යෙදුමෙන් කියවන්න

තිස‍්සමෙත‍්තෙය්‍ය සුත‍්තං

4. 7.

4. 7.

තිස‍්සමෙත‍්තෙය්‍ය සුත‍්තං

තිස්සමෙත්තෙය්‍ය සූත්‍රය

818. මෙථුනමනුයුත‍්තස‍්ස (ඉච‍්චායස‍්මා - තිස‍්සොමෙත‍්තෙය්‍යො) විඝාතං බ්‍රූහි මාරිස, සුත්‍වාන තව සාසනං විවෙකෙ සික‍්ඛිස‍්සාම සෙ.

818. නිදුකානන්වහන්ස, මෙවුන්දම් හි අනුයුක්තහට වන උවදුරු මෙයයි වදාළ මැනැවැ, මුඹවහන්සේ ගේ අනුශාසනය අසා ත්‍රිවිධ විවේකයෙහි හික්මෙනුවම්හ (ආයුෂ්මත් තිෂ්‍ය මෛත්‍රෙය මෙසේ විචාළේයි.)

819. මෙථුනමනුයුත‍්තස‍්ස (මෙත‍්තෙය්‍යාති භගවා) මුස‍්සතෙවාපි සාසනං, මිච‍්ඡා ච පටිපජ‍්ජති එතං තස‍්මිං අනාරියං

819. (මෙසේ බුදුරජානන්වහන්සේ වදාළසේක,) මෙත්තෙය්‍යයෙනි, මෙවුන්දම්හි නියුක්තයාහට පර්‍ය්‍යාප්ති ප්‍රතිපත්තිශාසනය පිරිහේ මැයි, හෙ වරදවා සසුන් පිළිපදනේ ද වෙයි. ඔහුකෙරෙහි තෙල මිත්‍යාප්‍රතිපද් අනාර්‍ය්‍ය ධර්‍මයෙකි.

820. එකො පුබ‍්බෙ චරිත්‍වාන මෙථුනං යො නිසෙවති, යානං හන‍්තං ව තං ලොකෙ හීනමාහු පුථුජ‍්ජනං.

820. යමෙක් පෙර (පැවිද්දෙන්) එකලා වැ ලොවැ හැසිර පසු කල්හි මෙවුන්දම් සෙවුනේ නම් අදාන්ත (හස්ත්‍යශ්වාදි) යානයක් සෙයින් එ (සිවුරලු) පුහුදුනා හීන යයි කියත්.

821. යසො කිත‍්තිඤ‍්ච යා පුබ‍්බෙ හායතෙ වා පි තස‍්ස සා, එතම‍්පි දිස‍්වා සික‍්ඛෙථ මෙථුනං විප‍්පහාතවෙ.

821. පෙර මහණ බැව්හිදී ඔහුගේ යම් යශසෙක් ද කීර්තියෙක් ද වී නම්, එ යශස හා කීර්තිය පිරිහේ මැයි. මෙ යශස් කීර්ති හානිය දැක මෙවුන්දම් දුරලනු සඳහා ත්‍රිවිධශික්‍ෂායෙහි හික්මෙන්නේ යි.

822. සංකප‍්පෙහි පරෙතො සො කපණො විය ඣායති, සුත්‍වා පරෙසං නිග‍්ඝොසං මඞ‍්කු හොති තථාවිධො.

822. කාමාදිසංකල්පයෙන් මැඩුනු එ සිවුරුලු දිළින්දකු සෙයින් සිත යි. එබඳු පුඟුල් උපාධ්‍යාදි අන්‍යයන්ගේ වදන් අසා මකු වන්නේ යි.

823. අථ සත්‍ථානි කුරුතෙ පරවාදෙහි චොදිතො, එසඛ‍්වස‍්ස මහාගෙධො මොසවජ‍්ජං පගාහති.

823. ඉක්බිති පරවාදයෙන් චෝදිත වූ හේ දුශ්චරිත නැමැති ශස්ත්‍රන් කෙරෙයි, මෘෂවාදයට බැස ගණියි, එ වූකලී ඔහට මහා බන්‍ධනයෙකි.

824. පණ‍්ඩිතොති සමඤ‍්ඤාතො එකචරියං අධිට‍්ඨිතො, අථාපි මෙථුනෙ යුත‍්තො මන්‍දො ව පරිකිස‍්සති.

824. පළමු ‘පණ්ඩිතයෙකැ’යි ප්‍රසිද්ධ වූ එකලා වාසයෙහි පිහිටි හෙ (පස්කල්හි) මෙවුන්දම්හි නියැලියේ මූඪයකු සෙයින් කෙලෙසෙන්නේ යි.

825. එතමාදීනවං ඤත්‍වා මුනි පුබ‍්බාපරෙ ඉධ, එකචරියං දළ‍්හං කයිරා න නිසෙවෙථ මෙථුනං

825. මෙ සස්නෙහි මුනිතෙම පෙර මහණදම්හි සැපත් හා පසු (ගිහිකල) විපත් හා යන තෙල ආදීනව දැක එකලා වාසය දැඩි කරන්නේ ය, මෙවුන්දම් නො සෙවුනේ යි.

826. විවෙකං යෙව සික‍්ඛෙථ එතදරියානමුත‍්තමං, න තෙන සෙට‍්ඨො මඤ‍්ඤෙථ ස වෙ නිබ‍්බානසන‍්තිකෙ.

826. බුද්ධාදි ආර්‍ය්‍යයන්ගේ උත්තම වූ තෙල ත්‍රිවිධවිවේකයෙහි මැ හික්මෙන්නේ ය. ඒ විවේකය හේතුකොට ගෙණ ‘මම ශ්‍රේෂ්ඨ යෙමි’යි ද නො හඟනේ ය. හේ ඒකාන්තයෙන් ම නිවන සමීපයෙහි වන්නේ යි.

827. රිත‍්තස‍්ස මුනිනො චරතො කාමෙසු අනපෙක‍්ඛිනො ඔඝතිණ‍්ණස‍්ස පිහයන‍්ති කාමෙසු ගථිතා පජාති.

827. කායදුශ්චරිතාදියට නිමිත්ත වූ කෙලෙසුන් කෙරෙන් සිස් වූ හුදෙකලාව හැසිරෙන, කාමයන්හි අපේක්‍ෂා නැති, චතුරෝඝතරණය කළ රහත් මුනිහට කාමයන්හි ගිජුවූ සත්ත්‍වයෝ කැමැති වෙත්.

තිස‍්සමෙතෙය්‍යසුත‍්තං නිට‍්ඨිතං

තිස්සමෙත්ත්‍යෙය සූත්‍රය නිමි.