යෙදුමෙන් කියවන්න

පුරිභෙද සුත‍්තං

4. 10.

4. 10.

පුරාභෙද සුත‍්තං

පුරාභේද සූත්‍රය

(නිර්මිත බුද්ධ:)

852. කථංදස‍්සී කථංසීලො උපසන‍්තොති වුච‍්චති, තං මෙ ගොතම පබ්‍රූහි පුච‍්ඡිතො උත‍්තමං නරං.

852. කෙබඳු දර්‍ශන ඇතියේ කෙබඳු සිල් ඇතියේ උපශාන්ත ය යි’ කියනු ලැබේ ද? ගොයුම් ගොතුව, මා විසින් පුළුවුස්නාලදුවහු එ උත්තම පුරුෂයා වදාළ මැනැ ව.

853. වීතතණ‍්හො පුරා භෙදා (ඉති භගවා) පුබ‍්බමන‍්තමනිස‍්සිතො, වෙමජ‍්ඣෙනුපසඞ‍්ඛෙය්‍යො තස‍්ස නත්‍ථි පුරෙක‍්ඛතං.

853. (බුදුහු මෙසේ වදාරති:) ශරීර භේදයෙන් පෙර මැ යමෙක් ප්‍රහීණ වූ තෘෂ්ණා ඇත්තේ පූර්‍වාන්තය (පෙර අත්බව) තෘෂ්ණා දෘෂ්ටි විසින් ඇසිරි නො කෙළේ ඉහාත්මභාව සඞ්ඛ්‍යාත ප්‍රත්‍යුත්පන්න පඤ්චස්කන්‍ධයෙහි (රාගරක්තයෙකයනාදින්) නො ගිණියයුතු වූයේ ද එ රහත්මහණ හට අනාගතාත්මභාවයෙහි (තෘෂ්ණාදි වශයෙන්) පෙරටු කරණලදුයෙක් නැති.

854. අක‍්කොධනො අසන‍්තාසී අවිකත්‍ථි අකුක‍්කුචො, මන‍්තභාණී අනුද‍්ධතො ස වෙ වාචායතො මුනි.

854. නො කිපෙන පියවි ඇති (එ එ අලාභයෙන්) නො සැලෙන සුලු වූ, (ශීලාදියෙන්) තමා හුවා නො දක්වන සුලු, අත්පා කුකුස් නැති නුවණින් විමසා බණන සුලු වූ, උඩඟු නො වූ එ රහත් මහණ ඒකාන්තයෙන් වාග්ද්වාරයෙන් සංයත වේ.

855. නිරාසත‍්ති අනාගතෙ අතීතං නානුසොචති, විවෙකදස‍්සී ඵස‍්සෙසු දිට‍්ඨීසු ච න නීයති.

855. අනාගත භවයෙහි තෘෂ්ණා රහිත වූයේ වේ ද අතීතපඤ්චස්කන්‍ධයට ශෝක නො කෙරේ ද, ප්‍රත්‍යුපන්න චක්‍ෂූස්පර්‍ශාදියෙහි ආත්මභාවාදි විවේකය දක්නා සුලු වේ ද, දෙසැට මිසදිටුහි නො වැටේ ද,

856. පතිලීනො අකුහකො අපිහාලු අමච‍්ඡරී, අප‍්පගබ‍්භො අජෙගුච‍්ඡො පෙසුනෙය්‍යෙ ච නො යුතො.

856. රාගාදි අකුශලයන් ප්‍රහීණ කෙළේ කුහක නො වූයේ තෘෂ්ණා රහිත වූයේ, මසුරු නො වූයේ කායාදා ප්‍රගල්භතා නැතියේ සිල්සපන් හෙයින් ජුගුප්සා නො කටයුතු වූයේ පිසිනුබස් කීමෙහි නොයෙදුනේ ද,

857. සාතියෙසු අනස‍්සාවී අතිමානෙ ච නො යුතො, සණ‍්හො ච පටිභානවා න සද‍්ධො න විරජ‍්ජති.

857. කාමගුණ සඞ්ඛ්‍යාත සාතවස්තූන්හි තෘෂ්ණා රහිත වූයේ අතිමානයෙහි යුක්ත නො වූයේ සිනිඳු කායාදි කර්‍මයෙන් සපන් වූයේ ප්‍රතිභාන ඇතියේ (තමා විසින් මැ අධිගතවන බැවින්) ධර්‍මය පරප්‍රත්‍යයෙන් නො හදහන්නේ වීතරාග වන හෙයින් දැන් විරාග නො කෙරේ ද, (ඔහු ‘උපශාන්ත’ යයි කියමි,)

858. ලාභකම්‍යා න සික‍්ඛති අලාභෙ න ච කුප‍්පති, අවිරුද‍්ධො ච තණ‍්හාය රසෙසු නානුගිජ‍්ඣති.

858. ලාභප්‍රාර්‍ත්‍ථනායෙන් සූත්‍රාන්තාදිය නො හදාරා ද, අලාභයෙහි දු නො කිපේ ද විරෝධයෙන් යුක්ත නො වූයේ ද තෘෂ්ණායෙන් රසයෙහිත් ගිජු නො වේ ද (ඔහු ‘උපශාන්ත’ යයි කියමි.)

859. උපෙක‍්ඛකො සදා සතො න ලොකෙ මඤ‍්ඤතෙ සමං, න විසෙසී න නීචෙය්‍යො තස‍්ස නො සන‍්ති උස‍්සදා.

859. ෂඩඞ්ගෝපේක්‍ෂායෙන් යුක්ත වූයේ හැම කල්හි ස්මෘතිමත් වූයේ ලොව්හි කිසිවකු හාත් තමා සම කොට නො සිතා ද, ‘මම විශිෂ්ට වෙම්’ යන මාන නැතියේ, හීන වෙමි යන මානත් නැතියේ ද, ඔහට උත්සදයෝ නැත. (ඔහු ‘උපශාන්ත’ යයි කියමි.)

860. යස‍්ස නිස‍්සයතා නත්‍ථි ඤත්‍වා ධම‍්මං අනිස‍්සිතො, භවාය විභවාය වා තණ‍්හා යස‍්ස න විජ‍්ජති.

860. යම් රහත් මහණකුට තෘෂ්ණාදෘෂ්ටි නිඃශ්‍රයභාවය නැත් ද, යමකුහට භවදෘෂ්ටියෙහි දු විභවදෘෂ්ටියෙහි දු තෘෂ්ණා විද්‍යාමාන නො වේ ද, හෙ අනිත්‍යාදි විසින් ධර්‍මය දැන අනිඃශ්‍රිත වේ.

861. තං බ්‍රූමි උපසන‍්තොති කාමෙසු අනපෙක‍්ඛිනං, ගන්‍ථා තස‍්ස න විජ‍්ජන‍්ති අතාරි සො විසත‍්තිකං.

861. වස්තුකාම ක්ලේශකාමයන්හි අපේක්‍ෂා නැති ඒ රහත් මහණ උපශාන්ත යයි කියමි. ඔහට අභිධ්‍යාකායාදි ග්‍රන්‍ථයෝ නැත. හේ තෘෂ්ණ නම් වූ විසත්තිකා තරණය කෙළේ යි.

862. න තස‍්ස පුත‍්තා පසවො ඛෙත‍්තං වත්‍ථුං ච විජ‍්ජති අත‍්තා වාපි නිරත‍්තා වා න තස‍්මිං උපලබ‍්භති.

862. ඒ ක්‍ෂීණාස්‍රව මහණහට පුත්‍රයෝත් නැත. පශුවර්‍ගයෝ ද නැත කෙත්වත් ද නැති. ඒ මහණ කෙරෙහි ශාශ්වතදෘෂ්ටි හෝ උච්ඡේද දෘෂ්ටි හෝ නො ලැබේ.

863. යෙන නං වජ‍්ජු පුථුජ‍්ජනා අථො සමණබ්‍රාහ‍්මණා, තං තස‍්ස අපුරෙක‍්ඛතා තස‍්මා වාදෙසු නෙ’ජති.

863. යම් රාගාදි දෝෂයකින් දේවමනුෂ්‍යාදි පෘථග්ජනයෝ ද බාහිර ශාසනික මහණ බමුණෝ ද (රහත්මහණ රාග රක්තය යන ආදීන්) කියත් නම්, ඒ දෝෂය ඔහු විසින් පෙරටු නො කරණ ලද වෙයි, එහෙයින් හේ නින්‍දා වචනයන්හි කම්පිත නොවේ.

864. වීතගෙධො අමච‍්ඡරී න උස‍්සෙසු වදතෙ මුනි, න සමෙසු න ඔමෙසු කප‍්පං නෙති අකප‍්පියො.

864. පහ වූ තෘෂ්ණා ඇති මසුරු නො වූ රහත් මුනි තෙම විශිෂ්ටයන් කෙරෙහි (තමා ඇතුළත් කොට අතිමානයෙන්) නො කියයි. තමා සම පුද්ගලයන් කෙරෙහි දූ ලා නො කියයි. හීනයන් කෙරෙහි දු ලා නො කියයි. තෘෂ්ණාදෘෂ්ටි කල්ප නැත්තේ කල්පයනට නො එයි.

865. යස‍්ස ලොකෙ සකං නත්‍ථි අසතා ච න සොචති, ධම‍්මෙසු ච න ගච‍්ඡති ස වෙ සන‍්තොති වුච‍්චතීති.

865. ලොව්හි යම් ක්‍ෂීණාස්‍රවයක්හට මාගේ යයි ගන්නා ලද්දෙක් නැති ද යළි අවිද්‍යමාන වන හෙයින් ම ශෝක නො කෙරේ ද, හැම ධර්‍මයන්හි ඡන්‍දාදි වශයෙන් අගතියට නො යේ ද, එ ක්‍ෂීණාස්‍රව තෙම ඒකාන්තයෙන් උපශාන්තයෙකැයි කියනු ලැබේ.

පුරාභෙදසුත‍්තං නිට‍්ඨිතං.

පුරාභේද සූත්‍රය නිමි.