යෙදුමෙන් කියවන්න

3. අලම‍්බුසාජාතකං

3. අලම‍්බුසාජාතකං.

3. අලම්බුසා ජාතකය

3175. අථබ්‍රවි බ්‍රහා ඉන්‍දො වත්‍රභූ ජයතං පිතා, දෙවකඤ‍්ඤං පරාභෙත්‍වා සුධම‍්මායං අලම‍්බුසං.

3175. ඉක්බිති වක්ත්‍ර නම් අසුරයා මැඩ පැවැත් වූ ජයප්‍රාප්ත ව දෙවියන්ගේ පිතෘස්ථානයෙහි වැජඹෙන්නා වූ මහත් අනුභාව ඇති ශක්‍ර තෙම සුධර්‍මා නම් දිව්‍ය සභායෙහි පරීක්‍ෂා කොට දැන අලම්බුසා නම් දිව්‍ය කන්‍යාවට මෙය කීයේ ය.

3176. මිස‍්සෙ දෙවා තං යාචන‍්ති තාවතිංසා සඉන්‍දකා, ඉසිපලොභිකෙ ගච‍්ඡ ඉසිසිඞ‍්ගං අලම‍්බුසෙ.

3176. පුරුෂයන් කෙලෙස් මිශ්‍රණයෙන් මිශ්‍ර කරන හෙයින් මිශ්‍රා නම් වූ ඍෂීන් පොලොබවා ලීමෙහි දක්‍ෂ අලම්බුසාවනි, ශක්‍රයා සහිත තව්තිසා වැසි දෙවියෝ ඉසිසිංග තාපසයා පොලොබවීටම තිට යාච්ඤා කෙරෙත්, එහි යව.

3177. පුරායං අම‍්හෙ අච‍්චෙති වතවා බ්‍රහ‍්මචරියවා, නිබ‍්බානාභිරතො වුද‍්ධො තස‍්ස මග‍්ගානි ආවර.

3177. එම්බා අලම්බුසාව, ව්‍රත රක්නා බ්‍රහ්මචාරී වූ ඒ ඉසිසිංග තාපසයා ගුණයන්ගෙන් වැඩි සිටියේ නිවන්හි ඇලුණේ ය. මොහු අපගේ විෂය ඉක්මවා යන්නට පෙර ඔහුගේ දෙව්ලොව යන මාර්‍ගයන් ආවරණය කරව.

3178. දෙවරාජ කිමෙව ත්‍වං මමෙව තුවං සික‍්ඛසි, ඉසි පලොභිකෙ ගච‍්ඡ සන‍්ති අඤ‍්ඤාපි අච‍්ඡරා.

3178. දිව්‍යරාජයාණෙනි, කිම නුඹ වහන්සේ මේ දෙව්ලොව ඍෂීන් පොලොබවීම පිණිස මාම දක්නෙහි ද? තවත් අප්සරාවෝ ඇත්තාහු නො වෙද්දැ යි අලම්බුසාව ප්‍රශ්න කළා ය.

3179. මාදිසියො පවරා චෙව අසොකෙ නන්‍දනෙ වනෙ, තාසම‍්පි හොතු පරියායො තාපි යන‍්තු පලොභිකා.

3179. ශෝක රහිත වූ නන්‍දන වනයෙහි මා වැනි අප්සරාවෝද මට වඩා උතුම් අප්සරාවෝ ද ඇත්තාහ. ඔවුනට මේ ගමන් වාරය වේවා. ඔවුහු ද තවුසා පොලොබවීමට යෙත්වා.

3180. අද‍්ධා හි සච‍්චං භණසි සන‍්ති අඤ‍්ඤාපි අච‍්ඡරා, තාදිසියො පවරා චෙව අසොකෙ නන්‍දනෙ වනෙ.

3180. ඒකාන්තයෙන් ම තෝ ඇත්තක් කියව. ශෝක රහිත නන්‍දන වනයෙහි තී හා සමාන වූ ද තිට වඩා උතුම් වූ ද තවත් අප්සරාවෝ ඇත්තාහ.

3181. න තා එවං පජානන‍්ති පාරිචරියං පුමංගතා, යාදිසං ත්‍වං පජානාසි නාරි සබ‍්බඞ‍්ග සොභනෙ.

3181. සියලු අංගයන්ගෙන් හොබනා වූ අලම්බුසාවනි, පුරුෂයකු වෙත ගියා වූ ඒ අප්සරාවරු තී යම් යම්බඳු පාරිචර්‍ය්‍යයක් දන්නී නම්, එය නොදන්නාහ.

3182. ත්‍වමෙව ගච‍්ඡ කල්‍යාණි ඉත්‍ථීනං පවරා චසි, තවෙව වණ‍්ණරූපෙන වසමානාපයිස‍්සසි.

3182. යහපත් තැනැත්තිය, තෝ ම යව. තී ස්ත්‍රීන් අතුරෙන් උතුම් වන්නී ය. තිගේ ම වර්‍ණයෙන් ද රූප සම්පත්තියෙන් ද ඒ තාපසයා වසඟයට පමුණුවා ගන්නෙහි ය.

3183. න චාහං න ගමිස‍්සාමි දෙවරාජෙන පෙසිතා, විභෙමි චෙතං ආසාදුං උග‍්ගතෙජො හි බ්‍රාහ‍්මණො.

3183. දෙව්රජහු පිටත්කර යවන ලද මම නො යන්නෙම් නො වෙමි. එහෙත් මේ තව්සාට ළංවන්නට බිය වෙමි. ඒ තාපස තෙම උග්‍ර තේජස් ඇත්තේ ය.

3184. අනෙකෙ නිරයං පත‍්තා ඉසිමාසාදියා ජනා, ආපන‍්නා මොහසංසාරං තස‍්මා ලොමානි හංසයෙ.

3184. ඍෂීන් පොලොබවීමට ගිය බොහෝ දෙන මෝහයෙන් සංසාරයට බැසගත්තාහු නිරයට පැමිණියහ. ඒ නිසා ලොමුදහ ගනිත්.

3185. ඉදං වත්‍වාන පක‍්කාමි අච‍්ඡරා කාමවණ‍්ණිනී, මිස‍්සා මිස‍්සෙතුමිච‍්ඡන‍්ති ඉසිසිඞ‍්ගං අලම‍්බුසා.

3185. පුරුෂයන් කැමතිවන ශරීර වර්‍ණයක් ඇති පුරුෂයන් ක්ලේශයෙන් මිශ්‍ර කරන්නා වූ අලම්බුසා නම් ඒ අප්සරාව මෙසේ කියා ඉසිසිංග තවුසා ක්ලේශයන්ගෙන් මිශ්‍ර කරන්නට ගියා ය.

3186. සා ච තං වනමොගය‍්හ ඉසිසිඞ‍්ගෙන රක‍්ඛිතං, බිම‍්බිජාලකසඤ‍්ඡන‍්නං සමන‍්තා අඩ‍්ඪයොජනං.

3186. ඕ තොමෝ ද ඉසිසිංග තාපසයා විසින් රක්නා ලද රත් කරව් ගසින් ගැවසීගත්තා වූ හාත්පස යොදුනක් පමණ වූ ඒ වනයට වැද.

3187. පාතොව පාතරාසම‍්හි උදන‍්හසමයං පටි, අග‍්ගිට‍්ඨං පරිමජ‍්ජන‍්තං ඉසිසිඞ‍්ගං උපාගමි.

3187. පෙර බත්කාලයෙහි ඉර උදාවන්නා වූ උදෑසන ම අමදිමින් ගිනිහල් ගෙහි සිටියා වූ ඉසිසිංග තාපසයන් වෙතට එළැඹියා ය.

3188. කානු විජ‍්ජුරිවාහාසි ඔසධී විය තාරකා, විචිත‍්තවත්‍ථාභරණා ආමුත‍්තමණිකුණ‍්ඩලා.

3188. විසිතුරු වස්ත්‍රාභරණයෙන් සැරැසුණු අමුණන ලද මිණිකොඬොල් ඇති තී විදුලියක සේ ද ඕසධී තරුව සේ ද බබළන්නෙහි ය. තෝ කවර තැනැත්තියක් ද?

3189. ආදිච‍්චවණ‍්ණසඞ‍්කාසා හෙමචන්‍දනගන්‍ධිනී, සඤ‍්ඤතූරු මහාමායා කුමාරී චාරුදස‍්සනා.

3189. සූර්‍ය්‍ය රශ්මිය වැනි වර්‍ණ ඇති, රත්සඳුන් සුවඳැති තෝ මනා වට වූ ඌරුයුග්ම ඇත්තී ය. මහා මායා ඇත්තී ය. ළදරුවයස් ඇත්තී ය. මනෝඥ දැකුම් ඇත්තී ය.

3190. විලාකා මුදුකා සුද‍්ධා පාදා තෙ සුප‍්පතිට‍්ඨිතා, කමනා කමනීයා තෙ හරන‍්තියෙව මෙ මනො.

3190. තෝ සිහින් වූ ඉඟටියක් ඇත්තී ය. සියුමැලි ය. නිර්‍මල ය. තීගේ පාදයෝ මනාව පිහිටියෝ ය. ගමන්කරන්නා වූ තෝ ඉතා කමනීය ය. මාගේ සිත ඇද ගන්නී ම ය.

3191. අනුබ‍්බා ච තෙ ඌරු නාගනාසසමූපමා, විමට‍්ඨා තුය‍්හං සුස‍්සොණී අක‍්ඛස‍්ස ඵලකං යථා.

3191. තීගේ කලවා යුවළ පිළිවෙළින් මහත් ය. ඇත් හොඬයක් බඳු උපමා ඇත්තේ ය. තීගේ ඉතා විශාල වූ උකුල රන් පෝරුවක් මෙනි.

3192. උප‍්පලස‍්සෙව කිඤ‍්ජක‍්ඛා නාභි තෙ සාධු සණ‍්ඨිතා, පූරාකඤ‍්හඤ‍්ජනස‍්සෙව දූරතො පටිදිසස‍්ති.

3192. මනාව පිහිටියා වූ තීගේ නාභිය උපුල් කර්ණිකාවක් බඳු ය. කළු අඳුනෙන් පිරීගියාක් මෙන් දුරට දක්නා ලැබේ.

3193. දුවිධා ජාතා උරජා අවණ‍්ටා සාධුපච‍්චුදා, පයොධරා අප‍්පතීතා අඩ‍්ඪලාබුසමා ථනා.

3193. තීගේ පයෝධර යුවළ ළෙහි හටගත් නැටි රහිත ව මනාව පැන නැගුණා වූ කිරි රඳා පවත්නා වූ මලානික නො වූ සමවට කුඩා ලබු ගෙඩියක් දෙකට කපා තැබුවාක් මෙනි.

3194. දීඝා කම‍්බුතලාභාසා ගීවා එණෙය්‍යකා යථා, පණ‍්ඩරාවරණා වග‍්ගු චතුත්‍ථමනසන‍්නිභා.

3194. දික් වූ මිහිඟු බෙරයකට සමාන බැබැළීම් ඇති තීගේ ග්‍රීවය ඒණි මුවකුගේ බඳු ය. මනහර දෙතොල් දිවට බඳු පැහැයෙන් යුතුව.

3195. උද‍්ධග‍්ගා ච අධග‍්ගා ච දුමග‍්ගපරිමජ‍්ජිතා, දුවිජා නෙලසම‍්භූතා දින‍්නා තව සුදස‍්සනා.

3195. නිදොස් හනුමස් කෙළවර හටගත්තා වූ උඩුදත් හා යටී දත් දැහැටිවලින් පිරිමදින ලද්දාහු ඉතා දැකුම්කලු ය.

3196. අපණ‍්ඩරා ලොහිතන‍්තා ජිඤ‍්ජුකඵලසන‍්නිභා, ආයතා ච විසාලා ච නෙත‍්තා තව සුදස‍්සනා.

3196. කළුපැහැ මුල ඇති රතුපැහැ අග ඇති ඔලිඳ ඇට බඳු තීගේ ඇස් දික් වූයේත් මහත් වූයේත් ඉතා දැකුම්කලු ය.

3197. නාතිදීඝා සුසම‍්මට‍්ඨා කනකබ්‍යාසමොචිතා, උත‍්තමඞ‍්ගරුහා තුය‍්හං කෙසා චන්‍දනගන්‍ධිකා.

3197. ඉතා දික් නොවූ මැනැවින් මට කරන ලද්දා වූ රන්පණායෙන් පීරන ලද තීගේ හිසෙහි වූ කෙස් සඳුන් සුවඳ ඇත්තේ ය.

3198. යාවතා කසිගොරක‍්ඛා වාණිජානඤ‍්ච යා ගති, ඉසීනඤ‍්ච පරක‍්ඛන‍්තං සඤ‍්ඤතානං තපස‍්සිනං.

3198. යම් තාක් සීසාන්නාහු ගෙරින් රක්නාහු ද, වෙළඳුන්ගේ යම් ස්වභාවයක් වේ ද සංයම ඇත්තා වූ තපස් රක්නා ඍෂිවරුන්ගේත් යම් පරාක්‍රමයකුත් වේ ද.

3199. න තෙ සමසමං පස‍්සෙ අස‍්මිං පඨවිමණ‍්ඩලෙ, කො වා ත්‍වං කස‍්ස වා පුත‍්තො කථං ජානෙමු තං මයං.

3199. මේ පොළෝ මඩුල්ලෙහි තොපට සමයකු නො දැක්කෙමි. නුඹ කවරෙක් ද? කාගේ පුත්‍රයෙක් ද? අපි තොප කෙසේ දනිමු ද?

3200. න පඤහකාලො භද‍්දන‍්තෙ කස‍්සපෙවං ගතෙ සතී, එහි සම‍්ම රමිස‍්සාම උභො අස‍්මාක අස‍්සමෙ එහි තං උපගූහිස‍්සං රතීනං කුසලො භව.

3200. කාශ්‍යප ගෝත්‍ර ඇති තාපසයාණෙනි, මෙසේ නුඹගේ සිත පැවැති කල්හි ප්‍රශ්න කිරීමට කල් නො වෙයි. නුඹට වැඩෙක් ම වේවා. මිත්‍ර තාපසය, අපි දෙදෙනා අපගේ ආශ්‍රමයෙහි අභිරමණය කරන්නෙමු. එව නුඹ වැළදැ ගන්නෙමි යි නුඹ පස්කම් සුව විඳින්නවුන් අතුරෙන් දක්‍ෂයෙක් වව යි අලම්බුසාව කීවා ය.

3201. ඉදං වත්‍වාන පක‍්කාමි අච‍්ඡරා කාමවණ‍්ණිනී, මිස‍්සා මිස‍්සෙතුමිච‍්ඡන‍්ති ඉසිඞ‍්ගං අලම‍්බුසා.

3201. පුරුෂයන් කැමැති වන්නා වූ ශරීර වර්‍ණයක් ඇත්තා වූ පුරුෂයන් ක්ලේශයන් හා මිශ්‍ර කරන්නා වූ අලම්බුසා නම් ඒ අප්සරාව ඉසිසිංග තාපසයා ක්ලේශයෙන් මිශ්‍ර කරනු කැමැත්තී මෙසේ කියා ගියා ය.

3202. සො ච වෙගෙන නික‍්ඛම‍්ම ඡෙත්‍වා දන්‍ධපරක‍්කමං, තමුත‍්තමාසු වෙණීසු අජ‍්ඣප‍්පත‍්තො පරාමසී.

3202. තාපස තෙමේ ද සෙමින් යන ගමන අත්හැර වේගයෙන් නික්ම ගොස් ඇය වෙතට පැමිණියේ උතුම් කෙස් වැටිය ගෙන පිරිමැද්දේ ය.

3203. තමුදාවත‍්ත කල්‍යාණි පළිස‍්සජි සුසොභනා, චවි තම‍්හි බ්‍රහ‍්මචරියා යථා තං අථ තොසිතා.

3203. ඉතා ශෝභමාන වූ කල්‍යාණ දර්‍ශන ඇති ඕ තොමෝ පෙරළා නැවතී තවුසා වැළඳගත්තී ය. එසේ වැළඳගැනීමෙන් බ්‍රහ්මචර්‍ය්‍යයෙන් චුත වූ කල්හි ශක්‍රයා යම්සේ සිතී ද, එය සිදු වූයේ ය. එකල්හි අලම්බුසා තොමෝ ද සතුටු කරන ලද්දී ය.

3204. මනසා අගමා ඉන්‍දං වසන‍්තං නන්‍දනෙ වනෙ, තස‍්සා සඞ‍්කප‍්පමඤ‍්ඤාය මඝවා දෙවකුඤ‍්ජරො.

3204. අලම්බුසා තොමෝ නන්‍දන වනයෙහි වසන්නා වූ ශක්‍රයා වෙත සිතින් පැමිණියා ය. දෙවියන්ට උතුම් වූ ශක්‍ර තෙම ඇයගේ සිතුවිල්ල දැන-

3205. පල‍්ලඞ‍්කං පහිණී ඛිප‍්පං සොවණ‍්ණං සොපවාහනං, ස උත‍්තරච‍්ඡදපඤ‍්ඤාසං සහස‍්සපටිකත්‍ථතං.

3205. ශක්‍ර තෙමේ ද, පිරිවර සහිත වූ මත්තෙහි වසන ලද ඇතිරිලි පනසක් ඇති කොඳු පලස් දහසක් අතුරන ලද්දා වූ ස්වර්‍ණමය පර්‍ය්‍යංකයක් එවී ය.

3206. තමෙනං තත්‍ථ ධාරෙසි උරෙ කත්‍වාන සොභනා, යථා එකමුහුත‍්තංව තීණි වස‍්සානි ධාරයි.

3206. ශෝභන වූ අලම්බුසා තොමෝ ඒ මේ ඉසිසිංග තවුස්හු පුරා තුන්වර්‍ෂයක් ඒ පලඟෙහි ලා ළෙහි හොවා දැරුවා ය.

3207. විමදො තීහි වස‍්සෙහි පබුජ‍්ඣිත්‍වාන බ්‍රාහ‍්මණො, අද‍්දසාසි හරිතරුක‍්ඛෙ සමන‍්තා අග‍්ගියායනං.

3207. පහවූ මත් වීම් ඇති ඒ බ්‍රාහ්මණ තෙමේ තෙවසකින් පිබිද ගිනිහල් ගෙය සමීපයෙහි නිල්වන්ව වැඩී ගිය ගස් දුටුවේ ය.

3208. නවපත‍්තවනං ඵුල‍්ලං කොකිලාගණඝොසිතං, සමන‍්තා ස විලොකෙත්‍වා රුදං අස‍්සූනි වත‍්තයි.

3208. තාපස තෙම කොවුලන් විසින් පවත්වන ලද නාද ඇති නවපත්‍රයෙන් සැදුම් ලත් පිපීගිය ඒ වනය හාත්පස බලා අඬමින් කඳුළු වගුරවන්නට පටන් ගත්තේ ය.

3209. න ජුහෙ න ජපෙ මන‍්තෙ අග‍්ගිහුත‍්තං පහාපිතං, කොනු මෙ පාරිචරියාය පුබ‍්බෙ චිත‍්තං පලොභයි.

3209. යාග නො කෙළෙමි. මන්ත්‍ර ජප නො කෙළෙමි. හෝමාග්නිය නසන ලදි. පරිචර්‍ය්‍යායෙන් කවරෙක් නම් මාගේ සිත මෙයින් පෙර පෙළඹවී ද? කියා තවුස් තෙම කෑ ගසා ඇඬුවේ ය.

3210. අරඤ‍්ඤෙ මෙ විහරතො යො මෙ තෙජාහ සම‍්භතං, නානාරතනපරිපුණ‍්ණං නාවංව ගණ‍්හි අණ‍්ණවෙ.

3210. අරණ්‍යයෙහි වසන්නා වූ මා විසින් ශ්‍රමණ තේජසින් රැස් කරන ලද්දා වූ මහාසාගරයෙහි නොයෙක් රුවනින් පිරීගිය නැවක් මෙන් වූ මාගේ ධ්‍යාන ගුණය යමෙක් පැහැර ගත්තේ නම් හේ කවරෙක් දැ යි තාපස තෙම මුරගා කී ය.

3211. අහන‍්තෙ පාරිචරියාය දෙවරාජෙන පෙසිතා, අවධිං චිත‍්තං චිතෙතන පමාදා ත්‍වං න බුජ‍්ඣසි.

3211. පින්වත් තාපසය, ශක්‍ර දිව්‍ය රාජයා පරිචර්‍ය්‍යාව පිණිස මෙහෙයන ලද මම මාගේ සිතින් නුඹගේ සිත මැඩ පැවැත්වීමි. එය නුඹ වහන්සේ ප්‍රමාදයෙන් අවබෝධ නො කළහ.

3212. ඉමානි කිර මං තාතො කස‍්සපො අනුසාසති, කමලාසරිසිත්‍ථියො තායො බුජ‍්ඣෙසි මාණව.

3212. මාගේ පිය වූ කාශ්‍යප තෙම මට මේ වචන කීයේ ය. මාණවකය, ලියතඹර මල් වැනි ස්ත්‍රීහු වෙත්. ඔවුන් දැනගනුව’ යි කීයේ ය.

3213. උරෙ ගණ‍්ඩායො බුජ‍්ඣෙසි තායො බුජ‍්ඣෙසි මාණව, ඉච‍්චානුසාසි මං තාතො යථා මං අනුකම‍්පකො.

3213. අනුකම්පා ඇත්තකු සේ මට මාගේ පිය වූ කාශ්‍යප තෙම අවවාද දෙනුයේ, මාණවකය, ළයෙහි මස්ගඩු දෙකක් ඇති ස්ත්‍රීන් දැන ගනුව. ඒ ස්ත්‍රීහු තමන් වසඟයට පැමිණියවුන් නසති යි දැනගනුව යි මෙසේ කීයේ ය.

3214. තස‍්සාහං වචනං නාකං පිතු වුද‍්ධස‍්ස සාසනං, අරඤ‍්ඤෙ නිම‍්මනුස‍්සම‍්හි ස‍්වාජ‍්ජ ඣායාමි එකකො.

3214. වයෝවෘද්ධ වූ ඒ පියාගේ අනුශාසනය මම නො පිළිපැද්දෙමි. මනුෂ්‍යයන් විරහිත වනයෙහි ඒ මම අද එකලා වැ වැලපෙමි යි තවුසා කීයේ ය.

3215. සොහං තථා කරිස‍්සාමි ධිරත්‍ථු ජීවිතෙන මෙ, පුන වා තාදිසො හෙස‍්සං මරණං වා මෙ භවිස‍්සති.

3215. ඒ මම එසේ කරන්නෙමි. මාගේ ජීවිතයට නින්‍දා වේවා, නොහොත් මාගේ ජීවිතයෙන් ඇති ඵලය කුමක් ද? නැවත හෝ එබන්දෙක් වන්නෙමි. (නැතිව ගිය ධ්‍යාන ලබා ගන්නෙමි) නො එසේ නම් මාගේ මරණය හෝ වන්නේ යැ යි තාපසයා නැවතත් අධිෂ්ඨාන කර ගත්තේ ය.

3216. තස‍්ස තෙජඤ‍්ච විරියඤ‍්ච ඨිතිං ඤත්‍වා සුවඩ‍්ඪිතං, සිරසා අග‍්ගහි පාදෙ ඉසිසිඞ‍්ගං අලම‍්බුසා.

3216. ඒ ඉසිසිංග තාපසයා නැවත මනාව වඩන ලද තේජසත් වීර්‍ය්‍යයත් උත්සාහයත් දැන අලම්බුසාව ඉසිසිංග තාපසයාගේ පාළඟ හිසින් වැටී දෙපා වැඳ කමා කරවා ගත්තා ය.

3217. මා මෙ කුජ‍්ඣ මහාවීර මා මෙ කුජ‍්ඣ මහාඉසී, මහා අත්‍ථො මයා චිණ‍්ණො තිදසානං යසස‍්සිනං තයා පකම‍්පිතං ආසි සබ‍්බං දෙවපුරං තදා.

3217. මහාවීරයන් වහන්ස, මට නො කිපෙනු මැන. මහර්ෂිය, මට නො කිපෙනු මැන. පිරිවර ඇත්තා වූ තාවතිංස දෙවියනට මා විසින් මහත් වැඩක් කරන ලදි. එකල්හි මුළු දෙව්පුරය නුඹ වහන්සේ විසින් වෙසෙසින් කම්පා කරන ලද්දේ ය.

3218. තාවතිංසා ච යෙ දෙවා තිදසානඤ‍්ච වාසවො, ත්‍වඤ‍්ච භද‍්දෙ සුඛී හොහි ගච‍්ඡ කඤ‍්ඤෙ යථාසුඛං.

3218. තව්තිසා වැසි යම් දෙවි කෙනෙක් වේ නම් ඔහු ද දෙව්ලෝ වැස්සන්ට අධිපති වූ ශක්‍රයාත් යන මොහු සුවපත් වෙත්වා සොඳුර තී ද සුවපත් වව. කන්‍යාවෙනි සුවසේ යව.

3219. තස‍්ස පාදෙ ගහෙත්‍වාන කත්‍වා ච නං පදක‍්ඛිණං, අඤ‍්ජලිං පග‍්ගහෙත්‍වාන තම‍්හා ඨානා අපක‍්කමි.

3219. අලම්බුසාව උන් වහන්සේගේ පා අල්ලා වැඳ ප්‍රදක්‍ෂිණා කොට ඇඳිලි බැඳ එතැනින් බැහැර වූවා ය.

3220. යො තස‍්සා ආසි පල‍්ලඞ‍්කො සොවණ‍්ණො සොපවාහනො, සඋත‍්තරච‍්ඡදපඤ‍්ඤාසො සහස‍්සපටිකත්‍ථතො තමෙව පල‍්ලඞ‍්ක මාරුය‍්හ අගා දෙවානසන‍්තිකෙ.

3220. පිරිවර සහිත වූ මත්තෙහි වසනලද ඇතිරිලි පනසක් ඇති කොඳුපලස් දහසක් අසුරන ලද්දා වූ ඇගේ ස්වර්‍ණමය යම් පර්‍ය්‍යංකයක් වී ද එම පර්‍ය්‍යංකයට ම නැඟ දෙවියන් වෙත ඕ ගියා ය.

3221. තමොක‍්කමිව ආයන‍්තිං ජලන‍්තිං විජ‍්ජුතං යථා, පතීතො සුමනො විත‍්තො දෙවින්‍දො අදදා වරං.

3221. බබළන්නා වූ උල්කාව යම්සේ ද, විදුලිය යම්සේ ද, එසේ එන්නා වූ ඇය දැක ප්‍රීතිමත් වූ සතුටු සිත් ඇති ශක්‍ර තෙමේ වරයක් දුන්නේ ය.

3222. වරං චෙ මෙ අදො සක‍්ක සබ‍්බභූතානමිස‍්සර, න ඉසිපලොභිකා ගච‍්ඡෙ එතං සක‍්ක වරං වරෙති.

3222. සියලු භූතයන්ට අධිපති වූ ශක්‍ර දේවේන්‍ද්‍රය, ඉදින් තෙපි මට වරයක් දෙවු නම් ඍෂින් පෙළඹවීමට නො යන්නෙමි යන තෙල වරය ඉල්ලමි යි අලම්බුසාව කීවා ය.

අලම‍්බුසාජාතකං.

අලම්බුසා ජාතක යි.