යෙදුමෙන් කියවන්න

10. සමුග‍්ගජාතකං

1328. කුතො නු ආගච‍්ඡථ භො තයො ජනා ස‍්වාගතං එත්‍ථ නිසීදථාසනෙ, කච‍්චිත්‍ථ භොන‍්තො කුසලං අනාමයං චිරස‍්සමබ‍්භාගමනං හි වො ඉධ

1328. පින්වත්නි, තෙපි තිදෙන කොහි සිට එන්නහු ද? ආයේ මැනැවැ. මේ ආසනයෙහි ඉඳගනිවු. පින්වත්නි, කිම, දුකක් නැත්තෝ ද? නීරෝගී ද? කලකට පසු ඔබගේ පැමිණීම විය.

1329. අහමෙව එකො ඉධ මජ‍්ඣපත‍්තො න චාපි මෙ දුතියො කොචි විජ‍්ජති, කිමෙව සන්‍ධාය තෙ භාසිතං ඉසෙ කුතො නු ආගච‍්ඡථ භො තයො ජනා.

1329. තවුසාණෙනි, මම හුදෙකලා වැ මෙහි පැමිණියෙමි. මට කිසි දු දෙවැන්නෙක් නැත. පින්වත, තෙපි තිදෙන කොහි සිට ආවහු දැ යි තොප විසින් කවර හෙයින් කියන ලද ද?

1330. තුවඤ‍්ච එකො භරියා ච තෙ පියා සමුග‍්ගපක‍්ඛිත‍්තනිකිණ‍්ණමන‍්තරෙ, සා රක‍්ඛිතා කුච‍්ඡිගතාව තෙ සදා වායුස‍්ස පුත‍්තෙන සභා තහිං රතා.

1330. කරඬුවෙක තැබූ තොපගේ ප්‍රිය බිරිය බඩ තුළැ ය. තා විසින් රැකි තාගේ කුසට පත් ඇය වායුපුත්‍ර නමැති විද්‍යාධරයකු හා කුස තුළැ ම කෙලෙස් රතියෙන් ඇලී සිටින්නී ය.

1331. සංවිග‍්ගරූපො ඉසිනා වියාකතො සො දානවො තත්‍ථ සමුග‍්ගමුග‍්ගිලි. අද‍්දක‍්ඛි භරියං සුචි මාලධාරිනිං වායුස‍්ස පුත‍්තෙන සභා තහිං රතං.

1331. තවුසා විසින් මෙසේ කියන ලදු වැ කලකිරුණු දානව අසුරයා කරඬුව වමාළේ ය. එ විට වායුපුත්‍ර නමැති විද්‍යාධරයා ද එහි ඔහුට ඇලි හොත් සුවඳ මල්දරා සිටි බිරිය ද දිටී ය.

1332. සුදිට‍්ඨරූපුග‍්ගතපානුවත‍්තිනා. හීනා නරා යෙ පමදාවසංගතා යථා හවෙ පාණරිවෙත්‍ථ රක‍්ඛිතා දුට‍්ඨා මයි අඤ‍්ඤමභිප‍්පමොදති.

1332. තවුසාණන් වහන්ස, උග්‍ර ලෙස තාපස ධර්‍මය රක්නා වූ තොප විසින් කාරණය මැනැවින් දක්නාලද ස්වභාවය ඇත්තේ ය. යම්සේ ඒකාන්තයෙන් මෙහි ලා මාගේ පණ ලෙස රැකි බිරිය මා කෙරේ ද්‍රෝහිණී වූවා අන් පුරුෂයකු වඩා රිසියෙයි. එහෙයින් යම් පුරුෂ කෙනෙක් මාගම් වසයට ගියෝ ද ඔව්හු හීනයෝ වෙති.

1333. දිවා ච රත‍්තො ච මයා උපට‍්ඨිතා තපස‍්සිනා ජොතිරිවා වනෙ වසං, සා ධම‍්මමොක‍්කම‍්ම අධම‍්මමාචරි අකිරියරූපො පමදාහි සන්‍ථවො.

1333. වනයෙහි වෙසෙන තවුසකු විසින් ගින්නක් මෙන්, රෑ දවල්හි උවටන් කරන ලද්දී ද ඕ පතිවත දහමින් ඉවත් වැ අධර්‍මයෙහි හැසුරුණා ය. එහෙයින් ස්ත්‍රීන් හා ඇසුර නොකළ යුතු ස්වභාවය ඇත්තෙක.

1334. සරීරමජ‍්ඣම‍්භි ඨිතානි මඤ‍්ඤිහං මය‍්හං අයන‍්ති අසතිං අසඤ‍්ඤතං, සා ධම‍්මමොක‍්කම‍්ම අධම‍්මමාචරි අකිරියරූපො පමදාහි සන්‍ථවො.

1334. මාගේ කුස තුළැ සිටියා යි ද මෝ මාගේ යැයි ද අසත්පුරුෂ වූ, සංයම නැති මැය (ගැන) සිතීමි. එහෙත් ඕ පතිවත දහමින් ඉවත් වැ අධර්‍මයෙහි හැසුරුණා ය. එහෙයින් ස්ත්‍රීන් හා ඇසුර නො කටයුතු ය.

1335. සුරක‍්ඛිතං මෙති කථන‍්නු විස‍්සසෙ අනෙකචිත‍්තාසු නහෙත්‍ථ රක‍්ඛණා, එතා හි පාතාලපපාතසන‍්තිභා එත්‍ථප‍්පමත‍්තො ව්‍යසනං නිගච‍්ඡති.

1335. මෝ මා විසින් මැනැවින් රක්නා ලදැ යි නුවණැත්තේ කෙසේ නම් ස්ත්‍රිය හදහන්නේ ද? නානාවිධ සිතුවිලි ඇති ස්ත්‍රීන් විෂයයෙහි රැකීමෙක් නැත. එය එසේ ම ය. ස්ත්‍රීහු ලොකාස්වාදරතියෙන් තෘප්තිමත් නොවන හෙයින් මහමුහුදේ ප්‍රපාතයකට සමානයහ. මෙසේ වූ ස්ත්‍රීන් කෙරේ ප්‍රමත්ත වූ පුරුෂයා විනාශයට යෙයි.

1336. තස‍්මා හි තෙ සුඛිනො වීතසොකා යෙ මාතුගාමෙහි චරන‍්ති නිස‍්සටා, එතං සිවං උත‍්තම මාභිපත්‍ථයං න මාතුගාමෙහි කරෙය්‍ය සන්‍ථවන‍්ති.

1336. එහෙයින් යම් කෙනෙක් ස්ත්‍රීන්ගෙන් දුරු වැ හැසිරෙද්ද, ඔහු සැප ඇත්තෝ වෙති. ශෝක නැත්තෝ වෙති. උතුම් ධ්‍යාන සුවය පතනුයේ මාගමුන් හා එක්ව හැසිරීම නො කරන්නේ ය.

10. සමුග‍්ගජාතකං.

10. සමුග්ග ජාතක යි.