යෙදුමෙන් කියවන්න

කපිලසුත‍්තං

2. 6.

2. 6.

කපිලසුත‍්තං

කපිල සූත්‍රය

276. ධම‍්මචරියං බ්‍රහ‍්මචරියං එතදාහු වසුත‍්තමං, පබ‍්බජිතොපි චෙ හොති අගාරස‍්මා අනගාරියං.

276. (කාය සුචරිතාදි) ධර්‍මචර්‍ය්‍යය හා මගබඹසර හා යන මේ දෙ කරුණ උතුම් රුවනැයි (ආර්‍ය්‍යයෝ) පැවසූහ. ගිහිගෙන් නික්ම අනගාර්‍ය්‍ය සඞ්ඛ්‍යාත ශාසනයෙහි පැවිදිවූයෙක් වේ නම්,

277. සො චෙ මුඛරජාතිකො විහෙසාභිරතො මගො, ජීවිතං තස‍්ස පාපියො රජං වඩ‍්ඪෙති අත‍්තනො.

277. ඉදින් හේ පරොස්බස් ඇත්තේ වේ ද, මෙරමා වෙහෙසීමෙහි නියලුනේ (හිරිඔතප් නැති හෙයින්) තිරිසන් බඳු වේ ද, ඔහුගේ ජීවිතය ලාමක වෙයි. තමාගේ (රාගාදී) කෙලෙස් වඩයි.

278. කලහාභිරතො භික‍්ඛු මොහධම‍්මෙන ආවටො, අක‍්ඛාතම‍්පි න ජානාති ධම‍්මා බුද‍්ධෙන දෙසිතං.

278. කලහයෙහි නියැලුනු ඒ මහණ (අවිද්‍යාසඞ්ඛ්‍යාත) මෝහධර්‍මයෙන් ඇවුරුණේ, බුදුරජුන් විසින් දෙසන ලද ධර්‍මය කියනලද නමුදු නො දනී.

279. විහෙසං භාවිතත‍්තානං අවිජ‍්ජාය පුරක‍්ඛතො, සංකිලෙසං න ජානාති මග‍්ගං නිරයගාමිනං.

279. අවිද්‍යාවෙන් මෙහෙයන ලද්දේ බැවු සිත් ඇතියවුන් (රහතුන්) වෙහෙසන්නේ සකිලිටි වූ නිරයගාමීමාර්‍ගය නො දනියි.

280. විනිපාතං සමාපන‍්නො ගබ‍්භා ගබ‍්භං තමා තමං, සවෙ තාදිසකො භික‍්ඛු පෙච‍්ච දුක‍්ඛං නිගච‍්ඡති.

280. (සතර අපාය යි කියන ලද) විනිපාතයට පැමිණි ඒ මහණ ඒකාන්තයෙන් මවුකුසින් මවුකුසට ද අඳුනේ අඳුරට ද (යමින්) පරලොව ගොස් දුකට පැමිණේ.

281. ගූථකූපො යථා අස‍්ස සමපුණ‍්ණො ගණවස‍්සිකො, යො ච එවරූපො අස‍්ස දුබ‍්බිසොධො හි සාඞ‍්ගණො.

281. ඉක්ම ගිය බොහෝ හවුරුදු ගණන් ඇති පිරුණු වැසිකිළි වළක් යම් සේ (පිරිසුදු කළ නොහැක්කේ) වේ ද, එබඳු වූ යමෙක් වේ නම් හෙ පිරුණු කෙලෙස් ඇත්තේ පිවිතුරු කළ නොහැකි වන්නේ මය.

282. යං එවරූපං ජානාථ භික‍්ඛවො ගෙහනිස‍්සිතං, පාපිච‍්ඡං පාපසඞ‍්කප‍්පං පාපආචාරගොචරං.

282. මහණෙනි, පස්කම් ගුණ ඇසුරු කළා වූ ලාමක ඊර්‍ෂ්‍යා ඇති පාප විතර්‍ක ඇති, පවිටු ආචාර ගෝචර ඇති යම් පුඟුලකු දනිවු නම්,

283. සබ‍්බෙ සමග‍්ගා හුත්‍වාන අභිනිබ‍්බිජ‍්ජයාථ නං, කාරණ‍්ඩවං නිද‍්ධමථ කසම‍්බුං චාපකස‍්සථ.

283. හැම දෙන සමඟ ව ඔහු වර්‍ජනය කරවු. කසළක් බඳු ඔහු බැහැර කරවු. කෙලෙස් කසට සහිත ඔහු නෙරපාලවු.

284. තතො පලාපෙ වාහෙථ අස‍්සමණෙ සමණමානීනෙ, නිද‍්ධමිත්‍වාන පාපිච‍්ඡෙ පාපආචාරගොචරෙ.

284. එහෙයින් අශ්‍රමණ වූ ශ්‍රමණයෙමැ යි හඟනාවූ බොල් පුඟුලන් පිඹහරිවු. ලාමක ඉච්ඡා ඇති පවිටු අචාර-ගෝචර ඇති ඔවුන් බැහැර කොට,

285. සුද‍්ධා සුද‍්ධෙහි සංවාසං කප‍්පයව‍්හො පතිස‍්සතා, තතො සමග‍්ගා නිපකා දුක‍්ඛස‍්සන‍්තං කරිස‍්සථාති.

285. (කායසමාචාරාදියෙන්) පිරිසිදු වූවාහු (ඔවුනොවුන් කෙරෙහි ගෞරව සහිත වූවාහු ශුද්ධ වූ පුඟුලන් සමග ම සමාන සංවාසය කරවු) ඉක්බිති මුහුකළ නුවණ ඇත්තාහු (දෘෂ්ටි ශීල ඈ ශ්‍රමණ ගුණයන්ගෙන්) යුතු වූවාහු දුක් කෙළවර කරවු.

කපිලසුත‍්තං නිට‍්ඨිතං.

කපිල සූත්‍රය නිමි.