යෙදුමෙන් කියවන්න

කුමාරපෙතවත්‍ථු පඤ‍්චමං

3. 5.

3. 5.

460. අච‍්ඡෙරරූපං සුගතස‍්ස ඤාණං සත්‍ථා යථා පුග‍්ගලං බ්‍යාකාසි. උස‍්සන‍්නපුඤ‍්ඤාපි භවන‍්ති හෙකෙ පරිත‍්තපුඤ‍්ඤාපි භවන‍්ති හෙකෙ.

460. “සමහර පුඟුලෝ උත්සන්න කුසල ඇත්තෝ වෙත්. සමහරු සුළුපින් ඇත්තෝ වෙත්”යයි ශාස්තෲන් වහන්සේ යම්සේ පුද්ගලයකු ප්‍රකාශ කළ සේක් ද, සුගතයන් වහන්සේගේ ඒ නුවණ ආශ්චර්‍ය්‍ය ජනක ය.

461. අයං කුමාරො සීවථිකාය ඡඩ‍්ඩිතො අඞ‍්ගුට‍්ඨස‍්නෙහෙන යාපෙති රත‍්තිං, න යක‍්ඛභූතා න සිරිංසපා වා විහෙඨයෙය්‍යුං කතපුඤ‍්ඤං කුමාරං.

461. සොහොනෙහි දැමූ මේ කුමරා ඇඟිල්ලෙන් වැගුරුණු කිරෙන් රාත්‍රියෙහි යැපෙයි. කළ පින් ඇති (මේ) කුමරු යක්‍ෂයෝ හෝ සර්‍පයෝ නො පෙළන්නාහ.

462. සුනඛාපිමස‍්ස පලිහිංසු පාදෙ ධඞ‍්කා සිගාලා පරිවත‍්තයන‍්ති, ගබ‍්භාසයං පක‍්ඛිගණා හරන‍්ති කාකා පන අක‍්ඛිමලං හරන‍්ති.

462. සුනඛයෝ ද මොහුගේ දෙපා දිවින් ලෙවූහ. කවුඩෝ ද සිවල්ලු ද මොහු ඔබමොබ පෙරළත්. පක්‍ෂිගණයා ගබ්මල ඉවත්කරති. කපුටෝ වනාහි ඇස්මල දුරු කෙරෙත්.

463. න යිමස‍්ස රක‍්ඛං විදහිංසු කෙචි න ඔසධං සාසපධූපනංවා, නක‍්ඛත‍්තයොගම‍්පි න අග‍්ගහෙසුං න සබ‍්බධඤ‍්ඤානිපි ආකිරිංසු.

463. කිසි මිනිස් කෙනෙක් මෙ කුමරහට රැකවරණ නො කළහ. බෙහෙත් හෝ අබදුම් දීම හෝ නො කළහ. ඔහු උපන් නකත් යෝග ද නො ගත්හ. (රකවරණය සඳහා) හැල් ආදී සියලු ධාන්‍ය ද නො විසුරූහ.

464. එතාදිසං උත‍්තමකිච‍්ඡපත‍්තං රත‍්තාභතං සීවථිකාය ඡඩ‍්ඩිතං, නොනීතපිණ‍්ඩං ව පවෙධමානං සසංසයං ජීවිතසාවසෙසං.

464-465. රාත්‍රියෙහි ගෙනයන ලදු ව සොහොනෙහි දැමූ අතිශයින් දුකට පත් වූ වෙඬරු පිඬක් වැනි වූ වෙව්ලන, ජිවත්වේ ද නො වේ දැයි සැක කටයුතු වූ ජීවිතය පමණක් ඉතිරි වූ මෙබඳු වූ ඒ කුමරා දෙවිමිනිසුන් විසින් පුදන ලද මහත්ප්‍රඥා ඇති බුදුහු දුටහ. ඔහු දැක ද “මේ කුමරා භොග සම්පත් වශයෙන් ද මෙනුවර උසස් කුලවතෙක් වන්නේ ය”යි පැවසූහ.

465. තමද‍්දසා දෙවමනුස‍්ස පූජිතො දිස‍්වා ච තං බ්‍යාකරි භූරිපඤ‍්ඤො, අයං කුමාරො නගරස‍්සිමස‍්ස අග‍්ගකුලීනො භවිස‍්සති භොගතො ච.

466. කිස‍්ස වතං කිං පන බ්‍රහ‍්මචරියං කිස‍්ස සුචිණ‍්ණස‍්ස අයං විපාකො, එතාදිසං ව්‍යසනං පාපුණිත්‍වා තං තාදිසං පච‍්චනුභොස‍්සතිද‍්ධිං.

466. මේ කුමරුගේ ව්‍රතසමාදානය කුමක් ද? බ්‍රහ්මචර්‍ය්‍යය හෝ කුමක් ද? මේ මොනොවට පුරුදු කළ කෙබඳු ව්‍රතයක විපාකයක් ද? මෙබඳු වූ විපතකට පැමිණ පෙරකී එබඳු දිව්‍යසම්පත් කෙසේ වළඳන්නේ ද?

467. බුද‍්ධපමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස පූජං අකාසි ජනතා උළාරං, තත්‍රස‍්ස චිත‍්තස‍්සහු අඤ‍්ඤථත‍්තං වාචං අභාසි ඵරුසං අසබ‍්භං.

467. ජනසමූහයා බුදුපාමොක් මහසඟනට මහත් පූජාවක් කළහ. එහි දී මොහුගේ සිතට විපිළිසරක් ඇති විය. මේ පුද්ගල බුදුපාමොක් සඟනට නො සැබි රළුවදන් කී ය.

468. සො තං විතක‍්කං පටිවිනොදයිත්‍වා. පීතිං පසාදං පටිලද‍්ධා පච‍්ඡා, තථාගතං තෙතවනෙ වසන‍්තං යාගුයා උපට‍්ඨාසි සත‍්තරත‍්තං.

468. පසුව හේ ඒ විතර්‍ක සිතිවිල්ල දුරු කොට ප්‍රීතිය හා ප්‍රසාදය උපදවාගෙන දෙව්රමැ වසන බුදුනට සත්දිනක් උවැටැන් කෙළේ ය.

469. තස‍්ස වතං තං පන බ්‍රහ‍්මචරියං තස‍්ස සුචිණ‍්ණස‍්ස අයං විපාකො, එතාදිසං බ්‍යසනං පාපුණිත්‍වා තං තාදිසං පච‍්චනුභොස‍්සතිද‍්ධිං.

469. ඒ වනාහි මොහුගේ ව්‍රත සමාදානය ද බ්‍රහ්මචර්‍ය්‍යය ද විය. මෙබඳු විපතකට පැමිණත් එබඳු වූ ඒ දිවසැපත් නැවත වළඳන්නේ ය යන මෙය මොනොවට සිදු කරන ලද ඒ කර්‍මයාගේ විපාක යි.

470. ඨත්‍වාන සො වස‍්සසතං ඉධෙව සබ‍්බෙහි කාමෙහි සමඞ‍්ගිභූතො, කායස‍්ස භෙදා අභිසම‍්පරායං සහව්‍යතං ගච‍්ඡති වාසවස‍්සා’ති.

470. ඒ කුමර මේ මනුලොව අවුරුදු සියයක් කල් සියලු කම් සැපතින් යුක්ත ව සිට කය බිඳීමෙන් හෙවත් මරණින් පසු පුනර්‍භවයෙහි දී සක් දෙවිඳුගේ (පුතකු වී) සහබවට යන්නේ ය.

කුමාරපෙතවත්‍ථු පඤ‍්චමං.

කුමාර ප්‍රේතවස්තු යි.