යෙදුමෙන් කියවන්න

13. චක‍්කවාකජාතකං

1487. වණ‍්ණවා අභිරූපොසි ඝනො සඤ‍්ජාතරොහිතො, චක‍්කවාක සුරූපොසි විප‍්පසන‍්නමුඛින්‍ද්‍රියො.

1487. සක්වාලිහිණිය, (ඔබ) වර්‍ණවත් ශරීර ඇත්තහු ය. රූප සම්පන්න වූවහු ය. ඝන වූ සිරුරු ඇත්තහු ය. රන්වන් මනා රූ ඇත්තහු ය. පහන් වූ මුහුණ හා ඉඳුරන් ඇත්තහු ය.

1488. පාඨිනං පාවුසං මච‍්ඡං වලජං මුඤ‍්ජරොහිතං. ගඞ‍්ගාය තීරෙ නිසින‍්නො එවං භුඤ‍්ජසි භොජනං.

1488. මෙසේ ගං තෙර සිටැ පෙටි මස්, ලූල් මස්, වලා මස්, මොදුව මස් හා රේ මස් බුදින්නහු ද?

1489. න චාහමෙතං භුඤ‍්ජාමි ජඞ‍්ගලා නොදකානි වා, අඤ‍්ඤත්‍ර සෙවාලපණකා එතං මෙ සම‍්ම භොජනං.

1489. මිතුර, මේ සෙවෙල් සහ දියපරඬල් මගේ ආහාරය යි. මම මෙය හැර දියෙහි හෝ වනයෙහි හටගන්නා වූ වෙනත් මාංශයක් අනුභව නො කරමි.

1490. න චාහමෙතං සද‍්දහාමි චක‍්කවාකස‍්ස භොජනං, අභං හි සම‍්ම භුඤ‍්ජාමි ගාමෙ ලොණියතෙලියං.

1490. සෙවෙල් සහ දියපරඬල් සක්වාලිහිණියාගේ ආහාර යයි මම විශ්වාස නො කරමි. මිතුර, මම ගමෙහි ලුණු හා තෙල් මුසු ආහාර අනුභව කරමි.

1491. මනුස‍්සෙසු කතං භත‍්තං සුචිමංසූපසෙචනං, න ච මෙ තාදිසො වණ‍්ණො චක‍්කවාක යථා තවං.

1491. චක්‍රවාකය, මනුෂ්‍යයන්ට පිළියෙළ කළ මස් සහිත පවිත්‍ර ආහාරය බුදිතත් ඔබට මෙන් එ බඳු පැහැයක් මට නැත.

1492. සම‍්පස‍්සං අත‍්තනි වෙරං හිංසයං මානුසිං පජං, උත්‍රස‍්තො ඝසසී භීතො තෙන වණ‍්ණො තවෙදිසො.

1492. (තෙපි) ක්‍රෝධ සිතින් බලමින් මිනිසුන්ට හිංසා කෙරෙමින් තැති ගත් සිතින් බුදින්නහු ය. එහෙයින් තොපගේ පැහැය මෙ බඳු වේ.

1493. සබ‍්බලොක විරද‍්ධොසි ධඞ‍්ක පාපෙන කම‍්මුනා, ලද‍්ධො පිණ‍්ඩො න පීණෙති තෙන වණ‍්ණො තවෙදිසො.

1493. කාකය, පාපකර්‍ම බලයෙන් සියලු ලෝකය (ඔබට) විරුද්ධ ය. ඔබ ලද ආහාරය ඔබ නො පිනව යි. එ හෙයින් ඔබේ පැහැය මෙ බඳු වේ.

1494. අහම‍්පි සම‍්ම භුඤ‍්ජාමි අහිංසා සබ‍්බපාණිනං. අප‍්පොස‍්සුක‍්කො නිරාසඞ‍්කී අසොකො අකුතො භයො.

1494. මිතුර, මම් වනාහි සව්සත්නට හිංසා නො කරන්නෙම්, මඳ වෑයමකින් යුතු ව සැක රහිත ව ශෝක නැති ව බියකු දු නැති ව බුදිමි.

1495. සො කරස‍්සු අනුභාවං වීතිවත‍්තස‍්සු සීලියං, අහිංසාය වරං ලොකෙ පියො හොහිසි මම‍්මිව.

1495. තෙපි, වෑයම් කරව, සිය දුසිල් බව ඉක්මවා පවතුව, (දුසිල් බව අත් හරුව) අහිංසක ව ලොවෙහි හැසිරෙව, මා මෙන් ලොවට ප්‍රිය වන්නහු.

1496. යො න හන‍්ති න ඝාතෙති න ජිනාති න පාපයෙ, මෙත‍්තංසො සබ‍්බභූතෙසු වෙරං තස‍්ස න කෙනචීති.

1496. යමෙක් අනුන් නො නසා ද නො නස්වා ද ධන හානි නො කෙරේ ද, නො කරවා ද, සව් සතුන් කෙරෙහි මෙත් කෙරේ ද ඔහුට කිසිවෙක් වෛර නො කෙරේ.

13. චක‍්කවාකජාතකං.

13. චක්කවාක ජාතක යි.