යෙදුමෙන් කියවන්න

5. මය‍්හකජාතකං

950. සකුණො මය‍්හකො නාම ගිරිසානාදරීචරො පක‍්කං පිපඵලිමාරුය‍්හ මය‍්හං මය‍්හන‍්ති කන්‍දති.

950. පර්‍වතයේ ද කඳුබෑවුම්හි ද පර්‍වත විවරයේ ද හැසිරෙන මය්හක නමැති පක්‍ෂියෙක් පැසුණුගෙඩි ඇති පුලිල ගසෙක සිට “මය්හං මය්හං” මගේ මගේ ය යි කියමින් හඬයි.

951. තස‍්සෙවං විලපන‍්තස‍්ස දිජසඞ‍්ඝා සමාගතා භුත්‍වාන පිප‍්ඵලිං යන‍්ති විලපිත්‍වෙව සො දිජො.

951. මෙසේ ඔහු හඬද්දී ම ගසට රැස් වූ පක්‍ෂි සමූහයෝ පුලිලගෙඩි කා යති. ඒ පක්‍ෂියා හඬන්නේ ම ය.

952. එවමෙව ඉධෙකච‍්චො සඞ‍්ඝරිත්‍වා බහුං ධනං, නෙවත‍්තනො න ඤාතීනං යථොධිං පටිපජ‍්ජති.

952. එ සෙයින් ම මෙලොව ඇතැමෙක් බොහෝ ධනය රැස් කොට බෙදුව මනා කොටස් බෙදා නො දෙති. තමා ද නිසි ප්‍රයෝජන නො ලබයි.

953. න සො අච‍්ඡාදනං භත‍්තං න මාලං න විලෙපනං, අනුභොති සකිං කිඤ‍්චි න සඞ‍්ගණ‍්හාති ඤාතකෙ.

953. හේ එක්වරෙක් හෝ ඇඳුම්වලින් හා ආහාරයෙන් ප්‍රයෝජන නො ගනී. මලින් සැරසීම හෝ විලෙවුන් අලෙවු දීම හෝ නො කරයි. කිසිම නෑයකුට සංග්‍රහ නො කරයි.

954. තස‍්සෙවං විලපන‍්තස‍්ස මය‍්හං මය‍්හන‍්ති රක‍්ඛතො, රාජානො අථවා චොරා දායාදායෙව අප‍්පියා ධනමාදාය ගච‍්ඡන‍්ති විලපිත්‍වෙව සො නරො.

954. මගේ මගේ යයි රකිමින් හඬන්නා වූ ඔහුගේ වස්තුව රජවරු ද නැතහොත් හොරු ද අප්‍රියයෝ ද ගෙනයත්. ඒ මිනිසා හඬන්නේ ම ය.

955. ධීරො ච භොගෙ අධිගම‍්ම සඞ‍්ගණ‍්හාති ච ඤාතකෙ, තෙන සො කිත‍්තිං පප‍්පොති පෙච‍්ච සග‍්ගෙ ච මොදතීති.

955. නුවණැත්තා වස්තුව ලැබ නෑයන්ට සංග්‍රහ කරයි. එයින් හේ කීර්තිය ඇත්තේ වේ. පරලොව ද ස්වර්‍ගයේ (ඉපිදැ) සතුටු වේ.

5. මය‍්හකජාතකං.

5. මය්හක ජාතක යි.