යෙදුමෙන් කියවන්න

වනප‍්පවෙසකණ‍්ඩො

5097. පුප‍්ඵාභිහාරස‍්ස වනස‍්ස මජ‍්ඣෙ කො ලොහිතක‍්ඛො විහතන‍්තරංසො, කාකම‍්බුකායූරධරා සුවත්‍ථා තිට‍්ඨන‍්ති නාරියො දස වන්‍දමානා.

5097. පුද පිණිස ගෙනෙන ලද මලින් යුතු මෙ වන මැදැ රතැ’ස් ඇති පිරුණු උරහිස් අතර ඇති ඔබ කවරහු ද, ස්වර්‍ණමය ගෙල පළඳනා හා වළලු ඇති මනා වූ ඇඳුමින් යුත් කවර නම් ස්ත්‍රීහු දස දෙනෙක් වඳිමින් සිටිත් ද?

5098. කො ත්‍වං බ්‍රහාබාහු වනස‍්ස මජ‍්ඣෙ විරොචසි ඝතසිත‍්තොව අග‍්ගි, මහෙසක‍්ඛො අඤ‍්ඤතරොසි යක‍්ඛො උදාහු නාගොසි මහානුභාවො.

5098. මහත් වූ අත් ඇති ගිතෙල් ඉසිණු ගින්නක් මෙන් වන මැද බැබැළෙන ඔබ කවර නම් කෙනෙක් ද? මහත් අනුභාව ඇති යකෙක් ද? නොහොත් අනුභාව සම්පන්න නාගයෙක් දැ යි බමුණා ඇසී ය.

5099. නාගොහමස‍්මිං ඉද‍්ධිමා තෙජසී දුරතික‍්කමො, ඩසෙය්‍යං තෙජසා කුද‍්ධො ඵීතං ජනපදං අපි.

5099. මම ඍද්ධි ඇති විෂ ඇති තේජස් ඇති අනුන් විසින් මැඩ පැවැත්විය නො හැකි නාගයෙක්මි. ඉදින් මම කිපියෙම් නම් විෂ තේජසින් මුළු ජනපදය ද දෂ්ට කොට දවා ලන්නෙමි.

5100. සමුද‍්දජා හි මෙ මාතා ධතරට‍්ඨො ච මෙ පිතා, සුදස‍්සනකනිට‍්ඨොස‍්මි භූරිදත‍්තොති මං විදූ.

5100. සමුද්දජා නම් බිසොව මාගේ මවු තොමෝ ය. ධතරට්ඨ නම් නාරජ මාගේ පිය තෙමේ ය. මම වනාහි සුදස්සන නම් නාරජු ගේ මල් වෙමි. මා භූරිදත්ත යැ යි නාගභවනයෙහි දනිති යි නා රජ කී ය.

5101. යං ගම‍්භීරං සදාවට‍්ටං රහදං භෙස‍්මං අවෙක‍්ඛසි, එස දිව්‍යො මමාවාසො අනෙකසතපොරිසො.

5101. හැම කල් පැවැති ගැඹුරු දියසුළි ඇති බිහිසුණු යම් විලක් දක්නෙහි ද? නොයෙක් සිය ගණන් පුරුෂ ප්‍රමාණ ඇති ඒ විල වනාහි මාගේ දිව්‍යමය වූ වාසස්ථානය යි.

5102. මයූරකොඤ‍්චාභිරුදං නීලොදං වනමජ‍්ඣතො, යමුනං පවිස මාභිතො ඛෙමං වත‍්තවතං සිවං.

5102. දෙ ඉවුරු වන පෙතැ වෙසෙන මොණරුන් විසින් ද කොස්වා ලිහිණියන් විසින් ද පැවැත්වෙන නද ඇති නිල්වන් ජලය ඇති ආචාර සම්පන්නයන් වාසය කරන ක්‍ෂේමභූමි වූ මේ යමුනා ගඟට භය නැති වැ පිවිසෙව යි නාරජ කී ය.

5103. තත්‍ථ පත‍්තො සානුචරො සහපුත‍්තෙන බ්‍රාහ‍්මණ, පූජිතො මය‍්හං කාමෙහි සුඛං බ්‍රාහ‍්මණ වච‍්ඡසි.

5103. අනුචරයන් හා එහි පැමිණි පුතු සහිත බමුණාට පිදුයේ බ්‍රාහ්මණය, මා සතු කම්සැපතින් සුවසේ වසන්නැ යි නාරජ කී ය.

5104. සමා සමන‍්තා පරිතො බහූත තගරා මහී, ඉන්‍දගොපකසඤ‍්ඡන‍්නා සොභතී හරිතුත‍්තමා.

5104. පින්වත් නාරජ, ඔබගේ භවන පිළිබඳ මේ පොළොව සියලු දිසා සමතලා ය. තුවරලා බොහෝ ඇති රන්වන් ඉඳු ගොව්වන් ගෙන් ගැවැසීගත් නිල්වන් කුසතනින් බැබැළෙයි.

5105. රම‍්මා වනචෙත්‍යානි රම‍්මා හංසූපකූජිතා, ඔපුප‍්ඵපදමා තිට‍්ඨන‍්ති පොක‍්ඛරඤ‍්ඤො සුනිම‍්මිතා.

5105. වනපෙත සිත්කලු ය. හංසයන් පවත්වන නාද ඇති පිපී වැටුණු පියුම් පෙති ඇති සිත්කලු පොකුණු ද මැනැවින් නිමවන ලද යැ.

5106. අට‍්ඨංසා සුකතත්‍ථම‍්භා සබ‍්බෙ වෙළුරියාමයා, සහස‍්සථම‍්භා පාසාදා පූරා කඤ‍්ඤාහි ජොතරෙ.

5106. අටැස් කොට මැනැවින් කැරුණු වෙරළු මිණිමුවා දහසක් ටැම් ඇති ප්‍රාසාදයෝ නාගකන්‍යාවන් ගෙන් පිරිණාහු බැබැළෙති.

5107. විමානං උපපන‍්නොසි දිබ‍්බං පුඤ‍්ඤෙහි අත‍්තනො, අසම‍්බාධං සිවං රම‍්මං අච‍්චන‍්තසුඛසංහිතං.

5107. සිය පිනින් පහළ වූ කරදර නැති උවදුරු රහිත වූ සිත්කලු වූ ඒකාන්තයෙන් සැප ඇති මේ දිව්‍ය විමානයෙහි උපන්නෙහි ය.

5108. මඤ‍්ඤෙ සහස‍්සනෙත‍්තස‍්ස විමානං නාභිකඞ‍්ඛසි, ඉද‍්ධී හි ත්‍යායං විපුලා සක‍්කස‍්සෙව ජුතීමතො.

5108. යම්හෙයකින් ඔබ පිළිබඳ වූ මේ සම්පත්තිය බැබැළෙන සක්දෙවිඳුන්ගේ මෙන් මහත් ද එසේ වුවත් සක්දෙවිඳුන්ගේ වෛජයන්තප්‍රාසාදය නො කැමැත්තෙහි යැ යි සිතමි.

5109. මනසාපි න පත‍්තබ‍්බො අනුභාවො ජුතීමතො, පරිවාරයමානානං සඉන්‍දානං වසවත‍්තීනං.

5109. සැපතින් මහත් සක්දෙවිඳුන්ගේ අනුභාව (කොතරම් දැ යි කිව හොත්) සක්දෙවිඳුන් සහිත දෙවියනට මෙහෙ කරන අපට සිතන්නට ද නො හැකි වේ යැ යි නාරජ කී ය.

5110. තං විමානං අභිජ‍්ඣාය අමරානං සුඛෙසිනං, උපොසථං උපවසන‍්තො සෙමි වම‍්මිකමුද‍්ධනී.

5110. සුව කැමැති දෙවියන්ගේ ඒ විමන පතා මම තුඹස මතැ සයනය කෙරෙමි යි නා රජ කී ය.

5111. අහඤ‍්ච මිගමෙසානො සපුත‍්තො පාවිසිං වනං, තං මං මතං වා ජීවං වා නාභිවෙදෙන‍්ති ඤාතකා.

5111. පින්වත් නාරජ, මම ද මුවන් සොයමින් පුතු සමඟ වනයට පිවිසියෙමි. ඒ මා මළ නො මළ බව අප නෑයෝ නො දනිති.

5112. ආමන‍්තයෙ භූරිදත‍්තං කාසිපුත‍්තං යසස‍්සිනං, තයා වො සමනුඤ‍්ඤාතා අපි පස‍්සෙමු ඤාතකෙ.

5112. කසීරජහුගේ දුවගේ පුත් යස පිරිවර ඇති භූරිදත්ත නමැති තොප අමතමි. තොප විසින් අනුදන්නා ලද අපි ගොස් නෑයන් දකිමු යි බමුණා කී ය.

5113. එසොහි වත මෙ ඡන්‍දො යං වසෙසි මමන‍්තිකෙ, නහි එතාදිසා කාමා සුලභා හොන‍්ති මානුසෙ.

5113. මා වෙත වසන්නෙහි යන යමක් වෙයි ද, මේ වනාහි ඒකාන්තයෙන් මගේ කැමැත්ත ය. මිනිස් ලොවැ මෙ බඳු කම් සැප නො සුලබ ය.

5114. සචෙ ත්‍වං න ඉච‍්ඡසෙ වත්‍ථුං මම කාමෙහි පූජිතො, මහා ත්‍වං සමනුඤ‍්ඤාතො සොත්‍ථිං පස‍්සාහි ඤාතකෙ.

5114. ඉදින් මා සතු සම්සැපතින් පිදූ තෙපි මෙහි වාසයට නො කැමැත්තහු නම් මා විසින් දෙන ලද අවසර පරිදි සුවසේ ගොස් නෑයන් දකින්නැ යි නාරජ කී ය.

5115. ධාරයීමං මණිං දිව්‍යං පසුං පුත‍්තෙ ච වින්‍දති, අරොගො සුඛිතො හොති ගච‍්ඡෙවාදාය බ්‍රාහ‍්මණ.

5115. මේ දිව්‍යමය මැණික දරන තැනැත්තේ මෙහි අනුභාවයෙන් ගවයන් ද දරුවන් ද ලබයි. බමුණ මේ මැණික රැගෙන යන්න නිරෝගි සැප ඇත්තෙක් වන්නෙහි කියා කැමැති සියලු සම්පත් දෙන මැණිකක් දුනි.

5116. කුසලං පටිනන්‍දාමි වචො තව, පබ‍්බජිස‍්සාමි ජිණ‍්ණොස‍්මි න කාමෙ අභිපත්‍ථයෙ.

5116. පින්වත් භූරිදත්ත නාරජ, ඔබගේ නිදොස් බස් අසා තුටුවෙමි. මම් වනාහි දිරාපත් වීමි. එහෙයින් පැවිදි වන්නෙමි. කම් සැප නො පතන්නෙමි. මට මැණිකෙන් ප්‍රයෝජන කිමැ යි බමුණා කී ය.

5117. බ්‍රහ‍්මචරියස‍්ස චෙ භඞ‍්ගො හොති භොගෙහි කාරියං, අවිකම‍්පමානො එය්‍යාසි බහුං දස‍්සාමි තෙ ධනං.

5117. බ්‍රාහ්මණය, ඉදින් බඹසර බිඳුමක් වුණි නම් වස්තුවෙන් කටයුත්තක් ඇති වුණි නම් එ කලැ නිසැක වැ මා වෙත එනු තොපට බොහෝ ධන දෙන්නෙමි යි නාරජ කී ය.

5118. කුසලං පටිනන්‍දාමි භූරිදත‍්ත වචො තව, පුනපි ආගමිස‍්සාමි සචෙ අත්‍ථො භවිස‍්සති.

5118. පින්වත් භූරිදත්ත නාරජ, ඔබගේ නිදොස් බසට කැමැති වෙමි. ඉදින් මට ප්‍රයෝජනයක් වෙයි නම් නැවැත ද ඔබ වෙත එන්නෙමි යි බමුණා කී ය.

5119. ඉදං වත්‍වා භූරිදත‍්තො පෙසෙසි චතුරො ජනෙ, එථ ගච‍්ඡථ උට‍්ඨෙථ ඛිප‍්පං පාපෙථ බ්‍රාහ‍්මණං.

5119. භූරිදත්ත නාරජ තෙමේ මෙ බස් කියා නයින් සතර දෙනකුන් යැවී. වරෙවු. යවු. මොවුන් නැගිටුවවු. බ්‍රාහ්මණයා බරණැසට යන මගට වහා පමුණුවවු යි කී ය.

5120. තස‍්ස තං වචනං සුත්‍වා උට‍්ඨාය චතුරො ජනා, පෙසිතං භූරිදත‍්තෙන ඛිප‍්පං පාපෙසුං බ්‍රාහ‍්මණං.

5120. ඔහුගේ එ බස් ඇසූ නාගයෝ සිවුදෙන භූරිදත්ත රජු විසින් මෙහෙයවන ලද්දාහු නැගිට බ්‍රාහ්මණයා බරණැස් මගට වහා පැමිණවූහ.

වනප‍්පවෙසකණ‍්ඩො.

වන ප්‍රවේශ කාණ්ඩය යි.