යෙදුමෙන් කියවන්න

1. ගිජ‍්ඣජාතකං

1242. පරිසඞ‍්කුපථො නාම ගිජ‍්ඣපන්‍ථො සනන‍්තනො, තත්‍රාසි මාතාපිතරො ගිජ‍්ඣො පොසෙසි ජිණ‍්ණකෙ.

1242. උල් අමුනා කළ හෙයින් සංකූපථ නමැති පැරැණි වූ ගිජුකුළුමුදුනට මාර්‍ගයෙක් විය. එහි ගිජුළිහිණියෙක් මහලු මාපියන් පෝෂණය කෙළේ ය.

1243. තෙසං අජගරං මෙදං අච‍්චහාසි පහූතසො, පිතා ච පුත‍්තං අවච ජානං උච‍්චංපපාතිනං සුපත‍්තං පක‍්ඛසම‍්පන‍්නං තෙජස‍්සිං දූරගාමිනං.

1243. හේ ඔවුනට වුරුණුතෙල් සහිත පිඹුරුමස බොහෝ සෙයින් ගෙනායේ ය. පියා ද දන්නේ ඉහළ පියාඹන ශක්තිසම්පන්න, ඉතා දුර (පියාඹා) යන සුපත්ත නමැති පුත්‍රයාට මෙසේ කී ය.

1244. පරිප‍්ලවන‍්තං පඨවිං යදා තාත විජානහි, සාගරෙන පරික‍්ඛිත‍්තං චක‍්කංව පරිමණ‍්ඩලං. තතො තාත නිවත‍්තස‍්සු මාස‍්සු එත‍්තො පරං ගමී.

1244. “දරුව, යම් කලෙක මුහුදෙන් වට වූ මහපොළොව පිරිමඬුලු වූ රියසකක් මෙන් (දියෙහි) ඉල්පෙන්නා දනිහි ද (පෙනේ ද) එතැනින් නවතින්න. ඉන් ඔබ්බට නො යන්න.”

1245. උද‍්ධං පත‍්තොස වෙගෙන බලී පක‍්ඛී දිජුත‍්තමො, ඔලොකයන‍්තො වක‍්කඞ‍්ගො පබ‍්බතානි වනානි ච.

1245. ශක්තිමත් වූ පියාපත් ඇති, වක් වූ ගෙල ඇති පක්‍ෂි රාජ තෙම පර්‍වත ද වනපෙත් ද බලමින් වේගයෙන් අහසට පැන නැංගේ ය. (පියාඹා ගියේ ය.)

1246. අද‍්දසා පඨවිං ගිජ‍්ඣො යථා සාසි පිතුස‍්සුතං, සාගරෙන පරික‍්ඛිත‍්තං චක‍්කංව පරිමණ‍්ඩලං.

1246. ‘යව’යි කියා පියාගෙන් යම්සේ අසන ලද ද, එසේ ම සයුරෙන් වට වූ රියසකක් සේ වට වූ පොළොව ගිජුළිහිණි තෙමේ දිටී ය.

1247. තඤ‍්ච සො සමතික‍්කම‍්ම පරමෙව පවත‍්තථ, තඤ‍්ච වාතසිඛා තික‍්ඛා අච‍්චහාසි බලිං දිජං.

1247. හේ පියාණන්ගේ ඔවා වශයෙන් කී තැනත් ඉක්මැ ඈතට ම ගියේ ය. වාතශිඛාව (වේගවත් වේරම්බ වාතය) ශක්තිමත් පක්‍ෂියා පැහැර ගත්තේ ය. (ඒ වාතයට අසුවිය.)

1248. නාසක‍්ඛාතිගතො පොසො පුනරෙව නිවත‍්තිතුං, දිජො ව්‍යසනමාපාදි වෙරම‍්බානං වසං ගතො.

1248. පියා කී (පිළිවෙළ) මග ඉක්මවා ගිය පක්‍ෂියා වේරම්බ වාතයට අසු වැ නවතින්නට නො හැකි වූයේ විනාශයට පැමිණියේ ය.

1249. තස‍්ස පුත‍්තා ච දාරා ච යෙ චඤ‍්ඤෙ අනුජීවිනො, සබ‍්බෙ ව්‍යසනමාපාදුං අනොවාදකරෙ දිජෙ.

1249. අවවාද අනුව නො පිළිපන් යම් ඒ ගිජුළිහිණියෙක් වී ද, ඔහුගේ දූදරුවෝ ද භාර්‍ය්‍යාවෝ ද, සෙසු පිරිවර පිරිස ද යන හැමදෙනා ම ව්‍යසනයට පැමිණියාහ.

1250. එවම‍්පි ඉධ වද‍්ධානං යො වාක්‍යං නාවබුජ‍්ඣති, අතීසීමචරො දිත‍්තො ගිජ‍්ඣොවාතීතසාසනො ස චෙ ව්‍යසනං පප‍්පොති අකත්‍වා වුද‍්ධසාසනන‍්ති.

1250. එසේ ම මෙලොව, යමෙක් වැඩිහිටියන්ගේ කීම වටහා නො ගනී ද, පමණ ඉක්මැ, හැසිරෙන්නේ ද, කියන ලද අවවාද ඇති, එහෙත් අනුශාසනා ඉක්මැ ගිය ගිජුළිහිණියා මෙන්, නුවණැති වැඩිහිටියන්ගේ අවවාද නො පිළිගන්නාහු වැනැසෙති.

1. ගිජ‍්ඣජාතකං.

1. ගිජ්ඣ ජාතක යි.