යෙදුමෙන් කියවන්න

පසූර සුත‍්තං

4. 8.

4. 8.

පසූර සුත‍්තං

පසූර සූත්‍රය

828. ඉධෙව සුද‍්ධි ඉති වාදියන‍්ති නාඤ‍්ඤෙසු ධම‍්මෙසු විසුද‍්ධිමාහු, යං නිස‍්සිතා තත්‍ථ සුභං වදානා පච‍්චෙකසච‍්චෙසු පුථූ නිවිට‍්ඨා.

828. යම් ශාස්තෘ - ශාසනාදියක් ඇසුරුකළා වූ (තමන් විසින් පිළිගත්) ඒ දෘෂ්ටියෙහි ම ශුභවාද ඇති, ප්‍රත්‍යෙකදෘෂ්ටි සත්‍යයන්හි බැසගත් බොහෝ මහණබමුණෝ වෙත් නම්, ඔහු “මෙහි මැ ශුද්ධිය වේ ය” යි වාද කෙරෙති. “අන්‍ය ධර්‍මයන්හි විශුද්ධිය නැතැ”යි කියත්.

829. තෙ වාදකාමා පරිසං විගය‍්හ බාලං දහන‍්තී මිථු අඤ‍්ඤමඤ‍්ඤං, වදන‍්ති තෙ අඤ‍්ඤසිතා කථොජ‍්ජං පසංසකාමා කුසලා වදානා.

829. වාද කැමැති ඔහු පිරිස් මැදට වැද උනුන් බාල යයි දක්නාහ. අන්‍ය ශාස්තෘ ආදීන් ඇසුරු කළ ඔහු ප්‍රශංසා කැමැත්තාහු “අපි පණ්ඩිතවාද ඇතියම්හ”යි විවාද කථා බෙණෙත්.

830. යුත‍්තො කථායං පරිසාය මජ‍්ඣෙ පසංසමිච‍්ඡං විනිඝාති හොති, අපාහතස‍්මිං පන මඞ‍්කු හොති නින්‍දාය සො කුප‍්පති රන්‍ධමෙසී.

830. පිරිස් මැද වාදකථායෙහි නියුතුයේ තමහට පැසැසුම් කැමැතියේ කෙසේ පිළිමල්හු නිගන්නෙම් දැයි සැක ඇතියේ වෙයි. වීමංසකයන් විසින් ඔහුගේ වාදය බැහැර කරත් මැ මකු වෙයි. පිළිමල්හු ගේ සිදුරු සොයන හෙ නින්‍දායෙන් කෝපයට පැමිණේ.

831. යමස‍්ස වාදං පරිහීනමාහු අපාසදං පඤ‍්හවීමංසකා සෙ, පරිදෙවති සොචති හීනවාදො උපච‍්චගා මන‍්ති අනුත්‍ථුනාති.

831. ප්‍රශ්න වීමංසකයෝ යම්හෙයකින් ඔහුගේ වාදය හීනවූයේ බැහැර කරණලදැයි කියත් නම්, පිරිහුනු වාද ඇති හෙතෙම මා වාදයෙන් ඉක්ම ගියේ ය”යි වැලැපෙයි, ශෝක කෙරෙයි, තතනයි.

832. එතෙ විවාදා සමණෙසු ජාතා එතෙසු උග‍්ඝාති නිඝාති හොති, එවම‍්පි දිස‍්වා විරමෙ කථොජ‍්ජං න හඤ‍්ඤදත්‍ථත්‍ථි පසංසලාභා.

832. තෙල විවාදයෝ අන්‍යතීර්‍ත්‍ථක පරිව්‍රාජකයන් කෙරෙහි උපන්නාහු වෙති. තෙල වාදයන්හිදී අනුග්‍රහ නිග්‍රහ ද වෙයි. තෙල ආදීනව දැකැ කලහය හැරපියන්නේ ය. යම්හෙයකින් මෙ විවාදයෙහි ප්‍රශංසාලාභයෙන් අන්‍ය වූ අර්‍ත්‍ථයෙක් නැත් ද, එ හෙයිනි.

833. පසංසිතො වා පන තත්‍ථ හොති අක‍්ඛාය වාදං පරිසාය මජ‍්ඣෙ, සො තං හසතී උන‍්නමතිච‍්ච තෙන පප‍්පුය්‍ය තමත්‍ථං යථාමනො අහු

833. යමෙක් තමා විසින් ගන්නාලද එ දෘෂ්ටියෙහි පසස්නාලදුයේ හෝ වේ නම්, පිරිස් මැද ඒ දෘෂ්ටිවාදය පවසා ඒ ජයාර්‍ත්‍ථය ලැබ සිත් සේ හේ ඒ ජයහේතුයෙන් සිනා සෙයි. යළි උඩඟු ද වේ.

834. යා උන‍්නතී සාස‍්ස විඝාතභූමි මානාතිමානං වදතෙ පනෙසො, එතම‍්පි දිස‍්වා න විවාදයෙථ න හි තෙන සුද‍්ධිං කුසලා වදන‍්ති.

834. යම් චිත්තෝන්නතියෙක් (උඩඟු බවෙක්) වේ නම් එය ඔහට උපද්‍ර භූමි වෙයි. තෙල පුඟුල් මානය හා අතිමානය කියයි, තෙල දෝෂය දැකැ, නො මැ විවාද කරන්නේ ය, ස්කන්‍ධායතනාදියෙහි කුශලයෝ එ දෘෂ්ටිවාදයෙන් ශුද්ධිය (වේ යයි) නො මැ කියත්.

835. සූරො යථා රාජඛාදාය පුට‍්ඨො අභිගජ‍්ජමෙති පටිසූරමිච‍්ඡං, යෙනෙව සො තෙන පලෙහි සූර පුබ‍්බෙව නත්‍ථි යදිදං යුධාය.

835. යම් පරිදි රාජභෝජනයෙන් පුස්නාලද ශූරයෙක් පිළිමල්හු පතමින් අභිගර්‍ජනය කරමින් එළඹෙයි ද, ශූරය, තාගේ එ පිළිමල් තෙමේ යම් තැනෙක්හි වේ නම්, තෝ එහි පලායා. කලහ සඳහා (මාතුළ) යම් කෙලෙස් කෙනෙක් වෙත්නම් ඔහු පළමු මැ (බෝ මුල්හිදී නැසූ හෙයින් මට) නැති.

836. යෙ දිට‍්ඨිමුග‍්ගය‍්හ විවාදයන‍්ති ඉදමෙව සච‍්චන‍්ති ච වාදයන‍්ති, තෙ ත්‍වං වදස‍්සු න භි තෙධ අත්‍ථි වාදම‍්හි ජාතෙ පටිසෙනිකත‍්තා.

836. යම් කෙනෙක් මිසදිටු දැඩිවැ, ගෙණ විවාද කෙරෙත් ද, යළි මෙය මැ සත්‍යයයි කියත් නම්, තෝ ඔවුනට කියව. වාදයක් උපන්කල්හි පිළිලොම් කරණ ඔහු මෙ සස්නෙහි නැති හෙයිනි.

837. විසෙනිකත්‍වා පන යෙ චරන‍්ති දිට‍්ඨීහි දිට‍්ඨිං අවිරුජ‍්ඣමානා, තෙසු ත්‍වං කිං ලභෙථො පසූර යෙසීධ නත්‍ථි පරමුග‍්ගහීතං.

837. යම් කෙනෙක් කෙලෙස් මරසෙන් වනසා දෘෂ්ටියෙන් දෘෂ්ටියකට විරුද්ධ නොවෙමින් වෙසෙත් නම්, මෙ සස්නෙහි යම් කෙනකුන්ට මෙ උත්තම යයි දැඩි වැ ගන්නාලද්දක් නැත් ද, පසූරය, එබඳු රහතුන් කෙරෙහි තෝ කවරකු ප්‍රතිමල්ල කොට ලබනෙහි ද?

838. අථ ත්‍වං පවිතක‍්කමාගමා මනසා දිට‍්ඨිගතානි චින‍්තයන‍්තො, ධොනෙන යුගං සමාගමා න හි ත්‍වං සක‍්ඛසි සම‍්පයාතවෙති.

838. වැලිත් තෝ සිතින් දෘෂ්ටිගතයන් සිතමින් (මට මින් ජයවේදෝහෝ යි) විතර්‍ක කරමින් ආයෙහි, ධුතක්ලේශ වූ බුදුන් සමග යුගග්‍රාහයට ආයෙහි, එහෙත් තෝ (බුදුන් කරා වාදයෙන්) එළඹෙන්නට නො මැ හැකියෙහි.

පසූරසුත‍්තං නිට‍්ඨිතං.

පසූර සූත්‍රය නිමි.