්ති.

මහණෙනි, මතු කල්හි ද අදහස් වශයෙන් සත්ත්‍වයෝ සත්ත්‍වයන් හා එක් වන්නාහ. සමාගමයට පැමිණෙන්නාහ. ලාමක අදහස් ඇති සත්ත්‍වයෝ ලාමක අදහස් ඇත්තවුන් හා ද කලණ අදහස් ඇති සත්ත්‍වයෝ කලණ අදහස් ඇති සත්ත්‍වයන් හා ද එක් වන්නාහ. සමාගමයට පැමිණෙන්නාහ.

එතරහි’පි භික‍්ඛවෙ පච‍්චුප‍්පනං අද‍්ධානං ධාතුසො’ව සත‍්තා සත‍්තෙහි සද‍්ධිං සංසන්‍දන‍්ති, සමෙන‍්ති. හීනාධිමුත‍්තිකා සත‍්තා හීනාධිමුත‍්තිකෙහි සත‍්තෙහි සද‍්ධිං සංසන්‍දන‍්ති සමෙන‍්ති, කල්‍යාණාධිමුත‍්තිකා සත‍්තා කල්‍යාණාධිමුත‍්තිකෙහි සත‍්තෙහි සද‍්ධිං සංසන්‍දන‍්ති, සමෙන‍්තී’ති.

මහණෙනි, මෙ කල්හි ද අදහස් වශයෙන් සත්ත්‍වයෝ සත්ත්‍වයන් හා එක් වෙත්. සමාගමයට පැමිණෙත්. ලාමක අදහස් ඇති සත්ත්‍වයෝ ලාමක අදහස් ඇත්තවුන් හා ද කලණ අදහස් ඇති සත්ත්‍වයෝ කලණ අදහස් ඇති සත්ත්‍වයන් හා ද එක් වෙත්. සමාගමයට පැමිණෙත්.

එතමත්‍ථං භගවා අවොච. තත්‍ථෙතං ඉති වුච‍්චති:

මෙ කරුණ භාග්‍යවත්හු වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:

2. “සංසග‍්ගා වනථො ජාතො අසංසග‍්ගෙන ඡිජ‍්ජති, පරිත‍්තං දාරුමාරුය‍්හ යථා සීදෙ මහණ‍්ණවෙ.

2. “(සහවාසාදි වශයෙන්) සමායෝගයෙන් උපන් කෙලෙස් අසමායොගයෙන් (පාපසේවන ප්‍රතික්‍ෂෙපයෙන් ද සමුච්ඡේද විවේකයෙන් ද) ප්‍රහීණ වේ. දැවමුවා කුඩා පසුරක් නැග මහසයුරෙහි යනුයේ යම්සේ ගිලා බස්නේ ද,

3. එවං කුසීතමාගම‍්ම සාධුජීවීපි සීදති, තස‍්මා තං පරිවජ‍්ජෙය්‍ය කුසීතං හීනවීරියං.

3. එමෙන් ම කුසීත පුද්ගලයා හා සමාගමයට පැමිණීමෙන් ආජීවයෙන් හා ශීලයෙන් යහපත් වූ සාධුජීවී පුද්ගල තෙමේ ද සසර සයුරෙහි ගිලා බසී. එහෙයින් කුසීත වූ වීර්‍ය්‍ය නැති ඔහු දුරු කරන්නේ ය.

4. පවිවිත‍්තෙහි අරියෙහි පහිතත‍්තෙහි ඣායිභි, නිච‍්චං ආරද‍්ධවිරියෙහි පණ‍්ඩිතෙහි සහා වසෙ’ති.”

4. කායවිවේකාදියෙන් ප්‍රකර්‍ෂවිවේක ඇති, දුරු කරන ලද කෙලෙස් ඇති නිවණ කරා මෙහෙයූ සිත් ඇති, වඩන ලද ධ්‍යාන ඇති, සැම කල්හි පටන් ගත් වීර්‍ය්‍ය ඇති නුවණැත්තේ හා එක් වැ වසන්නේ ය.”

අයම‍්පි අත්‍ථො වුත‍්තො භගවතා. ඉති මෙ සුතන‍්ති.

මෙ කරුණ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදි.