5. ආසඞ්කජාතකං
873. ආසාවතී නාම ලතා ජාතා චිත්තලතාවනෙ, තස්සා වස්සසහස්සෙන එකං නිබ්බත්තතෙ ඵලං. තං දෙවා පටිරුපාසන්ති තාව දුරඵලං සතිං.
873. චිත්රලතා වනයෙහි ආසාවතී නැමැති වැලක් හටගත්තේ එහි අවුරුදු දහසෙකින් ගෙඩියක් හටගත්තේ ය. එතරම් දිග කාලයකගේ ඇවෑමෙන් ඵල හටගන්නා ඒ වැල සමීපයට දෙවියෝ නැවත නැවත එති.
874. ආසිංසෙව තුවං රාජ ආසඵලවතී සුඛා, ආසිංසෙථෙව සො පක්ඛී ආසිංසෙථෙව සො දිජො.
874. රජතුමනි, ඔබ ද පතන්නෙහි ය ආසාව ඵලවත් වූයේ සැප ගෙන දේ යයි පක්ෂියා බලාපොරොත්තු වේ ම ය. ඒ පක්ෂියා ලබමි යි පතන්නේ ය.
875. තස්ස චාසා සමිජ්ඣිත්ථ තාව දුරගතා සතී ආසිංසෙව තුවං රාජ ආසා ඵලවතී සුඛා.
875. එතෙක් දුර ගිය ඔහුගේ ආසාව සම්පූර්ණ විය. එහෙයින් රජතුමනි ඔබ ද පතනු මැනැවි. ආසාව ඵලවත් වූයේ සැප ගෙන දෙයි.
876. සම්පෙසි ඛො මං වාචාය න ච සම්පෙසි කම්මුනා, මාලා සෙරෙය්යකස්සෙව වණ්ණවන්නා අගන්ධිකා.
876. සුවඳ නැති පාට සහිත කටුකරඬු මල් පරිදි මා කථාවෙන් සතුටු කෙළෙහි ය. ක්රියාවෙන් සතුටු නො කෙළෙහි ය.
877. අඵලං මධුරං වාචං යො මිත්තෙසු පකුබ්බති, අද්දං අවිස්සජං භොගං සන්ධි තෙනස්ස ජීරති.
877. යමෙක් (කිසිවක්) නො දෙන්නේ සම්පත් නො හරින්නේ, යාළුවන්ට නිෂ්ඵල වූ මිහිරිකථා කියා ද (කථාවෙන් පමණක් සංග්රහ කෙරේ ද) ඔහු හා මිතුරුකම නො ගැළපේ.
878. යං හි කයිරා තං හි වදෙ යං න කයිරා න තං වදෙ, අකරොන්තං භාසමානං පරිජානන්ති පණ්ඩිතා.
878. යමක් කරන්නේ ද එය කියන්නේ ය, යමක් නො කරන්නේ ද එය නො කියන්නේ ය. කියන ලෙස නො කරන්නවුන් නුවණැත්තෝ දැනගනිති.
879. බලඤ්ච වත මෙ ඛීණං පථෙය්යඤ්ච න විජ්ජති, සඞ්කෙ පාණූපරොධාය හන්දන්දානි වජාමහං.
879. මාගේ බලය ක්ෂය විය, මාර්ගෝපකරණ ද නැත. මාගේ පණ නැති වේ යයි සැක කරමි. එහෙයින් දැන් මම හැර යමි.
880. එතදෙව හි මෙ නාම යං නාමස්මිං රථෙසභ, ආගමෙහි මහාරාජ පිතරං ආමන්තයාමහ’න්ති.
880. රජතුමනි, මෙහි යම්බඳු නමක් වේ ද මේ මාගේ නම වේ. මහරජතුමනි, බලව මම පියා කැඳවමි.