යෙදුමෙන් කියවන්න

වීසතිනිපාතෙ සිරිමන්‍ද පඤ‍්හො

5817. පඤ‍්ඤායුපෙතං සිරියා විහීනං යසස‍්සිනඤ‍්චාපි අපෙතපඤ‍්ඤං, පුච‍්ඡාමි තං සෙනක එතමත්‍ථං කමෙත්‍ථ සෙය්‍යො කුසලා වදන‍්ති.

5817. සේනකය, “ප්‍රඥාවෙන් යුක්ත සම්පත්තියෙන් තොර වූයේ ද සම්පත්තියෙන් යුක්ත ප්‍රඥාවෙන් තොර වූයේ ද යන මොවුන් දෙදෙනා අතුරෙන් නුවණැත්තෝ කවරකු උතුම් කොට සලකන්නාහු දැ” යි මෙහි අරුත් පුළුවුස්මි.

5818. ධීරා ච බාලා ච භත්‍ව ජනින්‍ද සිප‍්පූපපන‍්නා ච අසිප‍්පිනො ච, සුජාතිමන‍්තොපි අජාතිමස‍්ස යසස‍්සිනො පෙස‍්සකරා භවන‍්ති: එතම‍්පි දිස‍්වාන අහං වදාමි පඤ‍්ඤො නිහීනො සිරිමාව සෙය්‍යො.

5818. (සේනක) මහරජ, නුවණ ඇත්තෝ ද නුවණ නැත්තෝ ද සිප් හැදෑරුවෝ ද නො හැදෑරුවෝ ද සුජාතිමත්හු ද හීනජාති ඇති සම්පත් ඇත්තාගේ මෙහෙකරුවෝ වෙත්. මේ කරුණ දැක මම නුවණැත්තේ හීනය යි ද සම්පත්තියෙන් යුක්ත වූයේ ම උතුම් යයි ද කියමි.

5819. තවම‍්පි පුච‍්ඡාමි අනොමපඤ‍්ඤ මහොසධ කෙවලධම‍්මදස‍්සි, බාලං යසස‍්සිං පණ‍්ඩිතං අප‍්පභොගං කමෙත්‍ථ සෙය්‍යො කුසලා වදන‍්ති.

5819. මහාප්‍රාඥ වූ සියලු ධර්‍ම දක්නා වූ මහෞෂධය, තොප පිළිවිසිමි. අඥාන වූ එහෙත් සම්පත් ඇත්තා වූ ද ප්‍රඥාවෙන් යුක්ත වූ එහෙත් අල්පභෝග ඇත්තා වූ ද දෙදෙන අතුරෙන් කවරෙක් වඩා උතුමැ යි නුවණැත්තෝ කියත් ද?

5820. පාපානි කම‍්මානි කරොති බාලො ඉධමෙව සෙය්‍යො ඉති මඤ‍්ඤමානො, ඉධලොකදස‍්සි පරලොකං අදස‍්සී උභයත්‍ථ බාලො කලිමග‍්ගහෙසි; එතම‍්පි දිස‍්වාන අහං වදාමි පඤ‍්ඤොව සෙය්‍යො න යසස‍්සී බාලො.

5820. (මහෞෂධ) මෙලෝ සම්පත් මැ උතුමැ යි සලකන බාලයා පව්කම් කරයි. මෙලොව දක්නා වූ පරලොව නො දක්නා වූ අඥානයා දෙලොවින් මැ පැරැදෙයි. මේ කාරණය දැකැ නුවණැත්තේ ශ්‍රේෂ්ඨ යැයි ද යශසින් යුක්ත වූ ඥානයෙන් හීන වූයේ ශ්‍රේෂ්ඨ නො වේ යැ යි ද මම කියමි.

5821. න සිප‍්පමෙතං විදධාති භොගං න බන්‍ධවා න සරීරාවකාසො පස‍්සෙළමූගං සුඛමෙධමානං, සිරී හි නං භජතෙ ගොරිමනදං එතම‍්පි දිස‍්වාන අහං වදාමි පඤ‍්ඤො නිහීනො සිරිමාව සෙය්‍යො.

5821. (සේනක) මේ සිප්සතර භෝගයන් නො එළවයි. (එයින්) ඥාතීහු ද නො වෙත්. ශරීරාවකාශයෙක් ද නො වේ. කෙළතොලු වැ සුව විඳිනා ගෝරිමන්‍ද සිටාණන් බැලුව මැනැව. ශ්‍රී තොමෝ ඔහු සේවනය කරයි. මේ දැකැ නුවණැත්තේ ශ්‍රේෂ්ඨ නො වේ. අඥාන වූ සම්පත් ඇත්තා මැ උතුමැ යි කියමි.

5822. ලද‍්ධා සුඛං මජ‍්ජති අප‍්පපඤ‍්ඤො දුක‍්ඛෙන ඵුට‍්ඨොපි පමොහමෙති ආගන‍්තුනා සුඛදුක‍්ඛෙන ඵුට‍්ඨො පවෙධති වාරිචරොව ඝම‍්මෙ එතම‍්පි දිස‍්වාන අහං වදාමි. පඤ‍්ඤෙව සෙය්‍යො න යසස‍්සී බාලො.

5822. (මහෞෂධ) අල්ප ප්‍රාඥයා ඉසුරු සුවය ලැබ එහි ඇලේ. දුඃඛ ස්පර්‍ශයෙන් අතිශය මුළාවට පැමිණේ. ආගන්තුක සුව දුකින් පහස්නා ලද්දේ අව්වෙහි ලූ මසකු සෙයින් සැලේ. මම මේ කරුණ දැක නුවණැත්තේ ම උතුම් වේ. ඉසුරුමත් බාලයා උතුම් නො වේ ය යි කියමි.

5823. දූමං යථා සාදුඵලං අරඤ‍්ඤෙ සමන‍්තතො සමභිචරන‍්ති පක‍්ඛී, එවම‍්පි අඩ‍්ඪං සධනං සභොගං බහුජ‍්ජනො භජති අත්‍ථහෙතු; එතම‍්පි දිස‍්වාන අහං වදාමි. පඤ‍්ඤො නිහීනො සිරිමාව සෙය්‍යො.

5823. (සේනක) වනයෙහි මිහිරි ඵලයන්ගෙන් යුක්ත වූ වෘක්‍ෂය හාත්පසැ යම්සේ පක්‍ෂීහු හැසිරෙත් ද එසේ මැ ආඪ්‍ය වූ ධනයෙන් හා භෝගයෙන් යුක්ත පුද්ගලයා ද ධනය නිසා බොහෝ දෙන සේවනය කරති. මේ කරුණ දැකැ මම ප්‍රඥා ඇත්තේ හීන ය. යශස් ඇත්තේ මැ උතුමැ යි කියමි.

5824. න සාධු බලවා බාලො සාහසං වින්‍දතෙ ධනං, කන්‍දන‍්තමෙව දුම‍්මෙධං කඩ‍්ඪන‍්ති නිරයෙ භුසං. එතම‍්පි දිස‍්වාන අහං වදාමි. පඤ‍්ඤොව සෙය්‍යො න යසස‍්සී බාලො.

5824. (මහෞෂධ) බලවත් වූ බාලයා යහපත් නො වේ. හේ සැහැසිකමින් ධනය ලබයි. වලප්නා වූ මැ ඒ මෝඩයා (නිරය පාලයෝ) මහානිරයට පමුණුවත්. මම මේ කරුණ දැකැ නුවණැත්තේ මැ උතුම් වෙයි. ඉසුරුමත් බාලයා උතුම් නො වේ ය යි කියමි.

5825. යා කාචි නජ‍්ජො ගඞ‍්ගමභිස‍්සවන‍්ති සබ‍්බාව තා නාමගොත‍්තං ජහන‍්ති ගඞ‍්ගා සමුද‍්දං පටිපජ‍්ජමානා න ඛායතෙ ඉද‍්ධිපරො හි ලොකො එතම‍්පි දිස‍්වාන අහං වදාමි. පඤ‍්ඤෙව නිහීනො සිරිමාව සෙය්‍යො.

5825. (සේනක) යම් කිසි කුඩා නදීහු මහගඟ කරා ගලා බසිද් ද ඒ සියල්ලෝ පෙරැ නම් ගොත් හැරැ දමත්. (ගඟ යන වහරටම යෙති ) ගඟ මුහුදට වදනා කල ද පෙර නම නො පැනෙයි, (මුහුද යන නම ලබයි). ඒකාන්තයෙන් ලෝ වැස්සෝ සම්පත්තිය මැ පිහිට කොට ඇත්තාහ. මම මේ කරුණ දැකැ නුවණැත්තේ නිහීන ය. සම්පත් ඇත්තේ මැ උතුමැයි කියමි.

5826. යමෙතමක‍්ඛා උදධිං මහන‍්තං සවන‍්ති නජ‍්ජො සබ‍්බකාලං අසඞ‍්ඛං සො සාගරො නිච‍්චමුළාරවෙගො වෙලං න අච‍්චෙති මහාසමුද‍්දො.

5826-5827. (මහෞෂධ) තෙපි යම් මේ මහාසාගරයක් ගැන කීහු ද එයට අප්‍රමාණ කාලයක් මුළුල්ලේ නදීහු ගලා බසිත්. ඒ සාගරය නිරතුරු මහත් වූ රළවේග ඇත්තේ ය. එහෙත් මහ සයුර වෙරළ නො ඉක්මව යි. එබැවින් බාලයාගේ කථාවෝ ප්‍රාඥයා නො ඉක්මවති. කිසි කලෙකත් සම්පත්තිය ප්‍රඥාව ඉක්මවා නො යයි. මම මේ කරුණ දැකැ ප්‍රාඥයා මැ උතුම් වෙයි. ඉසුරුමත් බාලයා උතුම් නො වේ ය යි කියමි.

5827. එවම‍්පි බාලස‍්ස පජප‍්පිතානි පඤ‍්ඤං න අච‍්චෙති සිරී කදාචි එතම‍්පි දිස‍්වාන අහං වදාමි. පඤ‍්ඤොව සෙය්‍යො න යසස‍්සී බාලො.

5828. අසඤ‍්ඤතො චෙපි පරෙසමත්‍ථං භණාති සන්‍ථානගතො යසස‍්සි තස‍්සෙව තං රූහති ඤාතිමජ‍්ඣෙ සිරි හි නං කාරයතෙ න පඤ‍්ඤා, එතම‍්පි දිස‍්වාන අහං වදාමි. පඤ‍්ඤො නිහීනො සිරිමාව සෙය්‍යො.

5828. (සේනක) කායාදීන්හි සංයමයක් නැත්තේ ද ඉසුරුමත් තැනැත්තේ අධිකරණයෙහි සිටියේ මෙරමාගේ අර්‍ත්‍ථය ප්‍රකාශ කෙරෙයි, (ඒ විනිශ්චය මණ්ඩලයෙන්) ඥාතිමධ්‍යයෙහි ඔහුගේ මැ වචනය පිළිගැනෙයි. එය සම්පත්තිය මැ කරවයි. ප්‍රඥාව නො වේ. මම මේ කරුණ දැකැ නුවණැත්තේ හීන ය. යශස් ඇත්තේ මැ උතුම් වන්නේ ය යි කියමි.

5829. පරස‍්ස වා අත‍්තනො වාපි හෙතු බාලො මුසා භාසති අප‍්පපඤ‍්ඤො සො නින්‍දිතො හොති සභාය මජ‍්ඣෙ පෙච‍්චාපි සො දුග‍්ගතිගාමි හොති. එතම‍්පි දිස‍්වාන අහං වදාමි. පඤ‍්ඤෙව සෙය්‍යො න යසස‍්සී බාලො.

5829. (මහෞෂධ) මන්‍දප්‍රාඥ බාලයා තමා හෝ මෙරමා හෝ උදෙසා මුසවා කියයි. සබා මැදැ නින්‍දා ලබන හේ පරලොවැ දුගතිගාමී වෙයි. මම මේ කරුණ දැකැ නුවණැත්තේ මැ උතුම් වන්නේ ය. ඉසුරුමත් බාලයා උතුම් නො වන්නේ ය යි කියමි.

5830. අත්‍ථම‍්පි චෙ භාසති භූරිපඤ‍්ඤො අනාළ‍්හියො අප‍්පධනො දළිද‍්දො න තස‍්ස තං රූති ඤාතිමජ‍්ඣෙ සිරී ච පඤ‍්ඤාණවතො න හොති, එතම‍්පි දිස‍්වාන අහං වදාමි. පඤ‍්ඤො නිහීනො සිරිමාව සෙය්‍යො.

5830. (සේනක) සහල් නැළියක් පමණකුදු නැති නිර්ධන දිළිඳු මහනුවණැත්තේ ඉදින් යම් අර්‍ත්‍ථයක් කියන්නවුන් ඔහුගේ ඒ වචනය නෑයන් මැද නො නැඟෙන්නේ ය. ශ්‍රිය ද නුවණැත්තාට නො වේ. මම මේ කරුණ දැකැ නුවණැත්තේ නිහීන ය. ඉසුරුමත් තැනැත්තේ මැ උතුම් වන්නේ ය යි කියමි.

5831. පරස‍්ස වා අත‍්තනො වාපි හෙතු න භාසති අලිකං භූරිපඤ‍්ඤො සො පූජිතො හොති සහාය මජ‍්ඣෙ පෙච‍්චඤ‍්ච සො සුග‍්ගතිගාමි හොති එතම‍්පි දිස‍්වාන අහං වදාමි. පඤ‍්ඤොව සෙය්‍යො න යසස‍්සී බාලො.

5831. (මහෞෂධ) තමාගේ හෝ මෙරමාගේ හෝ ප්‍රයෝජනය උදෙසා නුවණැත්තේ බොරු නො කියයි. හේ සභාමධ්‍යයෙහි පූජිත වෙයි. පරලොවැ ද සුගතිගාමී වෙයි. මම මේ කරුණ දැකැ නුවණැත්තේ මැ උතුම් වන්නේ ය. ඉසුරුමත් බාලයා උතුම් නො වන්නේ ය යි කියමි.

5832. හත්‍ථිගවස‍්සා මණිකුණ‍්ඩලා ච නාරියො ච ඉද‍්ධෙසු කුලෙසු ජාතා සබ‍්බාව තා උපභොගා භවන‍්ති; ඉද‍්ධස‍්ස පොසස‍්ස අනිද‍්ධිමන‍්තො එතම‍්පි දිස‍්වාන අහං වදාමි. පඤ‍්ඤෙව සෙය්‍යො න යසස‍්සී බාලො.

5832. (සේනක) හස්තිගවාශ්වයෝ ද මාණික්‍ය කුණ්ඩලාභරණයෝ ද සමෘද්ධිමත් කුලයන්හි කාන්තාවෝ ද ඉසුරුමත් නොවූ සියල්ලෝ ද ඉසුරුමත් තැනැත්තාට ම උපභෝග පිණිස පවත්නාහ. (නිර්ධන නුවණැත්තා පිණිස නො පවතිත්.) මම මේ කරුණ දැකැ ප්‍රාඥයා නිහීන ය. ඉසුරුමත් තැනැත්තේ මැ උතුම් වන්නේ යයි කියමි.

5833. අසංවිහිතකම‍්මන‍්තං බාලං දුම‍්මන‍්තමන‍්තිනං, සිරී ජහති දුම‍්මෙධං ජිණ‍්ණංව උරගො තචං, එතම‍්පි දිස‍්වාන අහං වදාමි. පඤ‍්ඤොව සෙය්‍යො න යසස‍්සී බාලො.

5833. (මහෞෂධ) අසංවිහිත කර්‍මාන්ත ඇති දුෂ්ටමන්ත්‍රණයෙන් යුත් මන්ත්‍රීන් ඇති දුෂ්ප්‍රාඥ බාලයා උරගයකු දිරුණු සැව හරනා සේ ශ්‍රී තොමෝ අත් හරින්නී ය. මම මේ කරුණ දැකැ නුවණැත්තේ ම උතුම් වන්නේ ය. ඉසුරුමත් බාලයා උතුම් නො වන්නේ ය යි කියමි.

5834. පඤ‍්ච පණ‍්ඩිතා මයං භදන‍්තෙ සබ‍්බෙ පඤ‍්ජලිකා උපට‍්ඨිතා ත්‍වං නො අභිභුය්‍ය ඉස‍්සරොසි සක‍්කො භූතපතීව දෙවරාජා එතම‍්පි දිස‍්වාන අහං වදාමි. පඤ‍්ඤො නිහීනො සිරිමාව සෙය්‍යො.

5834. (සේනක) ස්වාමීනි, පණ්ඩිත වූ අපි පස් දෙන සියල්ලෝ ම බදැඳිලි වැ ඔබ වෙතැ එළැඹියෙමු. භූතයන්ට අධිපති වූ ශක්‍රදිව්‍යරාජයා සේ ඔබ අප මැඬැ ඉසුරුමත් වැ සිටින්නහු ය. මේ කරුණ දැකැ මම ප්‍රාඥයා හීන ය. ඉසුරුමත් තැනැත්තේ මැ උතුම් වන්නේ ය යි කියමි.

5835. දාසොව පඤ‍්ඤස‍්ස යසස‍්සි බාලො අත්‍ථෙසු ජාතෙසු තථාවිධෙසු, යං පණ‍්ඩිතො නිපුණං සංචිධෙති සම‍්මොහමාපජ‍්ජති තත්‍ථ බලො එතම‍්පි දිස‍්වාන අහං වදාමි. පඤ‍්ඤොව සෙය්‍යො න යසස‍්සි බාලො.

5835. (මහෞෂධ) නුවණ ඇත්තන් විසින් කළයුතු යමක් උපන් කලැ ඉසුරුමත් බාල තෙමේ නුවණැත්තාගේ ගැත්තකු සේ වෙයි. නුවණැත්තේ දක්‍ෂ ලෙසින් යමක් සංවිධානය කෙරේ ද එහි ලා මුග්ධයා මහත් සේ මුළාවට පැමිණෙයි. මම මේ කරුණ දැකැ නුවණ ඇත්තේ මැ උතුම් වන්නේ ය. ඉසුරුමත් බාලයා උතුම් නො වන්නේ ය යි කියමි.

5836. අද‍්ධා හි පඤ‍්ඤාව සතං පසත්‍ථා කන‍්තා සිරී භොගරතා මනුස‍්සා, ඤාණඤ‍්ච බුද‍්ධානමතුල්‍යරූපං පඤ‍්ඤං න අච‍්චෙති සිරී කදාචි.

5836. ඒකාන්තයෙන් සත්පුරුෂයන් විසින් නුවණ මැ පසස්නා ලද්දේ ය. සම්පත්හි අන්‍ධබාල මනුෂ්‍යයෝ ඇලුණාහු වෙති. එහෙයින් ශ්‍රී තොමෝ ඔවුන් කැමැති වෙයි. බුද්ධිමතුන්ගේ ඥානය අසමාන වන්නේ ය. ශ්‍රී තොමෝ කවර කලෙකත් ප්‍රඥා ඇත්තහු ඉක්ම නො යයි.

5837. යං තං අපුච‍්ඡිම‍්හ අකිත‍්තයී නො මහොසධ කෙවලධම‍්මදස‍්සී ගවං සහස‍්සං උසභඤ‍්ච නාගං; ආජඤ‍්ඤයුත‍්තෙ ච රථෙ දස ඉමෙ පඤ‍්හස‍්ස වෙය්‍යාකරණෙන තුට‍්ඨො දදාමි තෙ ගාමවරානි සොළස.

5837. (වේදේහ රජ) නිවැරැදි සේ ධර්‍මය දක්නා වූ මහෞෂධ පණ්ඩිතය, අපි යමක් විචාළමෝ නම් ඒ අපට කීවහු ය. ප්‍රශ්න විසැඳීම පිළිබඳ තුටු වූ මම ගවයන් දහසක් ද හස්තිරාජයකු ද ආජානේය සෛන්‍ධවයන් යෙදූ මේ රිය දසය ද ගම්වර සොළසක් ද තොපට දෙමි.

වීසතිනිපාතෙ සිරිමන්‍ද පඤ‍්හො.

විංශති නිපාතයෙහි සිරිමන්‍ද ප්‍රශ්නය යි.