යෙදුමෙන් කියවන්න

18. භූමිනානත‍්තඤාණං

18. භූමිනානත‍්තඤාණං.

18. භූමිනානාත්‍ව ඥානය

කථං චතුධම‍්මවවත්‍ථානෙ පඤ‍්ඤා භූමිනානත‍්තෙ ඤාණං.

කිසෙයින් සතර ධර්‍මයන් පිරිසිඳ දැනීමේ ප්‍රඥාව භූමිනානාත්‍වඥාන වෙයි යත්:

චතස‍්සො භූමියො: කාමාවාරා භූමි, රූපාවචරා භූමි, අරූපාවචරා භූමි, අපරියාපන‍්නා භූමි.

භූමි සතරෙකි: කාමාවචරභූමි යැ රූපාවචරභූමි යැ අරූපාවචරභූමි යැ අපරියාපන්නභූමි යි.

කතමා කාමාවචරා භූමි: හෙට‍්ඨතො අවීචිරනිරයං පරියන‍්තං කරිත්‍වා, උපරිතො පරනිම‍්මිතවසවත‍්ති දෙවෙ අන‍්තො කරිත්‍වා යං එතස‍්මිං අන‍්තරෙ එත්‍ථාවචරා එත්‍ථ පරියාපන‍්නා ඛන්‍ධධාතුආයතනා රූපා වෙදනා සඤ‍්ඤා සඞ‍්ඛාරා විඤ‍්ඤාණං, අයං කාමාවචරා භූමි.

කාමාවචරභූමි කවර යත්: යටින් අවීචිනිරය පිරියත් කොට මතුභාගයෙන් පරනිර්මිතවශවර්තිදෙවියන් ඇතුළු කොට තෙල අවකාශයෙහි මෙහි හැසිරෙන්නා වූ මෙහි පර්‍ය්‍යාපන්න වූ යම් ස්කන්‍ධධාතුආයතන කෙනෙක් වෙත් ද රූප - වේදනා - සංඥා - සංස්කාර - විඥාන කෙනෙක් වෙත් ද මේ කාමාවචරභූමි නම.

කතමා රූපාවචරා භූමි: හෙට‍්ඨතො බ්‍රහ‍්මලොකං පරියන‍්තං කරිත්‍වා, උපරිතො අකනිට‍්ඨො දෙවෙ අන‍්තො කරිත්‍වා, යං එතස‍්මිං අන‍්තරෙ එත්‍ථාවචරා එත්‍ථ පරියාපන‍්නා සමාපන‍්නස‍්ස වා උප‍්පන‍්නස‍්ස වා දිට‍්ඨධම‍්මසුඛවිහාරිස‍්ස වා චිත‍්තචෙතසිකා ධම‍්මා, අයං රූපාවචරා භූමි.

රූපාවචරභූමි කවර යත්: යටින් බඹලොව පිරියත් කොට මතුභාගයෙන් අකනිටාදෙවියන් ඇතුළු කොට තෙල අවකාශයෙහි මෙහි හැසිරෙන්නා වූ මෙහි පර්‍ය්‍යාපන්න වූ සමවතට සමවන්හුගේ හෝ (විපාක විසින් බඹලොව) උපන්නහු ගේ හෝ ඉහාත්මසුඛවිහරණ ඇත්තහු (රහත්හු) ගේ හෝ යම් චිත්තචෛතසිකධර්‍ම කෙනෙක් වෙත් ද මේ රූපාවචරභූමි නම.

කතමා අරූපාවචරා භූමි: හෙට‍්ඨතො ආකාසානඤ‍්චායතනූපගෙ දෙවෙ පරියන‍්තං කරිත්‍වා උපරිතො නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනූපගෙ දෙවෙ අන‍්තො කරිත්‍වා, යං එතස‍්මිං අන‍්තරෙ එත්‍ථාවචරා එත්‍ථ පරියාපන‍්නා සමාපන‍්නස‍්ස වා උප‍්පන‍්නස‍්ස වා දිට‍්ඨධම‍්මසුඛවිහාරිස‍්ස වා චිත‍්තචෙතසිකා ධම‍්මා, අයං අරූපාවචරා භූමි.

අරූපාවචරභූමි කවර යත්: යටින් ආකාසානඤ්චායතනූපගදෙවියන් පිරියත් කොට මතුභාගයෙන් නෛවසංඥානාසංඥායතනදෙවියන් ඇතුළු කොට තෙල අවකාශයෙහි මෙහි හැසිරෙන්නාහු වූ මෙහි පර්‍ය්‍යාපන්න වූ සමවතට සමවන්හුගේ හෝ (විපාක විසින් අරූතලයෙහි) උපන්නහුගේ හෝ ඉහාත්මසුඛවිහරණ ඇත්තහු (රහත්හු) ගේ හෝ යම් චිත්තචෛතසිකධර්‍ම කෙනෙක් වෙත් ද මේ අරූපාවචරභූමි නම.

කතමා අපරියාපන‍්න භූමි: අපරියාපන‍්නා මග‍්ගා ච මග‍්ගඵලානි ච අසඞ‍්ඛතා ච ධාතු, අයං අපරියාපන‍්නා භූමි. ඉමා චතස‍්සො භූමියො.

අපර්‍ය්‍යාපන්නභූමි කවර යත්: මාර්‍ගයෝ ද මාර්‍ගඵලයෝ ද අසඞ්ඛතධාතුව ද අපර්‍ය්‍යාපන්නයෝ යැ. මේ අපර්‍ය්‍යාපන්නභූමි නමි. මොහු සතර භූමි නම් වෙත්.

අපරාපි චතස‍්සො භූමියො: චත‍්තාරො සතිපට‍්ඨානා, චත‍්තාරො සම‍්මප‍්පධානා, චත‍්තාරො ඉද‍්ධිපාදා චත‍්තාරි ඣානානි, චතස‍්සො අප‍්පමඤ‍්ඤායො, චතස‍්සො අරූපසමාපත‍්තියො, චතස‍්සො පටිසම‍්භිදා, චතස‍්සො පටිපදා, චත‍්තාරි ආරම‍්මණානි, චත‍්තාරි අරියවංසානි, චත‍්තාරි සඞ‍්ගහවත්‍ථූනි, චත‍්තාරි චක‍්කානි, චත‍්තාරි ධම‍්මපදානි, ඉමා චතස‍්සො භූමියො.

අනෙකුදු භූමි සතරෙකි. සතර සතිපට්ඨානයෝ යැ සතර සම්‍යක් ප්‍රධානයෝ යැ සතර ඍද්ධිපාදයෝ යැ සතර ධ්‍යානයෝ යැ සතර අප්‍රාමාණ්‍යයෝ යැ සතර අරූපසමාපත්තීහු යැ සතර ප්‍රතිසංවිද්හු යැ සතර ප්‍රතිපත්හු යැ සතර ආලම්බනයෝ යැ සතර ආර්‍ය්‍යවංශයෝ යැ සතර සඞ්ග්‍රහවස්තූහු යැ චතුශ්චක්‍රයෝ යැ සතර ධර්‍මපදයෝ යි. මොහු සතරභූමි නම් වෙත්.

තං ඤාතට‍්ඨෙන ඤාණං, පජානනට‍්ඨෙන පඤ‍්ඤා. තෙන වුච‍්චති: චතුධම‍්මවවත්‍ථානෙ පඤ‍්ඤා භූමිනානත‍්තෙ ඤාණං.

ඒ භූමිනානාත්‍වඥානය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘චතුධම්මවවත්‍ථානෙ පඤ්ඤා භූමිනානත්තේ ඤාණං’යි.

භූමිනානත‍්තඤාණනිද‍්දෙසො.

භූමිනානාත්‍වඥානනිර්දේශ යි.