3. දරීමුඛජාතකං
861. පඞ‍්කො ච කාමා පලිපො ච කාමා භයඤ‍්ච මෙතං තිමූලං පවුත‍්තං, රජො ච ධූමො ච මයා පකාසිතා හිත්‍වා තුවං පබ‍්බජ බ්‍රහ‍්මදත‍්ත.
861. බ්‍රහ්මදත්තය, කාමය මඩ වැනි ය. (එසේ ම) පැතිරගිය මඩකි. මුල් තුනෙකින් පිහිටි (ගසක් සේ) කාමය අචල ව පිහිටියෙන් බිය උපදවයි. දුවිල්ලක් ලෙස ද දුමක් ලෙස මා විසින් ප්‍රකාශ කොට ඇත. නුඹ මේ කාමය හැර පැවිදි වන්න.
862. ගථිතො ච රත‍්තො අධිමුච‍්ඡිතො ච කාමෙස‍්වාහං බ්‍රාහ‍්මණ භිංසරූපං, තං නුස‍්සහෙ ජිවිකත්‍ථො පහාතුං කාහාමි පුඤ‍්ඤානි අනප‍්පකානි.
862. බ්‍රාහ්මණය, කාමයන් දැඩි ආශා ඇතියේ එහි ඉතා ඇලුණේ ඒ නිසා මුසපත් වූයෙන් ජීවිකාවට කැමැත්තේ බිය උපදවන ඒ කාමය දුරුකරන්නට වෑයම් නො කරමි. (එහෙත්) බොහෝ පින්කම් කරන්නෙමි.
863. යො අත්‍ථකාමස‍්ස හිතානුකම‍්පිනො ඔවජ‍්ජමානො න කරොති සාසනං, ඉදමෙව සෙය්‍යො ඉති මඤ‍්ඤමානො පුනප‍්පුනං ගබ‍්භමුපෙති මන්‍දො.
863. යමෙක් දියුණු ව කැමැති ව හිතෛෂී ව අනුකම්පා පෙරටු ව ඔවා දෙනුයේ වුව ද මෙය ම වඩා මනා යයි තමා ගත් මතයේ එල්බගෙන) සිතමින් අනුශාසිත පරිදි ක්‍රියා නො කෙරේ ද හෙතෙම නැවත නැවත මව්ගැබට පැමිණේ.
864. සො ඝොරරූපං නිරයං උපෙති සුභාසුභං මුත‍්තකරීසපූරං, සත‍්තා සකායෙ න ජහන‍්ති ගිද‍්ධා යෙ හොන‍්ති කාමෙසු අවීතරාගා.
864. හේ සසරට බිය වූ කුලපුත්‍රයන්හට පිළිකුල් වූ මලමූත්‍රයෙන් පිරුණු දරුණු ස්වභාවය ඇති මව්කුස නම් වූ නිරයට පැමිණේ. යම් කෙනෙක් කාමයන්හි පහව නොගිය ආශා ඇත්තේ ද එහි ගිජු වූයේ ද ඇලුණේ ද ඔහු මව්කුස වාසය නො හරිත්.
865. මීළ‍්හෙන ලිත‍්තා රුහිරෙන මක‍්ඛිතා සෙම‍්හෙන ලිත‍්තා උපනික‍්ඛමන‍්ති, යං යං හි කායෙන ඵුසන‍්ති තාවදෙ සබ‍්බං අසාතං දුක‍්ඛමෙව කෙවලං.
865. අශුචියෙන් තැවරී, ලෙයින් වැකී, සෙමින් ගෑවී සත්හු නික්මෙත් ද, යමක් සිරුරෙන් ස්පර්‍ශ කෙරේ ද එකෙණෙහි ම සියල්ල දුක් ය.
866. දිස‍්වා වදාමි නහි අඤ‍්ඤතො සවං පුබ‍්බෙනිවාසං බහුකං සරාමි, චිත්‍රාහි ගාථාහි සුභාසිතාහි දරීමුඛො නිජ‍්ඣාපයී සුමෙධන‍්ති.
866. අනෙකකුගෙන් අසා නො කියමි. පෙරවුසූ කඳපිළිවෙළ දක්නා නුවණින් දැකැ කියමි. බහුල වශයෙන් පෙරවූසූ කඳපිළිවෙළ සිහි කරමි. දරීමුඛ පසේබුදු රජාණන් වහන්සේ විසිතුරු ගාථායෙන් වදාරා නුවණැති රජුට තම අදහස ගැන්වී ය.