7. පඤ‍්චුපොසථජාතකං
2059. අප‍්පොස‍්සුක‍්කොදානි තුවං කපොත විහඞ‍්ගම න තව භොජනත්‍ථො, ඛුදං පිපාසං අධිවාසයන‍්තො කස‍්මා භවං පොසථිකො කපොතො.
2059. පරෙවිය, දැන් ඔබ ආහාරයට ආසා නැත්තෝ ය. ඔබට ආහාරයෙන් ප්‍රයෝජනයක් නැත්තේ ද? පින්වත් පරෙවියා සා පිපාසා ඉවසමින් පෙහෙවස් රක්නේ කිම?
2060. අහං පුරෙ ගිද‍්ධිගතො කපොතියා අස‍්මිං පදෙසස‍්මිං උභො රමාම, අථග‍්ගහී සාකුණිකො කපොතිං අකාමකො තාය විනා අහොසිං.
2060. තවුසාණෙනි, මම පෙරැ පරෙවි දෙනක හා බැඳී ගියෙමි. මේ පෙදෙසේ අපි දෙදෙනා ප්‍රේමයෙන් වුසූමු. එකල කුරුල්ලෙක් (උකුස්සෙක්) පරෙවි දෙන අල්ලා ගති. නො කැමැත්තෙන් මම ඇගෙන් වෙන් වීමි.
2061. නානාභවා විප‍්පයොගෙන තස‍්සා මනොමයං වෙදනං වෙදියාමි, තස‍්මා අහං පොසථං පාලයාමි රාගො මමං මා පුනරාගමාසි.
2061. ඇගේ නැතිවීම නිසා උපන් විරහ දුකින් සිත් වේදනා විඳිමි. එහෙයින් මම පෙහෙවස් රකිමි. රාගය මට නැවත නො පැමිණේවා.
2062. අනුජ‍්ජුගාමි උරග ද‍්විජිව‍්හ දාඨාවුධො ඝොරවිසොසි පස‍්ස, ඛුදං පිපාසං අධිවාසයන‍්තො කස‍්මා භවං පොසථිකො නු දීඝො
2062. ඍජුව ගමන් නො කරන උරගයකු වූ දෙ දිව් ඇති සර්‍පයා, ඔබ දළ අවි කොට ඇති දරුණු විෂ ඇත්තෙහි ය. පින්වත් සර්‍පයා සා පවස් ඉවසමින් පෙහෙවස් රක්නේ කවර හෙයින් ද?
2063. උසභො අහූ බලවා ගාමිකස‍්ස චලක‍්කකූ වණ‍්ණබලූපපන‍්නො මං අක‍්කමි තං කුපිතො අඩංසිං දුක‍්ඛාභිතුණ‍්ණො මරණං උපාගමි.
2063. චලනය වන මොල්ලියක් ඇති වර්‍ණයෙන් හා බලයෙන් යුක්ත වූ වෘෂභයෙක් ග්‍රාමභෝජකයාට විය. ඌ මා මැඩ පී හෙයින් කිපුණු මම ඌ ඩැසීමි. දුකට පැමිණි ගවයා මරණයට පත් විය.
2064. තතො ජනා නික‍්ඛමිත්‍වාන ගාමා කන්‍දිත්‍වා රොදිත්‍ව අපක‍්කමිංසු, තස‍්මා අහං පොසථං පාලයාමි කොධො මමං මා පුනරාගමාසි.
2064. ඉක්බිති ගම්වැසියෝ නික්ම අවුත් භඬා වැලැපැ ගියාහු ය. එහෙයින් මම පෙහෙවස් රකිමි. මට නැවත ක්‍රෝධය නො පැමිණේවා.
2065. මතාන මංසානි බහූ සුසානෙ මනුඤ‍්ඤරූපං තව භොජනෙතං, ඛුදං පිපාසං අධිවාසයන‍්තො කස‍්මා භවං පොසථිකො සිගාලො.
2065. සොහොනෙහි මළවුන්ගේ මස් බොහෝ ඇත. මේ ආහාරය තොපගේ සිත් ගන්නේ ය. පින්වත් ගෘගාලය, සා පවස් ඉවසමින් පෙහෙවස් රක්නේ කිම?
2066. පවිස‍්ස කුච‍්ඡිං මහතො ගජස‍්ස කුණපෙ රතො හත්‍ථමංසෙ පගිද‍්ධො, උණ‍්හො ච වාතො තිඛිණා ච රස‍්මියො තෙ සොසයුං තස‍්ස කරීසමග‍්ගං.
2066. ඇත්කුණට තදින් ඇලුණේ ඇත් මසට ඉතා ගිජු වැ මහත් ඇත්කුසට වැදුණෙමි. උණුසුම් වාතයත් දැඩි රශ්මියත් ඇතාගේ ඒ මල මඟ වියළු.
2067. කිසො ච පණ‍්ඩූ ච අහං භදන‍්තෙ න මෙ අහූ නික‍්ඛමනාය මග‍්ගො, මහා ච මෙඝො සහසා පවස‍්සි සො තෙමයී තස‍්ස කරීසමග‍්ගං.
2067. ස්වාමීනි, මම කෘශ වීමී. පඬු පැහැ වීමී. නික්මෙන්නට එහි මට මගෙක් නො වී ය. මහ වැස්සක් හදිසියේ වැස්සේ ය. එය උගේ මලමඟ තෙමී ය.
2068. තතො අහං නිකඛමිස‍්සං භදන‍්තෙ චන්‍දො යථා රාහුමුඛා පමුත‍්තො, තස‍්මා අහං පොසථං පාලයාමි ලොභො මමං මා පුනරාගමාසි.
2068. ස්වාමීනි, ඉක්බිති මම රාහු මුවෙන් මුත් සඳ සේ එයින් පිටවීමි. එ හෙයින් මම පෙහෙවස් රකිමි. ලෝභය නැවැත මට නො පැමිණේවා.
2069. වම‍්මිකථූපස‍්මිං කිපිල‍්ලිකානි නිප‍්පොථයන‍්තො තුවං පුරෙ චරාසි, ඛුදං පිපාසං අධිවාසයන‍්තො කස‍්මා භවං පොසථිකො නු අච‍්ඡො.
2069. පෙරැ තෙපි හුඹස් වේයන් බුදිමින් හැසිරුණවු ය. පින්වත් වලසාණෙනි, දැන් සා පවස් ඉවසමින් පෙහෙවස් රක්නේ කිම?
2070. සකං නිකෙතං අතිහීලයානො අත්‍රිච‍්ඡතාය මලතං අගඤ‍්ඡිං, තතො ජනා නික‍්ඛමිත්‍වාන ගාමා කොදණ‍්ඩකෙන පරිපොථයිංසු මං
2070. සිය නිවෙස වූ වන ලැහැබට නිගා කරමින් ආශා අධික හෙයින් මලය පෙදෙසට ගියෙමි. ගම්වැසියෝ එයින් නික්මැ අවුත් දුනු දඬුවලින් හා මුගුරුවලින් මට තැළුහ.
2071. සො භින‍්නසීසො රුහිරමක‍්ඛිතඞ‍්ගො පච‍්චාගමාසිං සකං නිකෙතං, තස‍්මා අහං පොසථං පාලයාමි අත්‍රිච‍්ඡතා මා පුනරාගමාසි.
2071. බිඳුණු හිසත් ලේ තැවැරුණ සිරුරත් ඇති මම සිය නිවෙසට ආපසු ආවෙමි. එහෙයින් මම පෙහෙවස් රකිමි. අධික ආශාව මට නැවැත නො පැමිණේවා.
2072. යං නො අපුච‍්ඡිත්‍ථ තුවං භදන‍්තෙ සබ‍්බෙව ව්‍යාකරිම‍්හ යථාපජානං, මයම‍්පි පුච‍්ඡාම තවං භදන‍්තෙ කස‍්මා භවං පොසථිකොනු බ්‍රහ‍්මෙ.
2072. ස්වාමීනි, ඔබ වහන්සේ අපෙන් යමක් විතාළෝ ද අපි හැම දන්නා පරිද්දෙන් හෙළි කෙළෙමු. ස්වාමීනි, අපි දු ඔබ වහන්සේ විතාරමු. පින්වත් ඔබ වහන්සේ පෙහෙවස් රක්නේ කිම?
2073. අනූපලිත‍්තො මම අස‍්සමම‍්හි පච‍්චෙකබුද‍්ධො මුහුත‍්තං නිසීදි, සො මං අවෙදි ගතිමාගතිඤ‍්ච නාමඤ‍්ච ගොත‍්තං චරණඤ‍්ච සබ‍්බං.
2073. කෙලෙස් නො වැකුණ පසේ බුදුන් වහන්සේ නමක් මගේ අසපුවෙහි මොහොතක් වැඩහුන් සේක. උන් වහන්සේ මට යායුතු තැන ද පැමිණි තැන ද නම් ගොත් ද චරණ දහම් ද යන සියල්ල දෙසූ සේක.
2074. එවම‍්පහං නග‍්ගහෙ තස‍්ස පාදෙ න චාපි නං මානගතෙන පුච‍්ඡිං, තස‍්මා අහං පොසථං පාලයාමි මනො මමං මා පුනරාගමාසීති.
2074. මෙසේ වුවත් මම උන්වහන්සේගේ පා නො වැන්දෙමි. උඩඟු සිතින් උන්වහන්සේ නො විතාළෙමි. එහෙයින් මම පෙහෙවස් රකිමි. මානය මට යළිත් නො පැමිණේවා.